Home » ඇමැති ප්‍රසන්නගෙන් උදයංගට ලුණු ඇඹුල් ප්‍රහාරයක්

ඇමැති ප්‍රසන්නගෙන් උදයංගට ලුණු ඇඹුල් ප්‍රහාරයක්

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

මැතිවරණ උණුසුමට සමාන උණුසුමක් මේ වන විට අලුත් අවුරුදු නැකැත් ගැන ද ඇතිව තිබේ.

හොඳම නැකැත ගැන ජනපති රනිල් කියයි

“හොඳම නැකැත තිබ්බේ නිදහස ගන්න වෙලාවේ. ඩී.එස් සේනානායක මහත්තයා හොඳම නැකැතට තමයි නිදහස ගත්තේ.” ජනපති රනිල් කී විට සැවොම මුහුණට මුහුණ බලා ගත්තේය.

“සර් මොකක්ද අර හොදම නැකැතක් ගැන කීව්වේ.” මහින්දානන්ද ද විමසා සිටියේය.

“අපිට නිදහස් ලැබුණේ 1947 අගොස්තු මාසයේදි. නමුත් ඩී.එස් සේනානයක උත්සවය සංවිධානය කළේ පෙබරවාරි මාසේ හොඳම නැකැතට. අපිත් එක්කම නිදහස ලැබුණු මියන්මාරය අපිට කලින් නිදහස් සැමරුම ගත්තා. තාමත් රට දුවන්නේ ඒ හොඳම නැකැත හින්දයි.” රනිල් කීවේ නළල රැලි කරමිනි.

විදෙස්ගතවී සිටි ඇමැතිවරුන් ගෙන්වා ගැනීමට ජනපතිගෙන් උපදෙස්

මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ සංවිධායක දැනුම්වත් නොකර විදෙස්ගතව ඇති බව හෙළි වූයේ මෙහිදීය. වහාම මේ මැති ඇමැතිවරු දුරකතනයට සම්බන්ධ කරන ලෙස ජනපති උපදෙස් දුන්න ද ඔවුන් සිටින රටවල කාල වේලාවේ වෙනස අනුව එය කළ නොහැකි විය.

එහිදි තවත් ප්‍රශ්නයක් මතුවූයේ විශ්වාසභංගයේ ඡන්දය විමසන දිනයෙ බදාදා වන විට ඔවුනට නැවත ලංකාවට පැමිණිය හැකි වේද යන කාරණයයි. ඊට ජනපති රනිල් කදිම උපායක් යෙදුවේය.

“පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය විවාදයට දින 3 ක් ඉල්ලලා තිබුණා නේද? ඒ දින තුන අපි දෙනවා කියලා කියන්න.” ජනපති රනිල් කී පසු ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න එය ක්‍රියාත්මක කළේ නැවත පක්ෂ නායක රැස්වීමක් ඉල්ලීමෙන් අනතුරුවය.

එසේම මින් ඉදිරියට ආණ්ඩු පක්ෂ සංවිධායක දැනුම්වත් නොකර විදෙස්ගත නොවන ලෙස මන්ත්‍රිවරුනට දැනුම් දෙන්නැයි ජනපති උපදෙස් දුන්නේය.

ජනපතිට IMF ප්‍රසාදය

එදින සවස ජනපති රනිල් අයි.එම්.එෆ් නිලධාරීන් මුණ ගැසුණේ ජනාධිපති කාර්යාලයේදී ය. දෙවන සමාලෝචනයට ඔවුන් මෙරටට පැමිණ සිටි අතර ආර්ථික වර්ධනය හොඳ තත්ත්වයක තිබෙන බවත් සංචිත වර්ධනය කර ගෙන ඇති බවත් උද්ධමනය අපේකෂා කළ ප්‍රමාණයට වඩා පහළ අගයකට ගෙන ඇති බවත් ඔවුන් මෙහිදි කියා සිටියේය. අමාරු අවස්ථාවේ රට භාර ගෙන කළ සාර්ථක වෙනස්කම් ගැන ඔවුන් ජනපති අගය කළේය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ මුණගැසීමෙන් පසු නැවත රජය මුණගැසෙන බව කී මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වා ලෝකයටම මෙම කාරණය ප්‍රකාශ කරන බව ද දැනුම් දුන්නේය.

