Home » එතෙර යුද පිටිවලට කුලී හේවායන් යැවූ ජාවාරම කොටු කළ CID මෙහෙයුම

එතෙර යුද පිටිවලට කුලී හේවායන් යැවූ ජාවාරම කොටු කළ CID මෙහෙයුම

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

රම්භ වී සතියෙන් දෙකෙන් අවසන් වේ යැයි විශ්වාස කළ රුසියාව හා යුක්රේනය අතර ඇවිළුණු යුද්ධය දැන් වසර දෙකක් පුරාවට ඇදී ගොස් හමාරය. මේ වන විට මෙම රටවල් දෙකේම හමුදා සිටින්නේ යැයි සඳහන් වන්නේ දැඩි පිරිස් බල හිඟයකට මැදිවය. එබැවින් ඔවුන් විදේශයන්වලින් කුලී හේවායන් ලෙස පිරිස් බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ රහසිගතවය. ඒ ඉහළ වැටුප් ඇතුළු පහසුකම් ගොන්නක්ම ලබාදෙන බව සඳහන් කරමිනි. මේ හේතුව නිසාම හොර රහසේ සංවිධානගතව මෙම රටවල් දෙකට කුලී හේවායන් ලෙස විවිධ රටවලින් පුද්ගලයන් රැගෙන යාම මේ වන විට පත්ව ඇත්තේ ජාවාරමක් බවටය. ඒ බව වාර්තා කරනු ලබන්නේ ජාත්‍යන්තර මාධ්‍ය මඟිනි. එසේ කුළී හේවායන් ලෙස මෙම රටවලට ඇතුළු වන පිරිස් අතර ශ්‍රී ලංකිකයන් ද නැත්තේම නැත. ඒ අතර වැඩි හරියක් සිටින්නේ විශ්‍රාමික යුද හමුදා සාමාජිකයන්ය.

රාජ්‍ය බුද්ධි සේවය මේ සම්බන්ධයෙන් කාලයක් තිස්සේම සිටියේ ඇස ගසාගෙනය. සිය ජාත්‍යන්තර නියෝජිතයන්ගේ ද සහය ඇතිව රාජ්‍ය බුද්ධි සේවය මේ ගැන බොහෝ තොරතුරු පසුගිය කාලය පුරාවටම රැස් කළේය. ඒ සියල්ල කැටිකර සකස් කළ රහස් වාර්තාවක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න අත තබන්නේ මීට දෙසතියකට පමණ පෙරය. ඒ යුක්රේන් හමුදාවට එක්වීමට මෙරටින් ගිය සහ යාමට සූදානම්ව සිටින පිරිසකගේ ලැයිස්තුවක් ද සමඟිනි. එම ලැයිස්තුවට අනුව කුලී හේවායන් ලෙස එක්වීමට මේ වන විටත් යුක්රේනයට ගොස් ඇති පිරිස 30 දෙනෙකි. යාමට සූදානම්ව සිටින ගණන 36 දෙනෙකි. ඒ අතර වැඩි දෙනෙක් හමුදා සේවයේ නිරත වූවෝය. ඒ අය අතර යුද හමුදා සාමාජිකයන් පමණක් නොව, සිවිල් වැසියන් ද නැත්තේම නැත. එම වාර්තාවට අනුව යුක්රේනයේ හමුදාවට කුලී හේවායන් ලෙස එක්ව සිටි දෙදෙනෙක් ඒ වන විටත් රුසියානු හමුදා ප්‍රහාරයකින් මිය ගොසිනි.

මෙම රහස් වාර්තාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වහාම එම වාර්තාව යොමු කරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න වෙතය. ඒ යුක්රේනයට කුළි හේවායන් ලෙස මෙරට වැසියන් රැගෙන යාමේ ජාවාරමේ අලගිය මුලගිය තැන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමටය.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් තමා අතට පත්කරන ලද රාජ්‍ය බුද්ධි සේවයේ වාර්තාව අධ්‍යයනය කිරීමේදී නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එහි ඇති බරපතළ තත්ත්වය හොඳින්ම තේරුම් ගියේය. යුක්රේනයට කුලී හේවායන් ලෙස මෙරට වැසියන් යැවීමේ රහසිගත මෙම වැඩපිළිවෙළට නැවතීමේ තිත නොතිබ්බොත් එය අනාගතයේ යම් දිනක රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත්වීමට ඇති ඉඩකඩ බෙහෝ බව ඔහුට පෙනී ගියේය.

