ආදරේ ගැන අනාවැකි කියන්න බෑ අතරමඟදී වුණත් වෙන්න පුළුවන් | සිළුමිණ

ආදරේ ගැන අනාවැකි කියන්න බෑ අතරමඟදී වුණත් වෙන්න පුළුවන්

 

මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් ලබන ටෙලි නිර්මාණයක් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාරගේ සුසංයෝගයෙන් නිර්මාණය වන "සල්ලි පොකුරු". මේ නාට්‍යය බලන බොහෝ දෙනාට අමතක නොවන චරිතයක් එහි එන රෝසාගේ චරිතය. රෝසාගේ චරිතය නිරුපණය කරන්නේ දිදුල ඉඳුවර. මීට පෙර විකාශය වූ "පාර වසා ඇත" නාට්‍යයේ බිංදු වුණෙත් දිදුල.

රෝසාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

රෝසා කියන්නේ මට හම්බවුණු වෙනස් විදියේ චරිතයක්. ඒ චරිතය මට අභියෝගයක් වුණා. එහි සාර්ථකත්වයේ මිම්ම ලබා ලබාගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්. ඒ තරමට මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි.

ඔබට රෝසා වෙන්න ඇරයුම් ලැබුණේ කොහොමද?

මට මේ චරිතයට කතා කළේ ශිවා මාමා. (ජයප්‍රකාශ් ශිවගුරුනාදන්) මේකප් ආටිස් කෙනෙක්ගේ චරිතයක් තියෙන්නේ කියලා ඔහු මට කිව්වා. ඊට පස්සේ මට කිව්ව දේ තමයි රෝසා කියන චරිතය හාස්‍යයට බර කරන්න එපා කියන එක. අපි දකිනවා වගේ ජෝර්ක් විදියට කරන්න එපා. මේ චරිතය සීරියස් ක්රැක්ටර් එකක්. ඒ විදියට කරන්න ඕනේ කියලා. ඒ නිසා මට අභියෝගයක් වුණා. කොහොමද රෝසා කියන චරිතය තාත්වික විදියට කරන්නේ කියලා.

ඔබ සල්ලි පොකුරු නාට්‍යයේ විතරද දැනට රංගනයෙන් දායක වෙන්නේ?

කැලුම් පාලිත මහිරත්න මහතාගේ අටපාස් නාට්‍යයේ දෙවැනි කොටසේ සූටින් කෙරුණා. ඒකත් ඉදිරියේදී දැක ගන්න ලැබෙයි. ඊට අමතරව ඉඳුවර සූරියබණ්ඩාරයි මමයි එක්ව කෙටි චිත්‍රපටයක් කරගෙන යනවා.

ඔබේ විශ්වවිද්‍යාල කටයුතු කොහොමද?

දැනට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හතරවෙනි වසරේ ඉගෙනුම ලබනවා. මම දැන් ඉන්නේ අවසන් වසරේ. අවසන් වසරේ චිත්‍රපට නිෂ්පාදන කටයුතු සඳහා පිටපත් ලියනවා සැලසුම් කරනවා. තව මගේ කෙටි චිත්‍රපටයක් හදලා තියෙනවා The Silent Honeymoon එහි ප්‍රධාන චරිතය කළේ කුසල් මධුරංග. ඒක මේ දවස්වල කෙටි චිත්‍රපට උලෙළවල් සඳහා තරග වදිනවා.

ඔබ පාසල් වේදිකාවෙන් බිහිවෙන නළුවෙක් කිව්වොත්?

ඒක ඇත්ත. මම 2010දී හොරණ විද්‍යාරතන විද්‍යාලයට එනවා. එතකොට හය වසරේ. එතැනින් තමයි මගේ පාසල් වේදිකාවේ ගමන ආරම්භ වෙන්නේ. පාසලේ නාට්‍යය ගුරුවරයා පුබුදු සුභාෂණ කුරුගල සර් හරහා 2011දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලට සම්බන්ධ වෙනවා. ඒ චූටි බබා ලොකු ළමයෙක් කියන ළමා නාට්‍යය එක්ක. එවර රාජ්‍ය ළමා නාට්‍යය උළෙලේ දී මගේ රංගනය සඳහා විශිෂ්ඨ රංගන කුසලතාවක් ලැබෙනවා. 2012දී රාජ්‍ය ළමා නාට්‍යය උලෙළට "මමයි මමයි හරි යාලුයි" කියන නාට්‍යය අපෙ පාසලෙන් ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් 2012 දී රාජ්‍ය ළමා නාට්‍යය උලෙළේ හොඳම නළුවා සම්මානය ලැබෙනවා. ඒ සම්මානය ලැබෙනවා එක්කම තමයි මට පුංචි තිරයට ආරාධනා ලැබෙන්නේ.