දුෂ්කර ගම්මානයකින් ජනපතිට අවුරුදු තෑගි

පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත අමුත්තන් පිරීසක් නෑගම් ආවේ මේ අතරවාරයේය. ඒ ආණමඩුව අති දුෂ්කර ගම්මානයක් වන කෝන්වැව ප්‍රාථමිකයේ දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන්ය. කැවිලි පෙට්ටි 7 ක් ද රැගෙන අවුරුද්දට පෙර ඔවුන් නෑගම් පැමිණ තිබුණේ ජනපති, ජනපති ලේකම් සමන් ඒකනායක ඇතුළු නෑ සනුහරේ දැකබලා ගැනීමටය.

කෝන්වැව ප්‍රාථමිකය වෙනුවෙන් ලක්ෂ 20 ක මුදලක් වැය කර ගොඩනැඟිල්ලක් ඉදිකළ අතර ගුරුවරුන් රඳවා ගැනීම වෙනුවෙන් ගුරු නිවාසයක් ද ඉදිකිරීමට මුල පිරුණේ ජනපති ලේකම් සමන් ඒකනායකගේ මැදිහත්වීමෙනි.

එ. ජා. ප. මැයි රැලිය මරදානේ

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේ නිලධාරීන් සවස මුණගැසුණු රනිල් පක්ෂයේ මැයි දිනය ගැන කතා කළේය. ජනපති රනිල්ගේ තීන්දුව වූයේ මැයි දිනය මරදාන ජයන්ත වීරසේකර මාවත මධ්‍යයේ පැවැත්විය යුතු බවටය.

ජනපති රනිල් ඉල්ලූ වාර්තාව මොකක්ද?

“හැමදාම මෙතන පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කළත් ඉන් එහාට වැඩ කෙරෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක විතරයි. එමනිසා තමන්ට මේ ගැන මට වාර්තාවක් දෙන්න” යැයි පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්ට ජනපති නියම කළේ රැස්වීම අවසානයේදීය.

නිමල් සිරිපාලගෙන් ජනපතිට කවියක්

එහි පැමිණි නිමල් සිරිපාල ඇමැතිවරයා ජනපතිට ගුත්තිල කාව්‍යයේ කවියක් කියමින් දුදනන්ට උදව් කරන්න එපා යැයි ජනපතිට කීවේ මහාචාර්ය ආශු මාරසිංහ දෙස ද බලමිනි. ආශු කීවේ ඔය කවිය පාර්ලිමේන්තුව ඇතුළෙත් කියන්න කියාය. ඔහුගේ ඉල්ලීම ඉටු කරමින් ඇමැති නිමල් එය පාර්ලිමේන්තුවේදි කීවේ විපක්ෂ නායකට ඇනුම් පදයක් ද එකතු කරමිනි.

මන්ත්‍රීවරු කිහිපදෙනෙකු මෙහිදි විමසා සිටියේ කෝප් කමිටු විපක්ෂ සාමාජිකයන් ඉල්ලා අස්වීම ගැනය. එය තමන්ගේ වපසරියෙන් පිටත තිබෙන කරුණක් බව කී ජනපති පාර්ලිමේන්තුවෙන්ම මෙය විසඳා ගැනීම යහපත් බව පෙන්වා දුන්නේය.

රනිල්ට සහය දිය යුත්තේ ඇයි කියා ප්‍රසන්න මන්ත්‍රීවරුන්ට කියයි

“දැන් ජනාධිපතිවරණයේදී අපි මොකක්ද කරන්නෙ. කාටද සහය දෙන්නේ.තවම පක්ෂය හරි තීන්දුවක් අරගෙන නෑනේ .” මන්ත්‍රීවරයකු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

“මම කියන්නේ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි සහය දෙන්න ඕන කියල. මොකද එතුමා රටේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න විසඳගෙන යනවා.”ඇමැති ප්‍රසන්න කීය.