එබැවින් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මේ ගැන නිසි විමර්ශනයක් පැවැත්වීමේ වගකීම පවරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ඇති මිනිස් ජාවාරම් ගැන විමර්ශන පවත්වන විශේෂ අංශයක් වන තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාටය. යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට වැසියන් හොර රහසේ රැගෙන යාම සම්බන්ධයෙන් වූ විමර්ශන සමරකෝන් බණ්ඩා මෙහිදී භාර දෙන්නේ සහකාර පොලිස් අධිකාරි එච්. ජනකාන්තගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකටය. තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ සහ උප පොලිස් පරීක්ෂක මධුෂාන් ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.

යුක්රේන් හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට වැසියන් රැගෙන යාම ගැන විමර්ශනයට මෙම කණ්ඩායම මුල පුරන්නේ රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දුන් වාර්තාව පදනම් කරගෙනය. යුක්රේන් හමුදාවට කුලී හේවායන් ලෙස එක්වීමේ අපේක්ෂාවෙන් මෙරටින් පිටත්ව ගොස් ආපහු හැරී ආ 08 දෙනෙකුගේ ලැයිස්තුවක් විදෙස් ගමන් බලපත්‍ර අංක ද සමඟ එහි සටහන් ව තිබීම හේතුවෙන් විමර්ශන කණ්ඩායමේ මුල්ම ඉලක්කය බවට පත්වන්නේ ඔවුන් 08 දෙනාය. තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සේවයේ නිරත නිලධාරීන් කණ්ඩායම් අටක් ලෙස රැයක් එළිවන විට එම පුද්ගලයන් 08 දෙනාගෙන් 07 දෙනෙකුම සිය භාරයට ගනු ලබන්නේ යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට වැසියන් රැගෙන යාම ගැන සැඟවුණු තොරතුරු ප්‍රශ්න කිරීම් ඔස්සේ හෙළි කර ගැනීම අරමුණු කරගෙනය. ඒ අතර සිටි 03 දෙනෙක්ම හමුදා සාමාජියන්ය. හමුදා සාමාජිකයන් යැයි කීවාට ඔවුන් හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටින්නන්ය.

රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදුන් ලැයිස්තුවේ සිටි අට වැන්නාව එම මෙහෙයුමේදී සිය භාරයට ගැනීමට හැකියාවක් නොවීය. යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට සිට පුද්ගලයන් රැගෙන යාමේ ඒජන්සිය පවත්වාගෙන ගොස් තිබුණේ ඔහුය. ඒ බව හෙළි වන්නේ විමර්ශන කණ්ඩායම් විසින් රැයක් එළිවන විට සිය භාරයට ගත් යුක්රේන හමුදාවේ කුලී හේවායන් ලෙස එක්වීමේ සූදානමින් මෙරටින් පිටව ගොස් ආපසු හැරී එන්නට සිදුවූ 07 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය.

එම ඒජන්සිකරු නිශාන්ත කොතලාවලය. ඔහු කොට්ටාවේ පදිංචිකරුවෙකි. වීසා උපදේශකයකු වූ ඔහුගේ බිරිය පදිංචිව සිටියේ කඩවතය. විමර්ශන කණ්ඩායම් මේ ගෙවල් දෙකටම පැන කොතලාවලව සෙව්වේය. එහෙත් ඔහුව කොටුකර ගැනීමට ඉඩක් නොවීය. ඒ ඔහු සිය බිරිය සමඟ වහන් වී සිටි බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ බිරියගේ නිවෙසට පැන කළ සෝදිසියත් සමඟ කලබල වන කොතලාවල බිරිය සමඟ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ භාරවන්නේ පසුගිය 16 වෙනි සෙනසුරාදාය. එහිදී ඔවුන් දෙදෙනාව විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලබන්නේ නීති විරෝධි ලෙස පුද්ගලයන් විදෙස්ගත කිරීමේ මිනිස් ජාවාරමක සැකකරුවන් ලෙසිනි. කොතලාවලගේ බිරියව අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේ විමර්ශන කණ්ඩායම සිය භාරයට ගත් යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස එක්වීමේ අපේක්ෂාවෙන් මෙරටින් පිටව ගොස් පැමිණ සිටි 07 දෙනා අතර සිටි එක් අයෙක් එම ගමන වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් බැරකර තිබුණේ ඇගේ බැංකු ගිණුමකට වූ බැවිනි.

යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස ශ්‍රී ලංකිකයන් රැගෙන යාමේ රහසිගත මෙහෙයුමක මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු එළියට එන්නට ගන්නේ නිශාන්ත කොතලාවල අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. එයට අනුව යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට වැසියන් එක් කර ගැනීමේ මෙහෙයුම පිටුපස සිට ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 04 වැනිදා රුසියානු හමුදා ප්‍රහාරයකින් මිය ගිය යුක්රෙන් හමුදාවේ කුලී හේවායෙක් ලෙස සේවයේ නිරතව සිටි කපිතාන් රනිෂ් හේවගේ ය.

රනීෂ් හේවගේ මෙරට කමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර 12ක කාලයක් සේවය කර කපිතාන්වරයෙක් ලෙස විශ්‍රාම ගිය රණවිරුවෙකි. 2018 වසරේ හමුදා සේවයෙන් විශ්‍රාම යන ඔහු පසුව ඩුබායි ගොස් ආරක්ෂාව හා සම්බන්ධ සමාගමක රැකියාවකට එක්වන්නේ විධායක ශ්‍රේණියේ නිලයක් ද එහි දරමිනි.

රුසියානු – යුක්රේන් යුද්ධය 2022 වසරේ පෙබරවාරි 22 දා ආරම්භ වන විට රනීෂ් සිටින්නේ ඩුබායිවලය. රුසියාවට එරෙහිව සටන් කරන්න යුක්රේන් හමුදාවට රනිෂ් එක්ව ඇත්තේ යුද්ධය ආරම්භ වී මසක් යන්නටත් මත්තෙනි. ඔහු එක්වන්නේ “යුක්රේන් භෞමික ආරක්ෂක අන්තර්ජාතික හමුදාව“ යැයි සඳහන් වූ යුක්රේන් හමුදාවේ බල ඇණියකටය. ඊට “විදේශීය හමුදා ලීගය“ යැයි ද කියනු ලැබේ.

අපේ රටේ විශ්‍රාමික රණවිරුවන් යුක්රේන හමුදාවේ කුලී හේවායන් ලෙස “යුක්රේන් භෞමික ආරක්ෂක අන්තර්ජාතික හමුදාව“ බඳවා ගැනීමට නායකත්වය ලබාදී ඇත්තේ යැයි මේ වන විට අනාවරණය වී ඇත්තේ කපිතාන් රනීෂ් හේවගේය. ඒ වට්ස් ඇප් සමූහයක් මඟින් විශ්‍රාමික හමුදා සාමාජිකයන් මේ සඳහා පෙළගස්වමිනි. හමුදාවේ විශ්‍රාමිකයන් නොවන සිවිල් වැසියන් මේ ගොඩට එක්වන්නේ මෙම සමූහයේ සිටි විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ හිතවත්කම් මතය.

මේ කටයුත්ත සිදුව ඇත්තේ පසුගිය වසරේ අවසන් භාගයේ සිටය. සියයක් හෝ ඒ ආසන්න පිරිසක් ඒ වන විටත් මෙම වට්ස් ඇප් සමූහය මඟින් අදහස් හුවමාරු කරගනිමින් යුක්රේන හමුදාවේ කුලී හේවායන් ලෙස සහ උදව්කරුවන් ලෙස එක්වීමේ අපේක්ෂාවෙන් සිට ඇත. ඒ ඔවුන්ට රුපියල් ලක්ෂ 10ත් 12ත් අතර වැටුපක් සමඟ එරට පුරවැසිකම ද ලැබෙන බව කැප්ටන් රනීෂ් කර තිබුණු දැනුම්වත් කිරීම්වලට වහ වැටීය. කැප්ටන් රනීෂ් යුක්රේනයේ සිට වට්ස්ඇප් සමූහය මඟින් ලබාදෙන උපදෙස්වලට අනුව යමින් කණ්ඩායම් වශයෙන් මේ අය මෙරට පිහිටි යුක්රේන් තානාපති කාර්යාලයට ගොස් සංචාරකයන් ලෙස යුක්රේනයට යාමට වීසා අයදුම් කළ ද ඒ හැම ඉල්ලුම්පතක්ම ප්‍රතික්ෂේප වන්නේ ඔවුන්ට ද සිතා ගැනීමට නොහැකි ලෙසිනි.

