උඹ මාර නිළිය බං... විරහව රහට කට ඇරලා කිවුවා | සිළුමිණ

උඹ මාර නිළිය බං... විරහව රහට කට ඇරලා කිවුවා

විරාජ් පෙරේරා දක්ෂ රංගන ශිල්පියෙක්. දායක වූ නිර්මාණ තුළ ඔහු තම රංගන ප්‍රතිභාව මනාව සටහන් කළ තැනැත්තෙක්.කලාව තුළ ඔහු යන ගමන වේගවත් නොවූවත් යන ගමන ශක්තිමත් බව ඔහු ඔප්පු කර හමාරයි. රංගන ශිල්පියෙක් සේම විටෙක නිවේදකයෙකු ලෙසත් ප්‍රේක්ෂක හමුවට ආ විරාජ් තවත් පියවරක් ඉදිරියට තියලා. එවන් මොහොතක තමන්ගේ කලා ගමන ගැන කියන්නට බොහෝ දේවල් ඔහුට තිබුණා.

 

රංගන ශිල්පියෙක් වුණ ඔබ හිටි හැටියේ ගායකයෙකුත් වෙලා. මොකක්ද මේ හැරවුම?

පාසල් යන කාලේ සාමාන්‍ය පෙළ කරනකල් මම සංගීතය ඉගෙන ගත්තා. සංගීතය කියන්නෙත් මම ළැදි ක්ෂේත්‍රයක්. රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වුණ බොහෝ අවස්ථාවල සහෝදර ශිල්පීන් මට කියලා තියෙනවා මගේම ගීතයක් කරන්න කියලා. ඒක මගේ හිතේ කාලයක් තිබ්බා. ඒත් එක්ක තමයි මගේම ගීතයක් එළියට එන්නේ. “උඹ මාර නිළිය බං” ගීතය ලියන්නේ මාමඩලේ ගැමුණු. ඒ මුල් වචන පේළියට මං ආස වුණා. ඔහු ගීතය රහට ලියලා තිබ්බා. මෙහි සංගීතය නිර්මාණය කළේ ඉන්දිමාල් හේවාවිතාරණ. වීඩියෝව කළේ තිවංක මිහිරාන්. කුසල් සහ ශෂි වීඩියෝවේ රංගනයට එකතු වුණා. හැමෝගෙම උදවුවෙන් කරපු මගේ පළවෙනි නිර්මාණය හොඳ තැනකට ගේන්න පුළුවන් වුණා.

මේ ගීතයෙන් විරහව වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කරන්න උත්සාහ කරපු හැඩයි?

උඹ මාර නිළිය බං ගීතය ගැමුණු ලියලා තිබ්බ රහ එක්ක වෙනස් ශෛලියකට කියන්න ඕන වුණා. මම සාමාන්‍යයෙන් රෝහණ බැද්දගේ මහත්මයා, රොඩ්නි වර්ණකුල මහත්මයා ගීත ගයන ශෛලියට කැමැතියි. ඒ ආරකට තමයි මම මේ ගීතය ගයන්න බැලුවේ. ඉන්දිමාල් අයියා ඒකට විරුද්ධ වුණේ නෑ. අඬලා දුක කියනවට වඩා මෙහෙමත් දුක කියන්න පුළුවන්. අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙයි. නොලැබෙන ඒවා නොලැබෙයි. ඒක තමයි ස්වභාවය. ඉතිං මං මේ ගීතයේ විරහව රහට කට ඇරලා කිවුවා. මේ ගීතය හැමෝටම තේරෙන විදිහට රහට සරලව ලියලා තිබ්බ නිසා ඕන තැනක කියන්න පුළුවන් විදිහට ගීතය කළා.

 

දැන් දිගටම සින්දු කියයිද?

ඉදිරියටත් ගීත නිර්මාණය කරයි. මගේ හඬ, ගායන විලාසය, වෙනස්. ඒ නිසා හොඳ වැඩ ටිකක් ඉදිරියටත් කරන්න හිතාගෙන ඉන්නවා. කවදා හරි අපි යන්න යද්දි මොනවා හරි හොඳ වැඩ ටිකක් කරලා ගියොත් හොඳයිනේ. විරාජ් නළුවෙක් වගේම ගායකයෙක් ලෙසත් යමක් කළා කියලා මතක හිටින දෙයක් කරලා යන්න මම කැමැතියි. මේ කරන වැඩ කරන්නේ සල්ලි හොයන්නම නෙමෙයි. මගේ ආත්ම තෘප්තියට. නළුවෝ ගායකයෝ වෙනවා. ගායකයෝ නළුවෝ වෙනවා.