ඔබ පුංචි තිරයේ රඟපෑ නිර්මාණ ගැන සිහි කළොත්?

මම මුලින්ම සම්බන්ධ වුණේ සමන් කුමාර ලියනගේ සර්ගේ "පිත්තල කොණ්ඩෑරුම" ටෙලි නාට්‍යයට. ඊට පස්සේ "සඳසාවි" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. 2014දී මට ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ "නිර්භීතයි අපි" කියන ළමා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සුරංග සතරසිංහ මාමාගේ "නාටක මාරයි" වගේ නාට්‍යය, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ "පාර වසා ඇත" සහ කැලුම් පාලිත මහිරත්න මහතාගේ අටපාස් නාට්‍යය.

රංගන ශිල්පියෙක් වීම ගැන මොකද හිතෙන්නේ?

අපිට ලැබෙන නිර්මාණත් එක්කයි අපි අලුත් වෙවී, ප්‍රේක්ෂකයින් ඉදිරියේ අලුත් විදියට පෙනී සිටිමින් යන්නේ. චරිතයෙන් චරිතයට ලැබෙන ප්‍රතිචාරත් එකිනෙකට වෙනස්. ඒ ලැබෙන ප්‍රතිචාර ප්‍රතිශතයක් වශයෙන් ගුණාත්මක භාවයෙන් වැඩි නම් ඒක අපි ලොකු සහයෝගයක් වෙනවා රංගන ශිල්පියෙක් විදියට ඉදිරියට යන්න. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්කයි අපේ ගමන අපි ඉස්සරහට යන්නේ.

දිදුල ආදරවන්තයෙක්ද?

තවම නැහැ.

තවම ඒ ගැන හිතලා නැද්ද?

ආදරේ ගැන හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. තවම එහෙම කෙනෙක් නැහැ.

ඔය යන විදියට ක්ෂේත්‍රයේ කෙනෙක්ට හිත යයි ද?

ඒක මෙහෙමයි. ආදරයක් ඇතිවෙන කෙනා ක්ෂේත්‍රයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. විශ්ව විද්‍යාලයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මඟතොටේදී හමුවෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ හැර විශේෂයෙන් මෙන්න මේ ක්ෂේත්‍රයේ කෙනෙක් කියලා කියන්න බැහැ. වෙලාව ආවම එයා කොතනදී හරි හමුවෙයි.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා අප්පච්චි සහ නංගි මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ ලබාදෙන සහයෝගය නිසායි මේ තරම් දුරකට එන්නේ. මම රංගනයට එන්නේ හොරණ විද්‍යාරතන විද්‍යාලය වන මගේ පාසලේ නාට්‍යය ගුරුවරයා පුබුදු සුභාෂණ කුරුගල සර් නිසා. ඒ හින්දා සර්ව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ මගේ යාළුවො මේ ගමන එන්න මට ලොකු සහයෝගයක් දෙනවා.

දිදුල කියන්නේ මොන වගේ චරිතයක් ද?

මම සරල මනුෂ්‍යයෙක්. හිනාවෙලා ඉන්න කෙනෙක්. හැම වෙලේම සිනමාව සම්බන්ධ වැඩක් කරන්න උත්සහ කරන මනුස්ෂයෙක්.

අනාගත බලාපොරොත්තු මොනවද?

නළුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙන්න. මම ආසයි හෙමින් සාර්ථක ගමනක් යන්න.

ලාංකීය සිනමාවේ කැමතිම අධ්‍යක්ෂකවරයා කවුද?

ප්‍රසන්න විතානගේ මහතා. සිනමාව ගැන කතා කළොත් මම ගොඩක් ප්‍රිය කරන්නේ මලයාලම් සිනමාවට.

අවසාන වශයෙන් ප්‍රේක්ෂකත්වයට කියන්න යමක් ඇති?

මම මොනවා කළත් මගේ රංගනය මට විඳින්න හම්බෙන්නේ ප්‍රේක්ෂක ආදරය නිසා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මට මාරම වටිනවා. මට ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ ඒ අය මට ආදරය කරනවාටත් වඩා මම ඒ අයට ආදරය කරනවා කියන එක. "සල්ලි පොකුරු" නිර්මාණය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා.

Comments