“කොහොමත් ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය. අපි ඒක දිනන්න ඕන. මගේ පුද්ගලික මතය අපි ජනාධිපතිවරණයටයි,මහමැතිවරණයටයි සන්ධානයකින් එන්න ඕන කියන එකයි. බැසිල් ඇමැතිතුමා අපිව කැඳවලා ඒ ඒ දිස්ත්‍රික්කවල පක්ෂයට අවශ්‍ය අපේක්ෂකයෝ ගණනයි සන්ධානයකට ගියොත් අපිට පිටට දෙන්න පුළුවන් අපේක්ෂකයෝ ගණන ගැන කථා කළා නම් හරි. මම නම් දැනටමත් ගම්පහ සංඛ්‍යා ලේඛන ලැහැස්ති කර ගෙනයි ඉන්නේ. “ඇමැති ප්‍රසන්න යළි කීය.

” ජනාධිපති පුටුව සුදුසු අපේක්ෂකයා රනිල් කියලා බැසිල් ඇමැතිතුමා අපිට කිව්වා. හැබැයි රනිල්ගෙන් ඇෂුවරන්ස් එකක් ගන්න බැරි වුණා කියලයි බැසිල් මහත්තයා කිව්වේ.” තිස්සකුට්ටිද කීය.

“අපි මේ වෙලාවේ හරි තීන්දුව ගන්න ඕන. පාක්ෂිකයෝ ගැන හිතලයි අපි මේ තීන්දුව ගන්න ඕන. ජෙවීපී එක හරි සජබෙ හරි දිනුවොත් අපේ පාක්ෂිකයන්ට හිරිහැර වෙන්න පුළුවන්.

“සර්… අපි පාක්ෂිකයින් කියන එක අහන්න ඕන. නැත්නම් කන්න වෙනවා සර්ගෙ මතය හරි.ඉක්මනින් පක්ෂෙත් එක්ක කතා කරන්න.මොන තීන්දුව ගත්තත් පාක්ෂිකයො රැකෙන තීන්දුවක් ගන්න ඕන.” තවත් මන්ත්‍රිවරයකු කීය.

“ඔව්… මම හෙට අනිද්දා බැසිල් ඇමැතිතුමා හමුවෙනවා. මම එතකොට කතා කරනවා. පක්ෂය ගන්න තීන්දුව එක්ක මමත් තීන්දුවක් ගන්නවා” ඇමැති ප්‍රසන්න කීය.

සහන් – තිස්සකුට්ටි ගැටුමක් ප්‍රසන්න වළකයි

” සර් කෙළින් කතා කරනවා. අපේම සමහරු කකුල් දෙක දෙපැත්තේ තියාගෙන කතා කරනවා. අපි වගේ පොඩි එවුන් තමයි තැළෙන්නෙ” සහන් ප්‍රදීප් කීය.

“මට පාඩු වුණත් කෙළින් කතා කරනවා.” ඇමැති ප්‍රසන්න කීවේය.

“සමහරු ජාතික ලැයිස්තුවේ එන්න හදන්නේ.ඒක නිසා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ” සහන් කීවේ තිස්ස කුටිටිආරච්චි දෙස බලමිනි. එයට තිස්ස කුටිටිආරච්චිට කේන්ති ගියේය.

“කවුද එහෙම එන්නේ මම නම් එහෙම කියල නෑ. මම ඡන්දෙ ඉල්ලන්නෙ නැති එකයි පක්ෂෙ සංවිධානයයි ගැන හැර මම නම් කිසි දෙයක් කතා කරල නෑ ” තිස්ස කුටිටිආරච්චි කීවේය.

“උඹත් දන්නෙ නැති මමත් දන්නෙ නැති මම ගැන උඹ කතා කරන්න එපා ” තිස්සකුටිටි ආරච්චි සහන්ට කීවේය.

“උඹ පක්ෂෙ අත දරුවෙක් උඹේ කටට මම බය නෑ” කියමින් සහන් ද උත්තර දුන්නේය.

දෙදෙනා වාග් සංග්‍රාමයකට පැටලීමට සූදානම් වුවද ඇමැති ප්‍රසන්න නිසා එය වැළකුණි.

රනිල්ට බැසිල්ගේ ප්‍රසාදය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පසුගිය බදාදා පැවැත්විණි. මෙය කැඳවා තිබුණේ පොහොට්ටු ජාතික ජාතික සංවිධායක බැසිල් විසිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මේ සඳහා එක්විය.

