මගේ හීනෙ ගැන මම මුලින්ම කිව්වෙ ඔයාලට | සිළුමිණ

මගේ හීනෙ ගැන මම මුලින්ම කිව්වෙ ඔයාලට

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්ව කරළියට එන මේ අපූරු තරුණයා සංගීතය සමඟ අත්වැල් බැඳ ගන්නේ සිය පියා වූ නුවන් ගුණවර්ධනගේ ආභාසයෙනි. අද වන විට ගායන ක්ෂේත්‍රයේ මෙන්ම රංගන ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන ගයාන් මෙවර රසඳුන කතාබහට එක්වේ.

ගයාන් ඔබ කවුරුන් විදියට හඳුන්වනවාට ද කැමැති?

මම වෘත්තීය සංගීතයට ගොඩක් කැමැතියි. ඒ වගේම මම හරිම සරල කෙනෙක්. සංගීත ක්ෂේත්‍රයේදී අලුත් පරපුරට රියැලිටි මඟින් ජනප්‍රිය වන අයට ඉස්සරහට එන්න අත දෙන කෙනෙක්. ඕනෑම ගායකයෙකුට මගේ තාත්තා නුවන් ගුණවර්ධන ගායනා කරන ගීත ගායනා කරන්න අවසරය තියෙනවා. මගෙ කිසිම කුහක කමක් නෑ. මගෙ ගීත වුණත් ඕනෑම කෙනෙකුට ගායනා කරන්න ඉඩ දෙනවා. ඒ වගේම හොඳ පුතෙක් හැටියට වගකීමෙන් යුතුව තමන්ගෙ පවුලට රැකවරණය දෙන කෙනෙක්. මගෙ අම්මාව හොඳින් බලාගන්නව වගේම, මගෙ දුලාරි අක්කාට හොඳම සොහොයුරෙක්. ඇත්තෙන්ම කියනවා නම් තාත්තා නැති වුණාට පස්සෙ අපේ පවුල ගැන ලොකු වගකීමක් මට තියනවා. මම දැන් ගෘහ මූලිකයා හා සමානයි.

ගයාන් ගුණවර්ධන කියන අපූරු ගායකයා බිහිවෙන්නෙ කොහොම ද?

මම ආරම්භ කරන ශබ්ද පරිපාලනය හා ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධ ශබ්දාගාරය හරහා සංගීත ලෝකයේ විවිධ ඉසවු අත්හදා බලන්න මට හැකි වෙනවා. එතනට අවශ්‍ය සියලුම සංගීත උපකරණ ගිටාර්, කී බෝඩ්, හඬ පුහුණු තාක්ෂණික උපාංග මේ සියල්ල මිලට අරන් අංග සම්පූර්ණ තැනක් ලෙසත්, පූර්ණකාලීනව පටිගත කිරීමේ ඉංජිනේරුවෙකු ලෙසත් මම කටයුතු කරනව. ගීත පටිගත කිරීමේ ඉඳල, ටෙලි නාට්‍ය පසුබිම් සංගීතය, වෙ‍ෙළඳ දැන්වීම්, තේමා පාඨ නිර්මාණය වගේ බොහෝ කටයුතු මේ ශබ්දාගාරය තුළ සිදු කෙරෙනව. එහි ප්‍රතිඵලයක් ලෙස නව පරපුරේ ගායකයින් වන නදිමාල්, නදික, සජිත, සනුක, කවුෂාන්, දිල්මිත් ආදි මිතුරන් නිතර මගේ ශබ්දාගාරයට එනව. ඒ වගේම තාත්තාගේ පරපුරේ සියළුම කලාකරුවන් මුණ ගැහෙනව. අපි එකතු වෙලා ගීත නිර්මාණය කරනවා. ගායනා කරනව. මගෙ තාත්තා ගායකයෙකු වුණත් , පට්ට මහන්සියක් වෙලා තමා මගේම කියල නමක් හදා ගත්තෙ. පසුකාලීනව

(TV ONE) හරහා නිවේදකයෙකු ලෙස කටයුතු කිරීමෙන් විශාල රසිකයින් පිරිසක් සමඟ බැදෙන්න අවස්ථාව ලැබෙනව. සචින් ඇතුළු නව පරපුර සමඟ නව ආරක සංගීත ගමනක් බිගි වෙන්නෙත්, මගේ ශබ්දාගාරය සමඟ ඇති කර ගත් බැඳීමේ ප්‍රතිඵලයක් හැටියට. හිමින් ආපු ගමනක් තමා මාව ගායකයෙකු හැටියටත් දුර අරන් ගියෙ.

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ ගායකයකු ලෙස ද නළුවකු ලෙස ද?