 

ඉදිරියෙදි ඔබ ප්‍රසංග වේදිකාවටත් එකතු වෙයිද?

ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. තව දෙයක් මම කියන්න ඕනේ. මගේ සින්දුව හැමෝටම කරපු සින්දුවක්. ඕන කෙනෙක් ඕන තැනක ඒ සින්දුව කියනවට මම ආසයි. කවර්ස් කරන්න, සංගීත කණ්ඩායම්වලට කියන්න මං නිදහස දෙනවා.

 

කලාව වෘත්තිය විදිහට කරන්න බෑ කියලා සමහරු වෙනත් ක්ෂේත්‍රවලට යොමු වෙනවා. ඔබ කලාව වෘත්තිය කරගන්න ගත්ත තීරණය අභියෝගයක් නෙමෙයිද?.

රැකියාවෙන් අයින් වෙලා කලාව තෝරා ගනිද්දි ගොඩක් අය කිවුවා ඒක අවදානමක් කියලා. නමුත් මම කලාව තෝරා ගත්තා. මට මේ විශ්වයේ උදවුවක් ඇති. ඉල්ලගෙන ගිහින් නෙමෙයි මට වැඩ ලබෙන්නේ, මගේ හැකියාවට වැඩ ලැබෙන්නේ. මගේ දක්ෂතාව දැකලා වැඩකට ආරාධනා ලැබෙද්දි මාර සතුටුයි.

 

ඒ කියන්නේ දැන් ඔබට හොඳ ඉල්ලුමක් තියෙනවා.

මාව විශ්වාස කරලා මාත් එක්ක වැඩ කරන්න පිරිසක් හැදිලා ඉන්නවා. මම වෙලාවට වැඩ කරනවා. භාරගත්ත වැඩකට මම කවදාවත් පොලු තියන්නේ නෑ. මගේ පිළිවෙළ මාත් එක්ක වැඩ කළ අය දන්නවා. ඒ නිසා මට වැඩ ලැබෙනවා.

 

ජනප්‍රිය ගොන්නේ සම්මානනීය නළුවෙක් වෙන්න ඔබ ආසද?

ප්‍රේක්ෂක ආදරය මට ලැබෙනවා. සම්මාන දැන් බිස්නස් එකක් වෙලා. ඒ නිසා දක්ෂ නළුවෙක් කියන දේ හදාගෙන මේ ක්ෂේත්‍රයේ හොඳ පැවැත්මක් තියාගන්න තමයි මම කැමැති. ඒ වගේම ජනප්‍රියත්වය වටිනාකමකින් ලැබෙනවානම් හොඳයි.

 

සිනමාවේ අලුත් වැඩ ලැබුණේ නැද්ද?

උදාර පල්ලියගුරුගේ ගේ චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ තිරගත වෙන්න තියෙනවා. සිනමාවට මම කැමැතියි. ලැබෙන වැඩත් එක්ක හොඳ දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා. තව මට ඉගෙන ගන්න දේවල් තියෙනවා. කලබලයක් නෑ.හිමින් හිමින් යනවා මේ ගමන.

 

කැපිලි එක්ක යන ගමනක්ද ඔබට තියෙන්නේ?

ඒ දේවල් ඇති.මම දැන් ඒවා ගණන් ගන්නේ නෑ. හම්බෙන්න ඕන දේවල් කවදා හරි හම්බෙයි. ඒ විශ්වාසය මට තියෙනවා. මාව වැඩවලට සම්බන්ධ කර ගත්තේ නැති නිර්මාණකරුවොත් මගේ දක්ෂතාව දැකලා කවදා හරි නිර්මාණවලට ගනියි.

 

ඔබ සැමියෙක්, පියෙක්. කොහොමද කලා ගමන තුළ පවුලට වෙන් කරන තැන?

මගේ ජීවිතයේ අංක එක පවුල. මොන වැඩේ කළත් සියයට සියයක් පවුල ගැන බලනවා. පවුල් ජීවිතය රැකගත්ත නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. මගේ බිරිය මට ලොකු සහායක් දෙනවා. එයා නැත්නම් අද මම මේ තැන නෑ. දුවයි, පුතයි, බිරියයි එක්ක සතුටින් කාලය ගත කරනවා.

Comments