මේ අය නිශාන්ත කොතලාවලගේ පිහිට පතන්නේ ඔය අතරතුරදීය. ඔහු උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කාලයක් මහරගම පැත්තේ පන්ති පැවැත්වූ අයෙකි. ඒ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙනි. ඔහුගේ බිරිය එම උපකාරක පන්තියට ආ සිසුවියකි. කොවිඩ් වසංගත සමයේදී උපකාරක පන්ති ව්‍යාපාරය බිඳවැටීමෙන් පසු දෙහිවල පිහිටි හෝටලයක ඔහු සේවයට යන්නේ කළමනාකරුවෙක් ලෙසිනි. රට රැකියා ඒජන්සියක හවුල්කරුවෙක් ලෙස නිශාන්ත කොතලාවල අලුත් ව්‍යාපාරයකට අත තබන්නේ ද හෝටලයට ආගිය අයෙක් සමඟ ඇතිකරගත් හිතවත්කමක් මතය. එහෙත් එම රැකියා ඒජන්සිය ද වැඩි කාලයක් කරගෙන යාමට ඔහුට ඉඩක් නොවීය. ඒ ඔහුගේ හවුල්කරු ලොකු පොල්ලක් තබා පැන ගිය බැවිනි. මේ තත්ත්වය මත නිශාන්ත කොතලාවල කඩවත පිහිටි එම ඒජන්සිය ඉදිරියට කරගෙන යන්නේ විදේශගත වන්නන්ට වීසා උපදේශන සේවයක් ලෙසිනි. චතුර ලෙස ඉංශ්‍රීසි භාවිත කිරීමට හැකියාව හා පරිගණක භාවිතය පිළිබඳ දැනුම ඔහු ඒ සඳහා උපරිමයෙන් යොදා ගත්තේය.

යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින ඩෙනිස් නමැති කපිතාන්වරයෙක් නිශාන්ත කොතලාවලව මුණගැසෙන්නට කඩවත පිහිටි ඒජන්සියට එන්නේ ඔය අතරතුරදීය. යුක්රේන හමුදාවට කුලී හේවායන් සහ එහි සිවිල් සේවා කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටි පිරිස යුක්රේනයට රැගෙන යාම භාරව සිටියේ යැයි කියැවෙන්නේ මෙම කපිතාන්වරයාටය. ඒ යුක්රේන් හමුදාවේ කුලී හේවායෙක් ලෙස ඒ වන විටත් සේවයේ යෙදී සිටි කපිතාන් රනීෂ්ගේ උපදෙස් මතය. කපිතාන් ඩෙනිස් ඒ වන විටත් සිට ඇත්තේ යුක්රේනයට යන්නට ලොකු උනන්දුවක් ඇතිවය. නිශාන්ත කොතලාවල මුණ ගැසී යුක්රේනයට යන්නට මඟක් සොයා උපදෙස් පතන්නේ ද එබැවිනි. ඒ කපිතාන් ඩෙනිස්ට තනිවම යුක්රේනයට යන්නට නොව, පිරිසක් ද සමඟ යුක්රේනයට යාම සඳහාය. එහිදී කපිතාන් රනීෂ් ද යුක්රේනයේ යුද බිමේ සිට නිශාන්ත කොතලාවල හා දුරකතනයෙන් සම්බන්ධ වී තිබුණේය. එහිදී ඔහු නිශාන්ත කොතලාවලගෙන් ඉල්ලා තිබුණේ ගුවන් ටිකට්පත්, වීසා ඇතුළු අත්‍යවශ්‍ය වියදම් පමණක් අයකරගෙන මෙම වැඩේ ගොඩදා දෙන ලෙසය. යුක්රේනයට පැමිණෙන එක් අයෙක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 1000ක මුදලක් නිශාන්ත කොතලාවලට ලබා දීමට ද එහිදී කපිතාන් රනේෂ් පොරොන්දුවක් දුන්නේය.

