Home » කෝටි තුනක් එකතු කර ලංකාවේ පළමු පොලිස් ස්ථානය හැදූ කුඹුක්ගැටේ රත්තරන් මිනිස්සු

කෝටි තුනක් එකතු කර ලංකාවේ පළමු පොලිස් ස්ථානය හැදූ කුඹුක්ගැටේ රත්තරන් මිනිස්සු

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනතාව විසින් ඉදිකර පොලිස් දෙපාර්තමේන්තුවට භාර දුන් පොලිස් ඉතිහාසයට එක්වූ ප්‍රථම පොලිස් ස්ථානය පිළිබඳව තොරතුරු සොයන්නට කුරුණෑගල පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ පිහිටි කුඹුක්ගැටේ පොලිස් ස්ථානයට අපි ගියෙමු.

මීට වසර අටකට පමණ පෙර සාමාන්‍ය ජනතාව කප්පම් කරුවන්ගේ ග්‍රහණයට හසුව තිබූ නීති විරෝධී මත්වතුර සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබූ කුඹුක්ගැටේ නගරය වර්තමානයේ අතිශයින්ම සාමකාමී නගරයකි. මීට වසර අටකට පෙර තිබූ කුඹුක්ගැටේ නගරයට වඩා දෙතුන් ගුණයකින් වැඩි දියුණු වූ අලංකාරවත් වූ නගරයක අසිරිය විද්‍යමාන වන කුඹුක් ගැටේ නගරයේ මෙම සුබවාදී වෙනසට හේතුව 2016 වසරේදී ලැබුණු පොලිස් ස්ථානය බව නගරවාසීන් පවසයි.

දිනෙන් දින පිරිහෙන නගරයක ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය හමුවේ එයට විසඳුම් සොයා මෙම ව්‍යාපාරික භවත්තු ගමේ පන්සල වූ ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින ලොකු හාමුදුරුවන් වහන්සේ බැහැ දැක මෙම කනගාටුදායක තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්නට කටයුතු කළහ.

විහාරාධිපති ඉහළ දොළොස්පත්තුවේ ද්විතීයීක සංඝනායක පූජ්‍යපාද මැල්සිරිපුර විමලරතන ස්වාමීන්වහන්සේ තම විහාරස්ථ දායක පින්වතුන්ගේ හඬට ඇහුම්කන් දෙමින් නායකත්වය ගනිමින් මෙම ව්‍යසනයෙන් නගරය බේරා ගැනීමේ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේදී කුඹුක්ගැටේ නගරය ආශ්‍රිතව පොලිස් ස්ථානයක් ස්ථානගත විය.

එතැන් සිට ක්‍රමක්‍රමයෙන් නගරයට අරක්ගෙන සිටි කප්පම්කරුවන් නගරයෙන් ඉවත්වීමත් සමඟ නගරය වර්තමානයේ අතිශයින් සාමකාමී නගරයක් විණි.

කුලී පදනම මත ලබාගත් පෞද්ගලික නිවෙසක පවත්වා ගෙන ගිය කුඹුක්ගැටේ පොලිස් ස්ථානය තවදුරටත් පවත්වා ගෙන යාමට නොහැකි ගැටලුවක් මතු වන්නේ පසුගිය වසරේ දී නිවෙසේ හිමිකරු එම නිවෙස ආපසු ඉල්ලා සිටීමත් සමඟය.

එම තත්ත්වය පිළිබඳව අප හා අදහස් දැක්වූවේ නව පොලිස් ස්ථානය ගොඩනැඟීම සඳහා පිහිටුවා ගත් සංවිධානයේ භාණ්ඩාගාරික කුඹුක්ගැටේ ජීවන බේක්හවුස් අධිපති ජීවන දේශප්‍රිය ය.

“රටම බොහෝ දුෂ්කරතාවලට මුහුණදීලා තිබුණ ඒ වෙලාවෙ ඉඩමක් අරගෙන නව ගොඩනැඟිලි ඉඳි කරන්න රජයට පුළුවන් කමක් නැති බව අප හොඳින් දැන සිටියා.

