හැමෝම මාව දැක්කම කතා කරන්නේ “මං සරන්නා” කියලා | සිළුමිණ

හැමෝම මාව දැක්කම කතා කරන්නේ “මං සරන්නා” කියලා

මං මාවත්වල සැරි සරන්න කවුද අකැමැති, කාලයත් මුදලත් කැමැත්තත් තිබුණු තැන රටවටේ වගේම ලෝකය වටේට සුන්දර තැන් නැරඹීමටත් එහි රස විදීමටත් පුළුවන්. ඒ විදිහට ලංකාව වටේට සුන්දර ස්ථාන සියය ක් පමණ නැරඹීමට සොයා ගිය ඔහු ඒ අත්දැකීම් අන් අයටත් ලබා දෙන්න උත්සාහ කරනවා. ඔහු තමයි ඉඳුනිල් විජේකෝන්. මේ නමින් නොදන්න බොහෝ දෙනා “මං සරන්නා“ නමින් ඔහුව හොදින් හඳුනනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවල නිරත වන ගමන් සුන්දර තැන් සොයා යන ඔහු ගැනයි මේ.

 

නමට වඩා ප්‍රසිද්ධ “මං සරන්නා“ කියලා නේද ..?

ඔව් මගේ නම ඉදුනිල් විජේකෝන්. යාළුවෝ හිතවතුන් හැරුණම මගේ නම කවුරුත් දන්නේ නැහැ. හැමෝම මාව දැක්කම කතා කරන්නේ මං සරන්නා නේද කියලා. දැන් මගේ නම “මං සරන්නා“ වෙලා.

 

නොකියා කියන්නේ දැන් ප්‍රසිද්ධයි කියලද..?

එහෙම කියන්න අමාරුයි. ටැවල් කරන්න ආස අය අතරේ මාව දන්න අය ඉන්නවා. මගේ යුටියුබ් චැනල් එක බලන අය ඉන්නවා. සීමිත පිරිසක් හරි මාව දන්න එක ගැන සතුටු යි. සමහර අය අඳුරගෙන කතා කරනවා. සමහර අය ලොකේෂන් දාලා ඒ ගැන විස්තර අහනවා ට්‍රැවල් කරන්න හොඳයිද කියලා. පුළුවන් විදිහට මම එයාලට ප්‍රතිචාර දක්වනවා.

ලස්සන ගමක ඉපදුණු ඔබ සංචාරය ට ප්‍රිය කරන්නේ ගම නිසාමද..?

ගම බණ්ඩාරවෙල. ඉගෙන ගන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ. ගමත් එක හේතුවක් වුණා කියලා මම හිතනවා. මම මුලින්ම යාළුවෝ එක්ක ගෙවල් පැත්තේ තියෙන පොරවගල ගිහිං ගත්ත වීඩියෝ එකක් යූටියුබ් අප්ලෝඩ් කළා. එතැනින් තමයි සංචාරය කරන්න ආසාවක් ආවේ. ඊට පස්සේ යනඑන හැම තැන ගන්න වීඩියෝ හදලා යූටියුබ් දැම්මා. අවුරුදු තුනක් මම ඒක සාර්ථකව කරගෙන යනවා. දැන් මාසෙට වීඩියෝ හතරක් කරනවා. කැම්පස් එකේ වැඩයි, විභාග වැඩ තියෙන නිසා පුළුවන් විදිහට තමයි සංචාරය කරන්න යන්නේ.

 

යමං බ්ලොග් මං සරන්නා වුණේ

කොහොමද ..?

මුල් වීඩියෝ ටික දැම්මේ යමං බ්ලොග් නමින්. ඒකට සබ්ස්ක්‍රයිප්ස් 100 විතර තියෙද්දි යමං බ්ලොග් නමින් චැනල් එකක් තියෙනවා කියලා කතා කරලා නම වෙනස් කර ගන්න කිව්වා. ඊට පස්සේ තමයි මං සරන්නා කියන නම දැම්මේ, දැන් සබ්ස්ක්‍රයිප්ස් 1100 විතර තියෙනවා. හිතුවට වඩා වැඩේ සාර්ථක වුණා

 

ඒ කියන්නේ දැන් ආර්ථිකය ශක්තිමත් කියන එකද, නැත්තම් අතේ මුදල් වියදම් කරගෙන සංචාරය කරනවද..?

