මාත් ආදරවන්තියක් ආදරේ නැතිව ජීවත් වෙන්න බෑනේ... | සිළුමිණ

මාත් ආදරවන්තියක් ආදරේ නැතිව ජීවත් වෙන්න බෑනේ...

වසර ගණනක්ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ තිබෙන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ටීෂාට රඟන ඇය වෘත්තියෙන් නිර්වින්දන වෛද්‍යවරියකි. පිරිසකට කායික සුවය සලසන අතරේම තවත් පිරිසකට මානසික සුවය සලසන ඇය සුවිශේෂී චරිතයකි. අද අපේ කතාබහ ඇය සමඟයි. ටීෂාගේ භූමිකාවට පණ පොවන ඇය නිර්වින්දන වෛද්‍ය දිලානි සේනානායකයි.

ඔබ වෘත්තියෙන් වෛද්‍යවරියක්. වෛද්‍ය වෘත්තියයි කලාවයි එකට පෑහුණේ කොහොමද?

පුංචි කාලෙ ඉඳන්ම මං කලාවට ගොඩක් ආසයි. ඉස්කෝලේ යන කාලෙ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. සාමාන්‍ය පෙළටත් මං කළේ නාට්‍ය හා රංග කලාව. මගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. දැන් අම්මා තමයි මගේ ලෝකය. අම්මට ඕන වුණේ මාව වෛද්‍යවරියක් කරන්න. අම්මගෙ ඉල්ලීමට ඉඩ දීලා ඇගේ ආසාව ඉෂ්ට කරන්න ඕන නිසා මං උසස් පෙළට විද්‍යා විෂය තෝර ගත්තා. ඇගේ ආශාව ඉෂ්ට කරන්න මං වෛද්‍යවරියක් වුණා. කලාවට මගේ තිබුණු ආසාව නිසා කලාවටත් සම්බන්ධ වුණා. දැන් නම් අම්මත් ගොඩක් ආසයි මං රඟපානවට. මං කතාවෙ ඉන්න දවසට යාළුවොන්ට කතා කරලා කියනවා අද ඉන්නවා කියලා.

කලාවට පිවිසීම ගැන කතා කළොත්?

2019/ 2020 වසරවල මං මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ රංගන පාසලට ඇතුළත් වෙලා රංගනය හැදෑරුවා. සර් එක්ක අනෝමා රාජකරුණා මහත්මියගේ කෙටි චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා. ඒවා කළේ චිත්‍රපට උලෙළ සඳහා. ඊටත් පස්සෙ ස්නැප් කියලා ටෙලි නාට්‍යයක පොඩි චරිතයකට දායක වුණා. දැන් මං කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියක්. ඒ දවස්වල නේවාසික පුහුණුව නිසා එක දිගට ෂූටිංවලට කාලය කැපකරන්න බැරි වුණා. ඒ නිසා ගොඩක් නිර්මාණවලට දායක වීමේ අවස්ථා මඟහැරුණා.

දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

දෙවෙනි ඉනිම නාට්‍යයේ ටීෂා තමයි ප්‍රේක්ෂකයන් අතරට ගිය කතාබහට ලක්වුණු චරිතය. ඒක මට ලැබුණේ ඩ්‍රාමා ඇකඩමියේ යාළුවෙක් මාර්ගයෙන්. එයාගෙ අඳුරන කෙනෙක් ඉඳලා ඇහුවා මෙහෙම චරිතයක් තියෙනවා කැමතිද කියලා. ඒ වෙද්දි දෙවෙනි ඉනිම ගොඩක් ජනප්‍රියයි. මං කැමැතියි විවිධ චරිත රඟපාන්න. ඒ නිසා කළු චරිතයක් වුණත් මං හිතුව ඒකෙන් දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකට හොඳම උදාහරණය තමයි මහේන්ද්‍ර පෙරේරා සර්. ඔහු හැම චරිතයක්ම වගේ කළ කෙනෙක්. මං සර් දිහා බලල තමයි මගේ කලාවේ ප්‍රතිරූපය ගොඩනඟා ගන්නෙ. සර්ගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම මහේන්ද්‍ර පෙරේරා කියන්නෙ රංගන පාසලක් කිවුවත් හරි.

ටීෂා කියන්නෙ මැරෑටි චරිතයක්නෙ. වෛද්‍යවරියක් විදිහට ඒ වගේ චරිතයක් භාර ගනිද්දි චකිතයක් දැනුණෙ නැද්ද?

නැහැ. අපේ ක්ෂේත්‍රයෙත් ඉන්නවා ගොඩක් දක්ෂකම් තියෙන අය. එයාල ඒ දේටම කොටුවෙලා. තව දේවල්වලට කැමැති වුණත් යන්නෙ නෑ. මං එහෙම නෑ. වෘත්තිය කරන වෙලාවට මං ඒකට කැපවෙනවා. අනිත් වෙලාවට මං කැමැති දේවල් කරනවා. මං ආස දේවල් කරන්න මගෙ වෘත්තිය බාධාවක් නෙමෙයි. සමහරු අහන වෙලාවලුත් තියෙනවා ඔයා ඩොක්ටර් කෙනෙක් නේද කියලත්.