තමාගේ අතට ලොකු ගාණක් ලැබෙන මෙම අවස්ථාව අහිමි කර ගැනීමට නිශාන්ත කොතලාවල කිසිසේත්ම සූදානම් වූයේ නැත. ඔහු වැඩේ භාර ගත්තේය. අනතුරුව ඔහු සැලසුම් කරනු ලබන්නේ යුක්රේනයට මේ පිරිස රැගෙන යා හැකි ආකාරය ගැනය. එහිදී නිශාන්ත කොතලාවල අධ්‍යයනය කරනු ලබන්නේ යුක්රේනයේ පිහිටීම ගැනය. ඒ මෙරට පිහිටි යුක්රේන් තානාපති කාර්යාලය ඒ වන විටත් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් විකල්ප ක්‍රමයක් ඔස්සේ යුක්රේනයට ඇතුළු වීමට මඟක් සොයාය.

යුක්රේනයට නැගෙනහිරින් ඇත්තේ රුසියාවය. උතුරින් ඇත්තේ බෙලරූස් රාජ්‍යයි. බටහිරින් ඇත්තේ පෝලන්තය, ස්ලොවැකියාව හා හන්ගේරියාය. නිරිත දිගින් ඇත්තේ රුමේනියාව සහ මෝල්ඩෝවා ජනරජයයි. දකුණින් ඇත්තේ කළු මුහුදය.

යුක්රේනයට මායිම්ව ඇති මෙකී රටවලින් පහසුවෙන්ම වීසා ලබා ගැනීමට හැකිවනු ඇතැයි නිශාන්ත කොතලාවල විශ්වාස කරනු ලබන්නේ පෝලන්තයෙනි. යුක්රේන් හමුදාවට කුලී හේවායන් ලෙස එක් වීමට සූදානමින් සිටින පිරිස ඔහු පෝලන්තය හරහා යුක්රේනයට ඇතුළු කිරීමට සැලසුම් කරනු ලබන්නේ සංචාරක වීසා මඟින් ඒ අය එහි රැගෙන ගොසිනි. පෝලන්ත තානාපති කාර්යාලයක් මෙරට නොමැති බැවින් සැලසුම් කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලිවල පිහිටි පෝලන්ත තානාපති කාර්යාලයෙන් වීසා අයදුම් කිරීමටය. ඒ සඳහා අවශ්‍ය ලියවිලි සකස් කරනු ලබන්නේ මෙම ගමනට සූදානමින් සිටි විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් ගුවන් ටිකට්පත් සහ වීසා ගාස්තු ඇතුළු වියහියදම් සඳහා රුපියල් ලක්ෂ පහක හයක මුදලක් ලබා ගනිමිනි. එහෙත් හමුදාවේ නොවන අයගෙන් ඔහු රුපියල් ලක්ෂ අටත් දොළහමාරත් අතර මුදලක් අයකර ගත්තේය. ඒ හැම දෙනෙක්වම නිශාන්ත කොතලාවල හා සම්බන්ධීකරණය කරනු ලැබුවේ කපිතාන් ඩෙනිස් ය.

යුක්රේන හමුදාවේ කුලී හේවායන් සහ සිවිල් සේවකයන් ලෙස එක්වීමේ අරමුණින් මෙරටින් මුල්ම කණ්ඩායම ඒ අනුව පිටත්ව යන්නේ පසුගිය වසරේ අගොස්තු 16 වැනිදාය. එම කණ්ඩායමට නිශාන්ත කොතලාවල ඇතුළු 55 දෙනෙක් ඇතුළත්ව සිටියහ. ඒ යුද හමුදාවේ විශ්‍රාමිකයන් 27 දෙනෙක්, නාවික හමුදාවේ විශ්‍රාමිකයන් 08 දෙනෙක්, ගුවන් හමුදාවේ විශ්‍රාමිකයන් 07 දෙනෙක් සහ සිවිල් වැසියන් 13 දෙනෙක් ලෙසිනි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මේ අය එදින ගුවන්ගත වන්නේ සංචාරකයන් ලෙස ඉන්දියාවේ නවදිල්ලිල නුවර බලාය. මේ අය වෙනුවෙන් නවදිල්ලියේ හෝටලයක් කල්තියාම නිශාන්ත කොතලාවල සූදානම් කර තිබුණේය. පෝලන්තයට සංචාරකයන් ලෙස ඇතුළුවීමට ඔවුන් වීසා අයදුම් කරනු ලබන්නේ ඉන්දියාවේ රැඳී සිටිමිනි.