බොහෝ දේශපාලන පක්ෂ මේ වන විටත් සිය අපේක්ෂකයා නම්කර අවසන්ය. නමුත් පොහොට්ටුව තවමත් සිය ජනාධිපති අපේක්ෂකයා නම් කර නැත.

එබැවින් බැසිල් කැඳවූ මේ සාකච්ඡාවට ජනමාධ්‍යයේ ද ලොකු අවධානයක් දිනාගෙන තිබුණි.

“සමහරුන්ට මුල මතක නෑ. අපිට එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. මේ ජනාධිපතිතුමා තමයි තත්ත්වය වෙනස් කළේ. අපි ඒක අමතක කරන්න හොඳ නෑ.” බැසිල් සාකච්ඡාව අරඹමින් සිය හඬ අවදි කළේය.

“අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දු ගන්නකොට සලකා බලන නිර්ණායක ටිකක් තියෙනවා. ඒ අනුව තමයි අපේක්ෂකයා තෝරාගන්නේ” බැසිල් යළි කීය.

මේ සාකච්ඡාවට සහභාගී වූ ඇමැති ප්‍රසන්න එළියට එද්දී රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරු උදයංග වීරතුංග මුහුණට මුහුණ හමුවිය.

උදයංගත් ඇමැති ප්‍රසන්නත් අතර වැඩි ඇයි හොඳැයියක් නැත.එය ආරම්භ වන්නේ ප්‍රසන්න සංචාරක ඇමැතිකම දරන සමයේ සිටය. එය දිගු ඉතිහාස කතාවකි.

උදයංග සෑම තැනකදීම ඇමැති ප්‍රසන්නට දෝෂාරෝපණය කළ ද, ඇමැතිවරයා ඒවාට පිළිතුරු දෙන්නට ගියේ නැත.

ප්‍රසන්නගේ රතු කට්ට පනී

එහෙත් මේ මොහොතේදී ඇමැති ප්‍රසන්නගේ ඉර පැන්නේය.

“මෙයා තමයි… මහින්ද මහත්තයාට කෙළවන්නේ.මයික් දැක්කම වාචාලකමට කියවනවා.” කියමින් ඇමැති ප්‍රසන්න රණතුංග උදයංගගේ කරටම ගොඩවිය.

වටපිටාවේ සිටි අනෙකුත් මැති ඇමැතිවරුන් සිදුවන්නේ කුමක් දැයි සිතාගත නොහැකිව බලා සිටියහ.ඒ උදයංගගේ සමීප ඥාතිවර හිටපු ජනාධිපති මහින්ද මෙන්ම බැසිල්ද පොහොට්ටු කාර්යාලයේ සිටි බැවිනි.

“අපි පොහොට්ටුව හදනකොට ලංකාවේත් නෑ. මිග් යානා ගණුදෙනු නිසා එළියට එන්න බයේ හැංගිල හිටියෙ. අපි පොහොට්ටුව හදපු නිසා තමයි එළියට ආවේ. ” ප්‍රසන්න යළි කීය.

“සමාවෙන්න ඇමැතිතුමා”

තම රෙදි ගැලවෙන බවත් උදව්වට කවුරුත් නැති බවත් වටහාගත් උදයංග අසරණ ලීලාවෙන් කීය.

“උඹ සමාව ඉල්ලන්න ඕන මගෙන් නෙමෙයි. අර ඇතුළේ ඉන්න මහින්ද මහත්තයගෙන්.උඹේ ඔය වාචාල කට නිසා පාරෙ බැහැල යන්න බැරි වෙන්නෙ රත්තරං මනුස්සයට. උඹ උඹට ඕන තැනක දේශපාලනය කර ගනින්. හැබැයි පොහොට්ටුවට ඇඟිලි ගහන්න එන්න එපා.ඒව අපි බලාගන්නම් ” ඇමැති ප්‍රසන්න දිගට හරහට කියවාගෙන ගියේය.

උපදෙස් දුන්නේ සට්ටම්බිරාලද?

“සට්ටම්බිරාල වෙන්න ඇති ශුවර් එකට උපදෙස් දෙන්න ඇත්තේ. සජිත් මෙයාගෙන් උපදෙස් ගත්තොත් සජිත්ට බොහොම ඉක්මනට විපක්ෂ නායක කමත් නැතිවෙයි” සුසිල් කීවේ සිනා සෙමිනි.