මුල් කාලේ මේ වැඩේ කරන්න තාත්තා මට පොඩි කැමරාවක් අරන් දුන්නා. වියදම් වලට සල්ලි දුන්නා. එයත් ආසයි සංචාරය කරන්න ඒ නිසා මට උදව් කළා. දැන් නම් මට ස්පොන්සර් කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා ජොබ් එකක් කරන්න ඕන නැහැ ටිකක් මේක දියුණු කර ගත්තා නම් මගේ ආර්ථිකය මේකෙන් ශක්තිමත් කර ගන්න පුළුවන්. දැන් නම් මම මේකෙන් හම්බ කරනවා.

නොගිය නැනක් හොයා ගන්න බැරි තරම්ද, ආසාවෙන් සංචාරය කරන්න කැමති කෙහෙද..?

ලංකාවේ හැම පැත්තටම ගිහිං තියෙනවා. ගොඩක් තැන් ආවරණ කරලා තියෙන්නේ. ඒත් මම නකල්ස් යන්න හරි ආසයි. ඒ වගේම යාපනය හා ත්‍රිකුණාමලය පැත්තේ විඩියෝ කරලා නැහැ. ඒ පැත්ත ට යන්න ඉන්නේ. අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ ලෝකේ වටේ යන්නත් අදහසක් තියෙනවා.

 

ඔය හැම ගමනක්ම යන්නේ තනියම ද ..?

සමහර තැන්වලට මම තනියම ගිහිං තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට යන්නේ මගේ යාළුවෝ එක්ක තමයි

 

ඔය ගමන් බිමන්වලදි සතුන්ගෙන් කරදර වුණු අවස්ථා ඕන තරම් ඇති..?

ඕන තරම් අවස්ථා තියෙනවා බය හිතුණු. ජීවිතේට කරදරයක් වෙයිද කියලා හිතුණු. නමුත් ඒ අවස්ථාවලින් බේරිලා ඇවිත් තියෙනවා. එක සිදුවීමක් තියෙනවා ජීවිතේට අමතක නොවන. අපි ගියා දුර පළාතක වැඩකට. ඒකේ දූපතක ටෙන්ට් ගහලා හිටියේ. ඔරුවකින් තමයි යන්න තිබ්බේ. කරදරයක් වුණත් ආයේ යන්න ඔරුව එන්න ඕන අපිව ගන්න. එදා හතට විතර අපි ටෙන්ට් ගැහුවා කුළු හරකෙක් ආවා කෑගහගෙන. අපි හිතුවේ ඌ ඉන්න තැන වෙන්න ඇති වැරදිලා ටෙන්ට් එක ගැහුවද දන්නේ නැහැ කියලා. ටෝච් ගහලා ගිනි මැල ගහලා මිනිස්සු ඉන්න බව ඇගෙව්වා. ඒත් සෑහෙන වෙලාවක් ටෙන්ට් එක ළඟට එන්න ඌ දැඟලුවා. අපිව ඔරුවෙන් ගෙනාව කෙනාට කෝල් කරලා කිව්වා එයා කිව්වා බය වෙන්න එපා මිනිස්සු ඉන්න බව දැනගන්න ගින්දර පත්තු කරන්න කියලා . ඊට පස්සේ ඌ ගිහින් කුළු හරක් රෑනක් එක්කගෙන ආවා. තිහක් විතර ඉන්න ඇති. පැය ගානක් ඔට්ටු වෙලා එලෙව්වා එදා නම් මරණ බය දැනුණා.

ඔය වගේ අකරතැබ්බ එක්ක අවදානම් ගන්න එපා කියලා දෙමාපියන් දොස් කියන්නේ නැද්ද ..?

මගේ අම්මයි තාත්තයි දෙන්නම සංවර්ධන නිලධාරීන්. එකම ළමයා මම ඒ නිසා අම්මා නම් ඉන්නේ බයෙන්. ඒත් වැඩවලට බාධා කරන්නේ නැහැ උදව් කරනවා. සමහර දවස් වලට පරිස්සමින් හැම දේම කරන්න කියලා කියනවා

 

Comments