මම නළුවකු ලෙස ඉදිරියට එන්නේ 2016 අවුරුද්දෙදි හිතුවක්කාරයා, අසම්මත ප්‍රේම කතාවක්, හුස්මක් තරමට, අහස් මාළිගා, අසංවර වැස්සක්, අපි අපේ, පාර දිගේ, අපි එක රෑනේ වැනි නාට්‍යවල රංගනයේ යෙදුණා. ඒ තුළින් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. 20දි ‘ඔබ වෙනුවෙන්‘ කියන ගීතය නිර්මාණය වෙනවා. මේ වන විට මටම කියල ගීත 30ක් නිර්මාණය කරගන්න ලැබී තියෙනවා. ඒ වගේම මගේ තාත්තාගේ ගීත 4කුත් එයට අයිතියි. ටෙලි නාට්‍ය 10ක රංගනයත්, රූපවාහිනී වැඩසටහන් 15කු පමණත්, රූපවාහිනී නාලිකා 03ක නිවේදන කටයුතුත් සිදු කරන්න ලැබෙනවා. මේ සියල්ල ඒ සියල්ලත් එක්ක මම ජනප්‍රිය වුණා කිව්වොත් හරි.

ඔබේ සංගීත කණ්ඩායමත් මේ වන විට පෙරමුණේ ඉන්නව නේද?

ඇත්තටම පාර දිගේ ටෙලි නාට්‍ය හරහා තමා ROADS සංගීත කණ්ඩායම පටන් ගන්නෙ. මේ සඳහා නම තියන්නෙ සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා. ටෙලි නාට්‍යයේ ඇත්ත ජීවිතේ සංගීත කණ්ඩායමක් හැටියයට එළියට එන අවස්ථාවක්. මේ වෙන කොට කෙටි කාලයක් තුළ ප්‍රසංග සහ මංගල, උපන්දින වැඩසටහන් 100කට අධික සංඛ්‍යාවක අපි ප්ලේ කරලා තියෙනවා.

නිතරම ගොසිප් වලට ලක්වෙන එක ගැන මොකද හිතන්නෙ . ඉස්සරහට අලුත් ජීවිතේ කොයි වගේ වෙයිද?

ගොසිප් නිසා ජනප්‍රිය වෙන්න සමහර අය කැමැතියි. ඒ නිසා විවිධ බොරු දේවල් ජනගත කරනව. මගේ ආදරවන්තිය කවුද කියලා නම් හැමෝම දන්නවා. නමුත් කලාකාරයෙක් වෙන්න ඕන ගොසිප් නිසා ජනප්‍රිය වෙලා නොවෙයි. තමන්ගෙ නමට චරිතයට හානියක් කර නොගෙන. ඒ වගේම තමන්ගෙ දක්ෂතා වලින්. ඒත් මම නම් තාම කිසිම වැරදි ගොසිප් එකකට ලක් වෙලා නෑ.

ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන අලුත් වැඩ මොනවද?

මගේ තාත්තා මේ රටේ චිත්‍රපට ලෝකයට හිටපු දැවැන්ත ගායකයෙක්. තාත්තා සමඟ ලස්සන ප්‍රසංගයක් කරන්න ආසාව තිබුණත් ඒක ඉටු කර ගන්න බැරි වුණා. ඒ නිසා නුවන් ගුණවර්ධන උපහාර නමින් විශාල ප්‍රසංගයක් BMICH එකේ දි කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. ප්‍රසංගය පැවැත්වෙන්නෙ නොවැම්බර් 18 වෙනිදා. තාම මේ ගැන කිසිම මාධ්‍යයකට කීවෙ නෑ. මේ තමා මට තියන ලොකුම හීනය කීවොත් නිවැරදියි. සංගීතය roads විසින් සපයන්නෙ. මාත් මගේ අක්කා දුලාරිත් ප්‍රමුඛව මෙහි ගීත ගායනය සඳහා ‍තාත්තාගෙ පරපුරේ ගීත ගායනය කළ අය, මියගිය කලාකරුවන්ගෙ දූ දරුවන්, සමකාලීන කලාකරුවන්ගෙ දරුවන් වගේම වර්තමානයේ ජනප්‍රියත්වයට පත්ව සිටින නව පරපුරේ ගායන ශිල්පීන් හා ගායන ශිලිපිනියන් රැසක් ප්‍රසංගයට සහභාගී වෙනවා. නොවැම්බර් 18 මගෙ ජීවිතයෙ ලස්සනම දවසක් වෙයි කියලා විශ්වාස කරනව. ඒ වගේම නුවන් ගුණවර්ධන කියන නම ඉදිරියට ගෙන යන්න මම all rounder කෙනෙක් වෙලා කලා ක්ෂේත්‍රයේ නමක් රඳවගන්නව කියන්නෙ මට එයින් ලැබිය හැකි සතුට කොයිතරම් ද කියන්න බෑ. මේ කාලෙ තරුණයෙක් හැටියට විනෝදයෙන් ගෙවනවට වඩා එහා ගිය, පවුලත් එක්ක බැදුණු වගකීම් ඉටු කරමින් ජීවත් වෙන එක මට සතුටක් වෙලා .

Comments