Home » මහනුවර පොලිස් මෙස් එකක ඉඳන් මත්කුඩු විකුණු කා.කා.ස.

මහනුවර පොලිස් මෙස් එකක ඉඳන් මත්කුඩු විකුණු කා.කා.ස.

by thanushika
March 23, 2024 12:30 am 0 comment

හොරාට ඇත්තේ ‘ගණදෙවි නුවණ’ යැයි කියමනක් තිබේ. මත්කුඩු ජාවාරම්කරුවෝ ද එසේ ය. පොලිස් අත්අඩංගුවට පත්වන වාරයක් පාසා ඔවුන් අඩුපාඩු මගහරවා ගනිමින් ජාවාරම ක්‍රියාත්මක කිරීමට හපනුන්ය. එවැන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නම් පොලිසිය ගණදෙවි නුවණටත් එහා ගිය නුවණකින් වැඩ කළ යුතුය. එලෙස ක්‍රියාකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක සුලමුල අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයෝ පසුගියදා සමත් වූහ.

මහනුවර බහිරවකන්දේ පිහිටි පොලිස් පරීක්ෂක භෝජනාගාරය හඳුන්වන්නේ ‘කප්රුක’ නමිනි. ඊට අනුයුක්තව සේවය කරන පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සේවකයෙකු මත්කුඩු භාවිත කරන බවට ලද තොරතුරක් මත දිගන, අඹකොටේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු හීරැස්සගල දංගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නේ පසුගිය නොවැම්බර් මස 11 වැනිදාය. විවාහකයෙකු වන තිස්නව හැවිරිදි එම සැකකරු සන්තකයේ තිබී ඒ අවස්ථාවේ විශේෂ බළකා නිලධාරීන් කණ්ඩායම හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 2600ක් සොයා ගත්තේය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර දීමෙන් පසු එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇඟබේරා ගැනීම වෙනුවට ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝගයක් ලබා ගන්නේ ඔහු පසුපස ඇති ‘මත්ද්‍රව්‍ය ජාලයේ’ තොරතුරු අනාවරණය කරගැනීමේ අදහසිනි.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කරන ස්ථානාධිපතිවරයා සැරයන්වරුන් වන (32874) ජයවර්ධන, (33006) වීරසිංහ, කොස්තාපල් (69707) හේමසිරි යන නිලධාරීන්ට වගකීම් පවරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සේවකයා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා බලන්නටය. සැකකරුගේ ජංගම දුරකතනය ගෙන එය පරීක්ෂා කිරීමේදී වට්ස්ඇප් ඔස්සේ පුද්ගලයෙකුට යොමුකර තිබූ බැංකුවකට මුදල් බැර කිරීමේ රිසිට් පතක් සම්බන්ධයෙන් සැක පහළ කළ පොලිස් නිලධරයෝ වහා ක්‍රියාත්මක වී අදාළ බැංකු අංකය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ගිණුම පරීක්ෂා කිරීමේ නියෝගයක් ලබා ගත්හ. පොලිස් නිලධාරීන්ද මවිතයට පත් වූයේ මාසයකටත් අඩු කාලයකදී එම ගිණුම ඔස්සේ රුපියල් හයකෝටි තිස්හත්ලක්ෂයක මුදලක් හුවමාරු වී තිබෙන බව දැකීමෙනි.

පිළියන්දල පදිංචි 27 හැවිරිදි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරන බවයි. පියා වාහන අමතර කොටස් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව ද පොලිසිය සොයා ගත්තේය. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබ තිබෙන සැකකරු මෙම ජවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී ඇත්තේ මීට මාස හයකට පමණ ඉහතදීය. රජයේ බැංකුවක සහ පෞද්ගලික බැංකු තුනක ඔහුට අයත් ගිණුම් හතරක රුපියල් කෝටි 20ක පමණ මුදලක් සංසරණය වී තිබෙන බව පොලිසියට පෙනී ගියේය. මුදල් බැර වූ දින සෑම දිනකම පස්වරුවේ අදාළ මුදල් වෙනත් ගිණුම් කිහිපයකට ඔන්ලයින් ඔස්සේ යොමුකර තිබෙන බව ද පොලිසිය අනාවරණය කරගත්තේය.

“මගේ ඉස්කෝලේ යාළුවෙක් තමයි මාව මේකට සම්බන්ධ කළේ. මුලින් කිව්වේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පුද්ගලයින්ගේ මුදල් ලබාගන්න ගිණුමක් විවෘත කරන්න කියලා. ඒකට ලැබෙන මුදල්වලින් 10%ක කොමිස් එකක් මට දෙන්නම් කිව්වා. මට තියෙන්නේ ගිණුම විවෘත කරන්න උපදෙස් දුන් කෙනා හවසට කියන ගිණුම්වලට මගේ ගිණුමට වැටිලා තියෙන මුදල් යවන්නයි.“ සැකකරු පොලිසියට පැවසුවේය.