කුඹුක්ගැටේ පොලිස් ස්ථානය ගොකරැල්ල සහ වැල්ලව පොලිස් ස්ථානවලට සම්බන්ධ කරලා අපේ පොලිස් ස්ථානය ඉවත් කරනවා හැරෙන්නට වෙන විකල්පයක් නැති බව අපට අවබෝධ වුණා.

නමුත් කුඹුක්ගැටේට පොලිසියක් ⁣නැති වුණොත් නැවතත් යට ගිහින් තියෙන අර කප්පම් කල්ලි නැවක හිස ඔසවයි ද එහෙම වුණොත් මෙතරම් ලස්සනට ගොඩනඟපු අපේ නගරයට මොකද වෙන්නේ කියන ගැටලුව අපට ආවා.

අපි නැවතත් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ බැහැදැකලා මේ තත්ත්වය පැහැදිලි කළා.

අපේ නායක ස්වාමීන් වහන්සේ දෙවරක් නොසිතාම විහාරස්ථානයට අයත් අක්කර දෙකක ඉඩමක් නීත්‍යනුකූලවම පොලිස් දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළා. අපේ නායක හිමිපාණෝ අපත් එක්කරගෙන කුඹුක්ගැටේ එකමුතු ග්‍රාමීය සංවර්ධන සුබසාධක සමිතිය නමින් විධිමත් සංවිධානයක් පිහිටෙව්වා.

ඓතිහාසික කසාගල රාජමහා විහාරාධිපති ඉහළ දොළොස් පත්තුවේ ද්විතීයීක සංඝනායක පූජ්‍යපාද මැල්සිරිපුර විමලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලද මෙම සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඩබ්ලිව්. එල්. ආරියදාස ය. ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ. කේ. ඒ. සරත් චන්ද්‍රරත්නය.

ස්වාමීන්වහන්සේ ඉඩම පරිත්‍යාග කිරීමත් සමඟ එවකට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ උපුල් චන්දන අබේසිංහ පවසන්නේ මෙවැන්නකි.

“දැන් ඉතින් පැළක් හරි හදලා මේ ඉඩමට පොලිසිය ගෙනියන්න ඕනෑ” යනුවෙන් කරන ලද ප්‍රකාශය ගරුතර ස්වාමීන් වහන්සේ මෙන්ම මෙම අලුත් සමිතියේ සෑම දෙනාට මහත් සවියක් විය.

ඒ අතර කුඹුක්ගැටේ පොලිස් ස්ථානාධිපති බී. ජී. සී. ආර්. ගුණතිලකගෙන් ද පොලිස් ස්ථානය ඉදිකිරීමේ මෙහෙයුමට ලැබුණේ මහත් ශක්තියකි.

” අපි ඉස්සරලාම කළේ දෙමහල් ගොඩනැඟිල්ලක් සඳහා සැලසුමක් හදන එක.

සමිතියෙ අපි එකතු වෙලා පුළුවන් හැටියට මුදල් පරිත්‍යාග කළා. ඒ මුදල්වලින් මෙම ගොඩනැඟිල්ලට අත්තිවාරම දැම්මා.

කුඹුක්ගැටේ පොලිස් වසමට අදාළව ග්‍රාම නිලධාරි වසම් 31 ක් ති‌ෙයනවා. මේ වසම්වල ප්‍රජා පොලිස් ඒකක, සිවිල් ආරක්ෂක කමිටු මරණාධාර සමිති, විවිධ සුභසාධක සමිති, සණස සමිති ආදී වශයෙන් වූ විවිධ සමිති සමාගම්වල සාමාජිකයන් කණ්ඩායම් වශයෙන් දිනපතා මේ ගොඩනැඟිලි සංකීර්ණය ගොඩනඟන්න ඒ අයගේ ශ්‍රමය පූජා කළා. හැමදාකම කණ්ඩායම් කිහිපයක් මේ වැඩබිමේ වැඩ කරන්න ආවා.