“සජිත් දැන් උපදෙස් ගන්නෙ සජබෙ අයගෙන් නෙමෙයි ගොඩහේවල වගේ අපේ ආණ්ඩුව විනාශ කරපු අයගෙන්. අවංකවම සජබෙ ගොඩ දාපු අය පැත්තක. වැරදි උපදෙස් දීලා අපේ ආණ්ඩුවත් ඉවර කළා.ඒ විතරක් නෙමෙයි අපි මිනිස්සුන්ට උදව් කරල බොහොම අමාරුවෙන් හදාගත්ත අපේ මුළු දේශපාලනයම ඉවර කළා. දැන් සජබෙට ගිහින් ඒකත් විනාශ කරනවා”.ලන්සා පැහැදිලි කළේ අතීත ආවර්ජනය ද සිදුකරමිනි.

ගෙවී ගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ පාර්ලිමේන්තුව දෙසටය. දින තුනක් විවාද කිරීමෙන් අනතුරුව විශ්වාසභංගය වැඩි ඡන්ද 42කින් පරාජයට පත් විය. ඡන්දයට පෙර බන්දුල ගුණවර්ධන, හරීන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, මනූෂ නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, මධුර විතානගේ විදේශ සංචාර අතරතුර ගෙන්වා ගැනීමට ආණ්ඩුව පියවර ගත්තේය. ලෝක බැංකුවේ මූලිකත්වයෙන් අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වුණු ‘ ප්‍රවාහන පරිවර්තන කිරීමේ ‘ 21 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය ඉරිදා අමෙරිකාව බලා ගියේය.

ඒ සඳහා සහභාගී වීමට ගියද ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙනෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සඳහා එතෙර ගොස් සිටින සියලුම මැති ඇමතිවරු කැඳවීමට රජය ගත් තීරණය මත බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද යළි මෙරට බලා පිටත් විය.

ඊට පෙරාතුව ඇමැතිවරයා ලෝක බැංකුවේ යටිතල පහසුකම් පිළිබඳ උප සභාපති ග්වන් ග්ෂේ ෂෙන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඊට අමතරව ලෝක බැංකුවේ මාලදිවයින හා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රවාහන උපදේශක ඩන්ග් ඈන් හොන්,ශ්‍රී ලංකා, බංග්ලාදේශ, භූතාන් , මාලදිවයින හා නේපාලයේ ලෝක බැංකු ප්‍රවාහන ක්‍රියාවලියේ කළමනාකාරිනී ෆෙයි ඩෙන් යන නිලධාරීන් සමඟ ද ඇමැතිවරයා සාකච්ඡා පැවැත්වීය.

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මෙන්ම විදෙස්ගතව සිටි මනූෂ නානායක්කාර ඇමැතිවරයා ඊශ්‍රායලයේ සිටත්, පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය කැනඩාවේ සිටත් , හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා ඕස්ට්‍රේලියාවේ සිටත්, දිලුම් අමුණුගම ඇමැතිවරයා ලන්ඩනයේ සිටත් මෙරටට පිටත්ව ආහ.“

රට වැටෙනකොට සතුටු වෙන මාධ්‍ය ගැන වජිර හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය සඳුදා කොළඹදී පැවැත්විණි.

“ රට වැටෙනකොට සතුටු වෙන මාධ්‍යය ව්‍යාපාරයක් තිබෙන රටක් මේක. දැන් ක්‍රම ක්‍රමයෙන් ඩොලරය පහතට එනකොට කෝ මේ මාධ්‍යය ආයතන? උදේට පත්තර කියවනකොට, හවසට ප්‍රවෘත්ති කියවනකොට පැත්තෙන් පෙර පරිදි සඳහන් කරන්න ඕන. දැන් ක්‍රම ක්‍රමයෙන් ඩොලරට පහළට ගමන් කරමින් තිබෙනවා“

හරිනි සමඟ අජිත් රාජපක්ෂ ලන්ඩනයට

පසුගිය 11 වන දින සිට 15 වන දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ පැවති 72 වන වෙස්මිනිස්ටර් සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් නීතීඥ චමින්ද කුලරත්න සහභාගී වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division