මට රංගනය ගැන කිිසිම අයිඩියා එකක් තිබුණෙ නෑ | සිළුමිණ

මට රංගනය ගැන කිිසිම අයිඩියා එකක් තිබුණෙ නෑ

රාවණාහි ප්‍රධාන සෙන්පතිනිය, මැටි කඩුලුහි දීපා, සකූගේ ලෝකයේ නිහැඬි තවමත් ඔබේ මතකයෙන් ගිලිහිලා නැතිව ඇති. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ ජනප්‍රියම ටෙලි වෘත්තාන්තයක් වන “ජානු“හි හිතුවක්කාර සෝනුගේ චරිතයට පණ පොවන්නේ ද ඇයයි. සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයෙන් කලාවට පිවිසි ඇය ප්‍රාර්ථනා සෙව්වන්දිය. විටෙක අහිංසකාවියක් තවත් විටෙක සටන්කාමී සෙන්පතිනියක් මෙන්ම නපුරු හිතුවක්කාරියක් වුණු ප්‍රාර්ථනා සැබෑ ජීවිතයේදී නම් තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක තරුණියක්. මේ ඇය හා කළ සොඳුරු කතාබහකි.

ප්‍රාර්ථනා කියනවට වඩා සෝනු කිව්වම නේද ගොඩක් අය ඔබව මේ දවස්වල අඳුනන්නෙ?

සෝනුගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සෝනු කියන්නේ මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජානු ටෙලි නාට්‍යයේ ජානුගෙ යෙහෙළිය. නපුරු හිතුවක්කාර චරිතයක්. මෙතෙක් මං කරල තිබුණේ ගොඩක්ම අහිංසක චරිත. මේක ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒකට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන එහි අධ්‍යක්ෂ හසුන් සමීර අයියට. හසුන් අයිය තමයි මට ඒ චරිතයට ආරාධනා කළේ. ඒ වගේම පාලිත සිල්වා අයියවත් ආදරෙන් මතක් කරන්න ඕන. ඒකෙ පාලිත අයියගේ පෙම්වතියගේ චරිතය තමයි මං කරන්නේ. ටිකක් අපහසු වුණා ඒ වගේ ප්‍රවීණයෙක්ගේ පෙම්වතිය වෙන්න. එතැනදි පාලිත අයිය මට ලොකු සහායක් දුන්නා චරිතය සාර්ථක කරගන්න. ඒ වගේ ප්‍රවීණ අයත් එක්ක වැඩ කරන්න ලැබීමම සතුටක්.

මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?

ජානු තවමත් විකාශය වන නිර්මාණයක්. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශය වන හේලියන් වගේම සඳලු සේයා ටෙලි නාට්‍යයේ වැඩකටයුතුත් මේ දිනවල කෙරෙනවා. සඳලු සේයා පළවෙනි අදියර ඉවරයි. දෙවැනි එක පටන් ගත්තා. ඒකෙ වත්සලා කියන ප්‍රධාන චරිතය. ඊට අමතරව තව නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැනත් සාකච්ඡා වෙමින් තියෙන්නේ. ඉදිරියේ දී සිනමා නිර්මාණයකට දායක වෙන්නත් බලාගෙන ඉන්නවා.

ප්‍රාර්ථනා දැන් ටික කාලයක් වෙනවනේ ක්ෂේත්‍රයට ඇවිත්. තවමත් සිනමාවට ආරාධනාවක් ලැබුණෙ නැද්ද?

සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. නොයෙක් හේතු නිසා ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා. මං ටිකක් බලාගෙන ඉන්නෙ හොඳ චරිතයකින්ම සිනමාවට සම්බන්ධ වෙන්න. දිලුක ගුණතිලකගෙ කෙටි චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. අහිංසක චරිත තමයි ගොඩක්ම ලැබුණේ.

ප්‍රාර්ථනාගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැනත් සඳහන් කරමු නේද?