මෙතනදි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ අපේ සමිතියේ උප සභාපති වී. එච්. ජිනසේන. ඔහු පුදුම කැපවීමකින් මේ ඉදිකිරීම්වලට සහයෝගය දුන්නේ.

අරමුදල් සොයන්න පන්සලේ සල්පිල් පැවැත්වූවා. එක ග්‍රාම නිලධාරි වසමකින් සංවිධානය කරලා ” සොකරි නාඩගම “පෙන්නුවා.

වසම් 31 ම ආවරණය වන ආකාරයට විවිධ ප්‍රසංග ප්‍රදර්ශනය කළා. දිවයිනේ ජනප්‍රිය ගායන සහ වාදන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා.

ඒ වගේම අපි අරමුදල් රැස් කිරීමට තවත් අපූරු වැඩක් කළා.

හැම නිවෙසකින්ම එක පොල් ගසක් මේ අරමුදල ගොඩනැඟීම සඳහා වෙන් කරන්න කියලා ඉල්ලීමක් කළා. එම පොල් ගසෙන් ලැබෙන පොල් අස්වැන්න මේ අරමුදලටම දැම්මා. මේ අකාරයට කෝටි දෙකක විතර වටිනාකමක් තියෙන ඉඩමක කෝටි තුනහමාරක් පමණ මුදලක් වැය කරලා කුඹුක් ගැටේට පොලිසියක් හදපු අපට ඉල්ලන පමාවට ගොඩනැඟිලි ⁣ද්‍රව්‍ය ලබාදුන් අපේ ප්‍රදේශයේ ව්‍යාපාරික භවතුන්ට අපි ස්තූති කරනවා. අපි තවමත් ඔවුන්ට ලක්ෂ දහසයක් ණයයි. දැන් අපේ ඊළඟ ඉලක්කය ඒ මුදල පියවීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමයි. පසුගිය මාර්තු 20 වෙනිදා අපට මහා සතුටුදායක දවසක්. එදා තමයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ⁣ අතින් ⁣අපි හදපු අපේ පොලිසිය විවෘත වන්නේ. ඒ වගේම ඒ සතුට අපට දැනෙන මොහොතේ මෙම වැඩසටහන පුරාවටම අපට මහා ශක්තියක් වෙමින් අපට උපදෙස් දෙමින් කටයුතු කළ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් වීමක් ලබා තිබීමත් අපට සතුටක්.

ඒ වගේමයි අපේ පොලිස් ස්ථානාධිපතිතුමා. අප සමඟ කරට කර තම කාලය ශ්‍රමය ධනය අප වෙනුවෙන් කැප කරමින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම මහා ගෞරවයක් ලබා දුන්නා. මෙලෙස අදහස් දක්වූ භාණ්ඩාගාරික ජීවන දේශප්‍රිය ඇතුළු අපට හමු වූ අප කතාබහ කළ සියලු දෙනා තමන් විසින් ඉටු කළ ඒ මහා ජාතික මෙහෙවර පිළිබඳව සිටියේ මහත් තෘප්තියෙනි. මහා දුෂ්කර කඳු තරණයක අවසානයේ කඳු මුදුනේ සිට මිටියාවත දෙස බලා සතුටු වන කඳු නඟින්නන් මෙන් තමන් නිස්සරණාධ්‍යාශයෙන් ඉටු කළ මේ මා මෙහෙවර රටක් වටිනා කර්තව්‍යයක් බව කියන්නට මැලි නොවෙමි.

ඡායාරූප – තාරක විජේවර්ධන

(විශේෂ ඡායාරූප සඳහා අනුග්‍රහය ලබාදුන් කුරුණෑගල කොට්ඨාස

අපරාධ විමර්ශන ඒකකයේ ඡායාරූප අංශයේ පොලිස් සැරයන්

ප්‍රභාත් වර්ණසූරිය මහතාට විශේෂ ස්තුතිය පිරිනැැමේ)

සුනිල් පොරමඬල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division