වීසා ලබාගැනීමට යාමේදී සිදුවන යම් ප්‍රමාදයක් මුල්කරගෙන එහිදී නිශාන්ත කොතලාවල සමඟ මත ගැටුමක් ඇති කරගන්නා කපිතාන් ඩෙනිස් 55 දෙනාගේ කණ්ඩායමෙන් කැඩී වෙන්වන්නේ 14 දෙනෙකු ද සමඟිනි. ඔවුන් දිල්ලියේ වෙනම හෝටලයක නවාතැන් ගනිමින් සැලසුම් කරනු ලබන්නේ වෙනත් මගකින් යුක්රේනයට පැන ගන්නටය. ඒ අය සැලසුම් කරනු ලබන්නේ අසර්බයිජානය හරහා යුක්රේනයට පැන ගන්නටය. එය පහසු මගක් නොවූවත් කපිතාන් ඩෙනිස් ඇතුළු 15 දෙනාගේ කණ්ඩායම යුක්රේනයට ඇතුළුවීමට තෝරා ගන්නේ අසර්බයිජානයයි. ඒ අනුව ඉන්දියාවේ සිට අසර්බයිජානයට යන ඔවුන්ගෙන් 12 දෙනෙකුට සිදුවන්නේ සිය ගමන අසර්බයිජානයෙන්ම අවසන් කරන්නටය. එම 12 දෙනාගෙන් 09 දෙනෙකුට සිදුවන්නේ ආපසු හැරී ඉන්දියාව හරහාම මෙරටට පැමිණීමටය. සෙසු තිදෙනා අදටත් සිටින්නේ අසර්බයිජාන් හිරේය. අසර්බයිජානයෙන් පැන ගන්නට අවස්ථාව ලැබී ඇත්තේ තිදෙනෙකුට පමණි. ඒ අය පැන ගන්නේ ජෝජියාවටය. ඔවුන් යුක්රේනයට ඇතුළු වී ඇති බවට කිසිඳු තොරතුරක් මෙතෙක් සොයා ගන්නට නැත. ඒ අය ඇතැම් විට ජෝර්ජියාවේ හෝ යුරෝපයේ වෙනත් රටකට ඇතුළු වී රැකියාවක නිරතව සිටිනවා විය හැකිය. ඒ ගැන පවා මේ වන විට ඇත්තේ විමර්ශන මට්ටමේය.

විමර්ශනවලින් මෙතෙක් හෙළිවී ඇති ආකාරයට අනුව යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස එක්වන්නේ ඉන්දියාවේ රැඳී සිටි කණ්ඩායමෙන් 23 දෙනෙක් පමණි. මෙම ගමනේදී ඉතාලියට පස් දෙනෙක් පැන ගත්තේය. වෙනත් රැකියා සොයා තවත් කිහිප දෙනෙක් අතරමඟින් අතුරුදන්වී තිබුණි.