රෝහලෙත් ඇති ඔබේ රසිකයන්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

මුල්ම දවස්වල මං කාටවත්ම කිව්වෙ නෑ මං රඟපානව කියලා. මං නිර්වින්දන වෛද්‍යවරියක් විදිහට තියටර් එකේ තමයි ඉන්නෙ. එතැනදි මාස්ක් එක, කැප් එක ඔක්කොම දාල ඉන්න නිසා මං හිතුව මාව අඳුනගන්නෙ නැතිවෙයි කියලා. අපේ ස්ටාෆ් එකේ ගොඩක් අය ඔය කතාව බලනව. එයාල කටහඬින් අඳුර ගන්නවා. ඇවිත් දෙගිඩියාවෙන් වගේ අහනවා ඩොක්ටර් වගේම කෙනෙක් ඉන්නවා. ඒ ඩොක්ටර් ද කියලා.

ඒ වගේම පේෂන්්ට්ලත් සමහර වෙලාවට එහෙම අහනවා. පොඩි ළමයි මාව අඳුන ගන්නවා. සාමාන්‍යයෙන් නිර්වින්දන වෛද්‍යවරියක් විදිහට ඔපරේෂන්වලට සූදානම් කරන රෝගීන් කලින් දවසෙ ගිහින් බලනවා. එහෙම ගියාම ලේසියෙන් එන්න වෙන්නෙ නෑ. අඳුනගෙන කතා කරනවා. සෙල්ෆි ගහනවා. ගොඩක් ආදරේ ලැබෙනවා.

ටීෂා කියන්නේ කළු චරිතයක්නෙ. අනිවාර්යයෙන්ම බැණලා ලැබෙන ප්‍රතිචාර වැඩි ඇති?

ගොඩක් අයගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ බැණුම්වලින් තමයි. එක දවසක් හොඳ වැඩක් වුණා. මගෙත් එක්ක වැඩකරන අනෙක් ඩොක්ටර් දැනගත්ත මං දෙවෙනි ඉනිමෙ ඉන්නව කියලා. එයා කිව්වා අපේ නැන්දම්ම ඒක බලනවා එයාට උදේ ඉඳන් තියෙන ලෙඩ ටික ඔක්කොම හොඳ වෙනවා රෑට දෙවෙනි ඉනිම බැලුවම. එයා හොඳ ෆෑන් කෙනෙක්. ඉන්නකො මං ෆොටෝ එකක් ගහගෙන ගිහින් පෙන්නල ලකුණු ටිකක් දාගන්න කියල ෆොටෝ එකක් ගහගත්තා. ඊළඟ දවසෙ ආවම මං ඇහුවා කොහොමද නැන්දම්මගෙන් ලකුණු දාගත්තද කියලා. නැන්දම්මා බැණලා හොඳටම. ඔයා මේ වගේ අය එක්කද වැඩ කරන්නෙ කියලා. තිබ්බ ලකුණු ටිකත් කැපුණලු. මං හිතුව ඔයා ඒ චරිතය හොඳටම කරනව ඇති, එයා මෙච්චරම බැන්නෙ කියලා මගේ යාළුව කිවුවා. පස්සෙ හමුවුණාම කියනවා අපි ඒ චරිතෙට ආසම නෑ. ඒත් ඉතින් ඩොක්ටර් නිසා බණින්නත් බෑ කියලා. මං නම් හරි කැමැතියි ඒ වගේ බණින තරමට. ඒ කියන්නෙ මං ඒ චරිතය හොඳට කරලනේ.

සිනමාවට වේදිකාවට ආරාධනා ලැබුණෙ නැද්ද?

සිනමාවට මං ගොඩක් ආසයි. තාම නම් ආරාධනාවක් ලැබුණෙ නෑ. හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. වේදිකාවට ආරාධනා ලැබුණත් එක දිගට සම්බන්ධ වෙන්න බැරිව නිසා මඟෑරුණා. මියුසික් වීඩියෝ දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

වෛද්‍යවරියක් වගේම රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයන් දෙක තුළම ඔබ වටා ඉන්න පිරිස වැඩියි. ආදරයටත් ඇරයුම් ඇති. ඒ අත්දැකීම කොහොමද?

මාත් ආදරවන්තියක්. මටත් ආදරේ ලැබෙනවා. ආදරේ නැතුව අපට ජීවත්වෙන්න බෑනේ. ගෙදර අයගේ, වැඩකරන තැන අයගෙ, ප්‍රේක්ෂකයන්ගේ, පේෂන්ලගෙ මේ හැම විදිහටම ආදරේ ලැබෙනවා. මං ගොඩක් කැමැති බොහෝ පිරිසක් අතරේ ඉන්න.

Comments