සැකකරුට ගිණුම විවෘත කරන ලෙස උපදෙස් දී ඇත්තේ කාන්තාවකි. ‘දෙමටගොඩ චමින්ද’ගේ ළඟම හිතවතියක වන ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක සැකකාරියකි. අධිකරණය මගහරිමින් සිට විදේශගත වූ මෙම කාන්තාවට එරෙහිව වරෙන්තු පහක් අධිකරණය මඟින් නිකුත්කර තිබෙන බව පොලිසිය පවසයි.

“මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා සංවිධානාත්මක ක්‍රියාත්මක කර තිබෙනවා. සෑම කතාබහක්ම කරලා තියෙන්නේ වට්ස්ඇප් ඔස්සේ. ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවට මත්ද්‍රව්‍ය අවශ්‍ය පුද්ගලයා වට්ස්ඇප් ඔස්සේ කතා කරනවා. ඇය මුදල් බැර කිරීමට ගිණුම් අංකයක් අදාළ පුද්ගලයාට ලබා දෙනවා. ඒ විදිහට ඇයට ලබාදෙන ගිණුම් අංකයක හිමිකරු තමයි අපි පිළියන්දලින් අත්අඩංගුවට ගත්තේ. එම ගිණුමට මුදල් බැරවුණු පසු ඔහු ඒ බව වට්ස්ඇප් පණිවිඩයකින් ඩුබායි සිටින කාන්තාවට දැනුම් දෙනවා. මුදල් බැර කළ පුද්ගලයා ද ඊට අදාළ බැංකු රිසිට් පත ඩුබායි පදිංචි කාන්තාවට යවනවා. මේ ආකාරයට මුදල් ගිණුම්ගත කර තහවුරු වූ පසු ඩුබායිවල පදිංචි කාන්තාව ලබාදුන් ලොකේෂන්වල මත්ද්‍රව්‍ය තියන පුද්ගලයෙකුට ඒ බව දැනුම් දෙනවා. එම පුද්ගලයා ලොකේෂන් කිහිපයක මත්ද්‍රව්‍ය තියලා ගියාට පස්සේ මුදල් බැර කළ පුද්ගලයාට අදාළ ස්ථානයේ බඩු තියනවා ගන්න කියලා දැනුම් දෙනවා. මේ ආකාරයට ක්‍රියාත්මක වන ජාවාරමේදී බැංකු ගිණුම් හිමිකරු, ලොකේෂන් එකේ මත්ද්‍රව්‍ය තබන පුද්ගලයා හා මත්ද්‍රව්‍ය ඉල්ලුම්කරු කිසි විටෙකත් දුරකතනයෙන් හෝ සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් එකිනෙකා හඳුනා ගැනීමටවත් අදාළ කාන්තාව ඉඩක් තබන්නේ නැහැ.“ කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක පැවසුවේ මෙම ජාවාරම ක්‍රියාත්මක වී තිබෙන ස්වරූපය පැහැදිලි කරමිනි.

පොලිස් පරීක්ෂක භෝජනාගාර සේවයකයාගෙන් තවදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ කොළඹ පදිංචි කාන්තාවකට අයත් ගිණුමකට ද මුදල් බැරකර ඔහු මත්කුඩු ලබාගෙන තිබෙන බවයි. අධිකරණ නියෝගයක් ලබා ගනිමින් පොලිසිය එම කාන්තාවගේ බැංකු ගිණුමේ විස්තර ලබා ගත්තේය. රුපියල් කෝටි 07ක පමණ මුදල් සංසරණය වී තිබූ අදාළ ගිණුම ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙකුගේ පුතෙකුගේ අනියම් බිරිඳගේ බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගත්තේය. ටෙලි නළුවාගේ පුතා ද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු මේ වනවිට විදේශගතව සිටින අතර අනියම් බිරිය සිටින්නේ මහර බන්ධනාගාරයේය. ඒ මත්කුඩු තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙම මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ ගිණුම් 27ක පමණ තොරතුරු පොලිසිය මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒවායේ දිනකට රුපියල් කෝටියක පමණ මුදලක් සංසරණය වී තිබෙන බව ද පොලිසිය සොයා ගෙන ඇත. මේ වනවිට අත්අඩංගුවටගෙන සිටින සැකකරුවන් දෙදෙනා මෙම මස 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. බැංකු ගිණුම් විවෘත කරමින් මත්කුඩු ජාවාරම්කරුවන්ට මුදල් ගනුදෙනු කිරීමට පහසුකම් සැලසූ 27 හැවිරිදි තරුණයාට මුදල් විශුද්ධිකරණය යටතේ අධිකරණයට කරුණු වාර්තා කර හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීමට අමතරව තවත් නඩුවක් ගොනු කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division