මේ ගමනේදී නිශාන්ත කොතලාවල ද සූදානම්ව සිට ඇත්තේ ද යුක්රේනයට පනින්නටය. ඒ සඳහා ඔහු ද ජෝජියාවට යන්නට වීසා ලබාගෙන තිබුණේය. එහෙත් ඊට ඉඩක් නොලැබෙන්නේ වීසා නොලැබුණු පිරිසක් සිටි බැවින් ඒ අය ද සමඟ යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස එක්වීමේ සූදානමින් සිටින තවත් පිරිසක් යුක්රේනයට ගෙන ඒමේ වගකීම කපිතාන් රනීෂ් විසින් නිශාන්ත කොතලාවලට පවරන බැවිනි. මෙහිදී ජෝර්ජියාවට යාමට වීසා ලැබුණු දෙදෙනකුට ද හැරෙන්නට සිදුවන්නේ ගුවන් යානය මග හැරීම හේතුවෙනි. සෙසු පිරිස දිල්ලියේ සිට ජෝජියාවට ගුවන්ගත වන විට අඩු වියදමකින් ඒ ගමන යන්නට තෝරා ගන්නේ කල්කටා සිට ජෝර්ජියාවට ගුවනින් යන්නටය. පැය 17ක පමණ කාලයක් ගත කරමින් කිලෝ මීටර් 1500කට ආසන්න දුරක් ගෙවා දුම්රියෙන් දිල්ලියේ සිට කල්කටා යන ඔවුන් දෙදෙනා කල්කටා ගුවන්තොටුපොළට යන විට ගුවන් යානය ගුවන්ගතවී බොහෝ වේලාවක් ගොසිනි. එබැවින් ඔවුන්ට නැවතත් සිදුවන්නේ නවදිල්ලියට ආපසු හැරී එන්නටය. ඒ දෙදෙනාත් අසර්බයිජාන් හිදී ආපසු හැරී එන්නට වූ අයත් සමඟ යුක්රේනයට යන්නට හැදූ කණ්ඩායමෙන් නැවත ලංකාවට ආ පිරිස 17දෙනෙකි. ඒ අතර යුද හමුදාවේ 08 දෙදෙනෙක් ද, නාවික හමුදාවේ 03 දෙනෙක්ද, ගුවන් හමුදාවේ 02 දෙනෙක්ද නිශාන්ත කොතලාවල සමඟ සිවිල් වැසියන් 04 දෙනෙක්ද සිටියහ. කපිතාන් ඩෙනිස් ද සිටින්නේ ඒ හැරී ආ කණ්ඩායමේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇති ආකාරයට අනුව යුක්රේනයට ඇතුළු වී යුක්රේන හමුදාවේ කුලී හේවායන් ලෙස එක්වූ මේ අයගෙන් දෙදෙනෙක් රුසියානු හමුදා ප්‍රහාරයන්ගෙන් මිය ගොසිනි. ඒ යුක්රේනයේ බක්මුත් ප්‍රදේශයේ ඇතිවුණු ගැටුම්වලිනි. එසේ මියගොස් ඇත්තේ ගුවන් හමුදාවේ විශ්‍රාමිකයකු වන එම්. එම්. ප්‍රියන්ත සහ යුද හමුදාවේ විශ්‍රාමිකයකු වන රොඩ්නි ජයසිංහය. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදීය. කපිතාන් රනීෂ් මරුමුවට පත්වන්නේ රුසියානු ප්‍රහාරයකින් මිය ගිය ප්‍රියන්තගේ සිරුර රැගෙන ඒමට ගොසිනි. ඔහු සමඟ ඉන්දියාව හරහා ගිය 23 දෙනාගේ කණ්ඩායමේ සිටි විශ්‍රාමික කෝප්‍රල් ලහිරු හතුරුසිංහ ද සිටියේය. ඔහු තුවාල ලබා දිවි බේරාගන්නා විට කපිතාන් රනීෂ් රුසියානු ප්‍රහාරයකට ලක්ව මිය ගියේ තවත් පිරිසකට මරාන්තික තුවාල ගෙන දෙමිනි. රොඩිනි ජයසිංහ ද රුසියානු ප්‍රහාරයකින් මිය යන්නේ ඒ ආසන්නතම කාල වකවානුවකදීය.

ඒ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ කියැවෙන්නට වූ ආකාරයට අනුව යුක්රේන් හමුදාවේ කුලී හේවායන් ලෙස මෙරට හමුදාවේ විශ්‍රාමිකයන් 12 දෙනෙකු සේවයේ නිරතව සිට ඇත. තවත් 70 දෙදෙනෙකු හමුදාවට එක්වීමේ සූදානමින් පොරොත්තු ලේඛනයේ රැඳී සිටි බව කියැවිණි.

තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබන පරීක්ෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව යුක්රේනයට ඇතුළු වූ 23 දෙනාගෙන් කුලී හේවායන් ලෙස යුක්රේන් හමුදාවට එක්වූවෝ අතර යුද හමුදාවේ 10 විශ්‍රාමිකයන් 10 දෙනෙක් ද, නාවික හමුදාවේ විශ්‍රාමිකයන් 02 දෙනෙක් ද, ගුවන් හමුදිවේ විශ්‍රාමිකයන් 03 දෙනෙක්ද සමඟ සිවිල් වැසියන් 03 දෙනෙක් සිට ඇත. රුසියානු හමුදා ප්‍රහාරයෙන් මිය ගිය රොඩ්නි ජයසිංහත්, එම්.එම්. ප්‍රියන්තත් සිට ඇත්තේ ද එම කණ්ඩායමේය. එම 23 දෙනාගෙන් පසු යුක්රේන හමුදාවට කුළී හේවායන් ලෙස මෙරට වැසියන් එක්වූ බවට වෙන කිසිදු තොරතුරක් සොයා ගන්නට නොමැති තරම්ය. ඒ කුලී හේවායන් ලෙස මෙරට වැසියන් යුක්රේන් හමුදාවට බඳවා ගැනීම සම්බන්ධිකරණය කර තිබුණේ කපිතාන් රනීෂ් බැවිනි. ඔහු මිය යාමත් සමඟ ඒ සියල්ලම ඇනහිටින්නේ එතෙක් යුක්රේන් හමුදාවේ සිටි සෙසු ශ්‍රී ලංකිකයන් ද වෙනත් රැකියා සොයා ගොස් ඇති බැවිනි. ඒ අනුව මේ වන විට යුක්රේන් හමුදාවේ කුලී හේවායන් ලෙස රැඳී සිටින්නේ එක් ශ්‍රී ලංකිකයෙක් පමණි. ඔහුත් විශ්‍රාමික හමුදා සාමාජිකයෙක් බව කියැවෙයි. කපිතාන් රනීෂ් සමඟ අවසාන මොහොත වන තුරුම රැඳී සිට තුවාල ලැබූ බව කෝප්‍රල් ලහිරු හතුරුසිංහ ද යුක්රේන් හමුදාව අතහැර ගොස් ඇති බව විමර්ශනවලින් මේ වන විටත් හෙළිවී හමාරය. ඒ අනුව තවදුරටත් යුක්රේන් හමුදාවට මෙරටින් කුලී හේවායන් රැගෙන යන්නට අයෙක් නැති තරම්ය.

යුක්රේන හමුදාවට මෙරට වැසියන් කුලී හේවායන් ලෙස එක්කර ගැනීම්වලට එසේ නැවතීමේ තිත තැබෙන විට යුක්රේනයෙන් මෙම ජාවාරම විතැන්වී ඇත්තේ රුසියාව දෙසටය. ඒ සම්බන්ධයෙන් ද මේ වන විට තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර හමාරය. මෙය සිදුවන්නේ නුගේගොඩ පිහිටි රැකියා ඒජන්සියක් හරහාය. විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු පිරිස් රුසියාවේ හමුදා කඳවුරුවල සිවිල් සේවා කටයුතු සඳහා බඳවා ගන්නා බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින් බඳවා ගන්නා පිරිස් රුසියාවට රැගෙන ගොස් ගිනි අවි පුහුණුව ලබාදී ඉදිරි ආරක්ෂක වලල්ලට අතහැර දමන බව කියැවෙයි. රුපියල් ලක්ෂ පහළොවත් විස්සත් අතර ප්‍රමාණවලින් මුදල් ලබා ගනිමින් මෙම රැකියා ඒජන්සිය හරහා පසුගිය පෙබරවාරි 09 වැනිදා රුසියාවට 17 දෙනෙකුගේ කණ්ඩායමක් රැගෙන ගොස් ඇති අතර ඒ අයව ද දමා ඇත්තේ යුද බිමටය. ඉතා රහසිගතව සංවිධානාත්මකව සිදුවෙමින් පැවැති මෙම ඡාවාරම එළියට එන්නේ එසේ රුසියාවට ගිය 17 දෙනාගේ කණ්ඩායමේ සිටි කිහිප දෙනෙකු මෙරටට පැමිණ හෙළි කරන්නට වූ බැවිනි. ඒ අනුව රුසියාවේ යුද බිමට මෙරට වැසියන් රැගෙන ගොස් අතහැර දමන ජාවාරමට ද නැවතීමේ තිත තබමින් ඊට සම්බන්ධ වූවෝ ද අද හෙටම නීතියේ රැහැනට කොටු කර ගනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division