Home » කෝටි එකහමාරකට විකුණන්න හැදූ ගජමුතු දෙක අතට ගන්න පොලිසිය ගහපු ගේම

කෝටි එකහමාරකට විකුණන්න හැදූ ගජමුතු දෙක අතට ගන්න පොලිසිය ගහපු ගේම

by thanushika
March 23, 2024 12:30 am 0 comment

ගජමුතු ඇතාගේ දළ දෙකෙන් බිහි වන්නකි. එහෙත් ගජමුතු සෑම ඇතෙකුගේම දළවල පිහිටන්නේ ද නැත. ඇතකුගේ දළය තුළ ගජමුතු පිහිටා තිබේ නම් ඇතා පාද තබන විට රිදී සීනු හඬක් පැන නඟින බවට මතයක් තිබේ. ඇත් දළ සේ රන්වන් පාටට සමාන ගජමුතු රවුම් මෙන්ම කුඩා බිත්තරයක හැඩයක් ද ගනී.

අතීතයේ ස්වභාවික ලෙස මියගිය ඇතුන්ගෙන් ගජමුතු ලබාගත්ත ද වර්තමානයේ ගජමුතු ලබා ගැනීම සඳහාම ජාවාරම්කරුවන් විසින් දළ ඇතුන් මරා දමන්නේ හිත්පිත් නැත්තවුන් විලසිනි. එම නිසා සමස්ත ඇත් පරපුරටම තර්ජනය වී තිබෙන ගජමුතු ජාවාරම මෙරට තුළ නීති විරෝධී ක්‍රියාවකි.

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟ පසුගිය පෙබරවාරි 07 වැනිදා හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ගජමුතු ජාවාරම්කරුවන් දෙදෙනෙකු ද කොටුකරගන්නේ ගජමුතු දෙකක් ද සමඟිනි.

අඟලයි, අඟල් තුන්කාලක් දිගැති ඇත් දළ පැහැති බිත්තර හැඩැති හෙවත් ඉලිප්සාකාර එම ගජමුතු දෙක රුපියල් කෝටි එකහමාරකට මිල නියම කරමින් සිදුකළ ගජමුතු ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවන් දෙදෙනා ගජමුතු දෙක සමඟ හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ට කොටු වන්නේ මෙලෙසිනි.

පසුගිය පෙබරවාරි 5 වැනිදා හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සංජයට බුද්ධි තොරතුරක් ලැබිණි. එම තොරතුර පොලිස් පරීක්ෂක මනෝජ් සංජයට ලැබෙන්නේ හලාවත පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරියකුගෙනි.

එම බුද්ධි තොරතුරෙන් කියැවුණේ වාරියපොළ සිට හලාවතට ගජමුතු දෙකක් විකිණීමට රැගෙන එන බවයි. ඉන් වැඩිදුරටත් කියැවුණේ එම ගජමුතු දෙක රුපියල් කෝටි එකහමාරකට මිල කරමින් විකිණීමට සූදානම් වන බවයි.

අනතුරුව එම බුද්ධි තොරතුරට අයත් වැඩිදුර කරුණු කාරණා යුද හමුදා බුද්ධි අංශ නිලධාරින් මඟින් තහවුරු කර ගැනීමට ද පොලිස් පරීක්ෂක මනෝජ් සංජය කටයුතු කළේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා සැලසුමක් ද සකස් කරමිනි.

රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට මිල නියම කෙරුණු ගජමුතු විකිණීම සඳහා ජාවාරම්කරුවන් වැඩපිළිවෙළක් සකස්කර ඇති බවට ලැබුණු තොරතුරු ‘තිත‘ටම නිවැරැදි බව යුද හමුදා බුද්ධි අංශ නිලධරයෝ ද තහවුරු කළහ. ඒ අනුව එම ජාවාරම වැටලීමට උපාය දූතයකු ද අවැසි විය. ඊට යුද හමුදා බුද්ධි නිලධාරියකුම ඉදිරිපත් විය.

“මනෝජ් මහත්තයා… ගජමුතු බිස්නස් එකේ ඉන්ෆොමේෂන් එක හරියටම හරි… 7 වැනිදාට ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා… එදාට ඩිකෝයි (උපාය දූතයා) විදිහට අපේ නිලධාරියෙක් මේ ගනුදෙනුවට සම්බන්ධ කරගමු… ගජමුතු සල්ලිවලට ගන්න විදිහට…“ යැයි යුද හමුදා බුද්ධි නිලධරයෝ පොලිස් පරීක්ෂක මනෝජ් සංජය දැනුම්වත් කළෝය.

වැටලීම සිදු කිරීමට සූදානම් වන පොලිස් නිලධාරි කණ්ඩායමට යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන්ද ඉහළ දායකත්වයක් ලැබිණි. සියලු දේ එලෙස පෙබරවාරි 6 වැනිදා කතිකා කරගත්හ.

දිනය පෙබරවාරි 7 වැනිදාය. එදින ගජමුතු දෙක වාරියපොළ සිට රැගෙන එන්නේ හලාවත තානායම ඉදිරිපිට වෙරළ උද්‍යානය වෙතය. ‘ගජමුතු ගනුදෙනුව‘ සිදුවන්නේ එම ස්ථානයේදීය. පොලිස් පරීක්ෂක මනෝජ් සංජය විසින් සිදු කිරීමට නියමිත ගජමුතු ජාවාරමේ වැටලීම පිළිබඳව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරද දැනුම්වත්කොට එම නිලධාරියාගේ උපදෙස් මත හලාවත දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරි හපුගොඩගේ අධීක්ෂණයෙන් වැටලීම සූදානම් කෙරිණි.