මං මුලින්ම සම්බන්ධ වුණේ නිරූපණ ක්ෂේත්‍රයට. බ්‍රයිඩ්ල් විතරයි කළේ. ඒත් එක්කම 2018 වසරේ බියුටි පැජෙන්ට්වලට සම්බන්ධ වුණා. මුලින්ම Miss Sri Lanka For USA – 2018 පැජෙන්ට් එකට සම්බන්ධ වුණා. ඒක USA යවන්න බලාගෙන කරන පැජෙන්ට් එකක්. මට දෙවැනි ස්ථානය ලැබුණා. ඒකෙදි Beautiful Eyes ටයිට්ල් එක ජයග්‍රහණය කළා. ඒ අවුරුද්දෙම Miss Sri Lanka - 2018 පැජෙන්ට් එකේ Miss Photogenic වුණා. ඊට පස්සෙ තමයි කලාවට සම්බන්ධ වුණේ. මුලින්ම සම්බන්ධ වුණේ සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයට. මට ඒ අවස්ථාව ලැබුණේ තිළිණි පෙරේරා අක්ක නිසා. එයා තමයි ඒකෙ සහාය අධ්‍යක්ෂකට මං ගැන කියලා තිබුණේ. ඊට පස්සෙ රාවණා, මැටි කඩුලු, සකූගේ කතාව, ජානු, හේලියන් වගේ නිර්මාණවලට සම්බන්ධ වුණා. සඳලු සේයා කියන්නෙ ඉදිරියට විකාශය වෙන්න තියෙන නිර්මාණයක්. හරිම ලස්සන පැතිවල ඒක ෂූට් කළේ. හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒක විකාශය වෙනකන්.

පොඩි කාලෙ ඉඳන්ම කලාවට සම්බන්ධ වෙන්න හීනයක් තිබුණ ද?

ඇත්තම කිවුවොත් මට රංගනය ගැන කිසිම අයිඩියා එකක් තිබුණෙ නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම බ්‍රයිඩ්ල් නිරූපණයට සම්බන්ධ වුණා. ඒත් සිද්ධාර්ථ ගෞතම එකට සම්බන්ධ වුණාට පස්සෙ තමයි මට රංගනය ගැන ආසාවක් ඇති වුණේ. පාසල් යන කාලෙ වේදිකා නාට්‍ය කරල තිබුණා. ඒත් වැඩිපුරම සංගීතය පැත්තට තමයි බර. වෙස්ටර්න් බෑන්ඩ් එකේ ලීඩර් වෙලා හිටියා. ඒත් මුල්ම ටෙලි නාට්‍යය රූගත කරද්දි කැමරාව ඉස්සරහදි මට බයක් දැනුණා. අදටත් මට සමහර වෙලාවට ඒ චකිතය ඇති වෙනවා. විශේෂයෙන්ම ජානු ටෙලි නාට්‍යයේ දී ලොකු චකිතයක් ඇති වුණා. පාලිත අයියා වගේ වයසින් ටිකක් මුහුකුරා ගිය ප්‍රවීණයකුගෙ පෙම්වතිය විදිහට රඟපාන එක හරිම අමාරු වුණා.

රාවණාහි ප්‍රධාන සෙන්පතිනිය අභියෝගාත්මක චරිතයක් නේද? කොහොම ද ඒ අත්දැකීම?

තුෂාර තෙන්නකෝන්ගේ රාවණා චරිතය ගොඩක් අභියෝගාත්මක චරිතයක් වුණා. ඒක සම්මානවලට නිර්දේශ වුණ චරිතයක්. සටන් ක්‍රම හදාරන්නත් වුණා. මිහින්තලේ පැත්තෙ තමයි වැඩිපුරම පුහුණුවීම් කළේ. ප්‍රසාද් සූරියපති තමයි අපේ සටන් අධ්‍යක්ෂක විදිහට කටයුතු කළේ. දීර්ඝ කාලීනව පුහුණුවක් ලබන්න බැරි වුණත් අවශ්‍ය ටික හොඳින් පුහුණු වුණා. මුලින්ම නම් මට බය හිතුණා. මට මේක කරන්න පුළුවන් වේවිද කියලා. අමාරු විදිහට පෙනුණත් ඒවා පහසු විදිහට අපට පුහුණු කළා.

ආදරය ගැන ප්‍රාර්ථනාගෙ හිතේ මොන වගේ ඉඩක් ද තියෙන්නෙ?

දැනට නම් පෙම්වතියක් නෙවෙයි. මාත් ආදරය කරල තියෙනවා. ඒ සම්බන්ධය නැති වුණා. ආදරය කරනව වගේම ගැළපෙන්නෙ නැති නම් ඒකට ගෞරවාන්විතව සමුදෙන්නත් අපිට පුළුවන් වෙන්න ඕනෙ. හැමෝම ආදරය කරන්නෙ අයිති කරගන්න බලාගෙන වුණත් හැමෝටම අයිති වෙන්නෙ නෑ. ඒක අපි තේරුම් ගන්න ඕනෙ.

Comments