පෙබරවාරි 7 වැනිදා පෙරවරුව වෙද්දී උපාය දූත යුද හමුදා බුද්ධි නිලධාරියා ගජමුතු ගනුදෙනුව සිදු කිරීමට නියමිත හලාවත තානායම ඉදිරිපිට වෙරළ උද්‍යානයට පැමිණියේය.

ඊට ආසන්න හලාවත මත්ස්‍ය වෙළෙඳපොළේ රථවාහන අංගණයේ උපාය දූතයා පෙනෙන මානයෙන් පෞද්ගලික රථයකින් පැමිණ පොලිස් පරීක්ෂක මනෝජ් සංජය සමඟ සැරයන්වරුන් වන 59486 ජයතිස්ස, 69442 මල්වත්ත සහ කොස්තාපල් රියැදුරු 18238 ඒකනායක රැකවල්ලා සිටියෝය. එලෙස නිලධාරි කණ්ඩායම එම ස්ථානයේ රැඳී සිටියේ සිවිල් ඇඳුමිනි.

“මනෝජ් මහත්තයා… ගජමුතු ගෙනාවම මං ඒව බලලා ඔයාලට අතින් සිග්නල් එකක් දෙන්නම් බඩු ආවා කියලා… එතකොටම මහත්තයලා එන්න…“යැයි උපාය දූත වෙස් ගත් යුද හමුදා බුද්ධි නිලධාරියා දුරකතන ඇමැතුමක් දෙමින් පොලිස් පරීක්ෂක මනෝජ් ඇතුළු කණ්ඩායම එලෙස දැනුම්වත් කළේය.

පොලිස් කණ්ඩායමද උපාය දූතයාගේ ඉසව්ව දෙසට උකුසු ඇස් යොමාගෙන සිටියේය. මඳ වේලාවක් ගත විය. උපාය දූතයා පෙර දැනුම්වත් කළ පරිදි පොලිස් නිලධාරි කණ්ඩායමට අතින් සංඥාවක් දුන්නේ ගජමුතු සහිත ජාවාරම්කරුවන් එම ස්ථානයට පැමිණි බව පසක් කරමිනි. එසැණින් පොලිස් කණ්ඩායම ක්‍රියාත්මක වී එම ස්ථානය වැටලුවේ පැමිණ සිටි ගජමුතු ජාවාරම්කරුවන් දෙදෙනාට කිසිවක් සිතාගත නොහැකි ලෙසිනි.

ඔවුන් දෙදෙනා ගජමුතු දෙකක් ළඟ තබාගෙන රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ඒවා විකිණීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනිණි. එලෙස අත්අඩංගුවට ගැණුනේ වාරියපොළ ප්‍රදේශයේ දෙදෙනෙකි. එක් අයෙක් 40 හැවිරිදි ගයාන්ය. අනෙකා 45 හැවිරිදි නිශාන්ය. ඔවුන් දෙදෙනා දේවාල පවත්වාගෙන යමින් ඒ ආශ්‍රිත කටයුතුවල නියැළෙන අය වෙති. ගජමුතු දෙක තිබුණේ නිශාන් සන්තකයේය.

“කොහෙන්ද තමුන්ලට මේ ගජමුතු දෙක ලැබුණේ…?“ පොලිස් නිලධරයෝ සැකකරුවන්ගෙන් එලෙස ප්‍රශ්න කළෝය.

“සර්… අපිට මේව ලැබුණේ අපේ ඥාති සහෝදරියක් ඉන්නවා එයාගෙන්… එයා දේවාලයක් කරන්නේ… ඒ අපේ සහෝදරිය තමයි අපිට මේවා දුන්නේ විකුණන්න කියලා… සති දෙකකට විතර කලින් තමයි මේ ගජමුතු දෙක අපිට ගෙනත් දුන්නේ සර්…“ අත්අඩංගුවට ගත් දෙදෙනා පැවැසූහ.

ඒ අනුව හෙළි වූයේ දෙදෙනා කිහිප දෙනෙකු මාර්ගයෙන් ගජමුතු විකිණීමට තැත් කළ ද එය අසාර්ථක වූ හෙයින් අනතුරුව උපාය දූතයාගේ ‘ගැටය‘ට හසු වෙමින් ගජමුතු විකිණීමට හලාවතට පැමිණ සිටි බවයි.

පොලිස් නිලධාරින් සැකකරුවන් දෙදෙනාගේ පාපෝච්චාරණ ඔස්සේ ගජමුතු දෙකේ සුලමුල සොයා ගියද ඔවුන් කී ආකාරයෙන් ඥාති සහෝදරියක් තමන්ට ඒවා දුන්නා යැයි කී කතාව අනාවරණය නොවන බව විමර්ශන සිදු කරන නිලධාරියෙක් පැවැසීය.

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

අහිංසක දළ ඇතුන් මරා මෙලෙස ගජමුතු ලබාගන්නා ජාවාරම්කරුවන්ට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් ලබාදීම වගකිවයුතු පාර්ශ්වයන්හි ප්‍රමුඛ වගකීමකි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත හලාවත දිස්ත්‍රික් I භාර සහකාර පොලිස් අධිකාරි ඒ.එච්.බී.එම්.ඩබ්ලිව්.ඩී.බී. හපුගොඩගේ අධීක්ෂණයෙන් හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සංජය, සැරයන්වරුන් වන 59486 ජයතිස්ස, 69442 මල්වත්ත, කාන්තා කොස්තාපල් 2533 චාන්දනී සහ කොස්තාපල් රියැදුරු 18238 ඒකනායක යන නිලධාරිහු වැටලීමට එක් වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division