මම කොහොමත් හොඳ රස්තියාදුකාරයෙක් | සිළුමිණ

මම කොහොමත් හොඳ රස්තියාදුකාරයෙක්

 

ශිරාන් සිල්වා අපට සමීප වෙන්නේ සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙක් ලෙසයි. රංගන ශිල්පියකු හා ගායකයකු ලෙස ප්‍රේක්ෂකයින් හඳුනා ගත්තද ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ගුවන්යානා ඉතිහාසය විමසන විට ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවෙක්, ගුවන්යානා පියාසර ඉංජිනේරුවරයෙක්, ගුවන් නියමුවෙක් යන තනතුරු දක්වා පැමිණ රංගනයේ හා ගායනයේ යෙදී සිටින එකම ගුවන් නියමුවා වන්නේ ශිරාන් සිල්වායි.

 

අපි කතාව ආරම්භ කරමු පවුලේ විස්තර වලින්ම

මම ඉපදුනේ සහ පදිංචි වෙලා ඉන්නෙත් වත්තල. මගේ අම්මගේ නම මොරීන්. තාත්තා සිඩ්නි සිල්වා. මගේ තාත්තා ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවෙක්. මට සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා. ලොකු අයියා සුසන්ත, දෙවැනි අයියා ලලේන්ද්‍ර, මල්ලි තිලක්.

පාසල් ගියේ කොහෙද?

මුලින්ම මම ඉගෙනීම පටන් ගන්නේ වත්තල ශාන්ත අන්තෝනි මහ විදුහලෙන්. ඊට පස්සේ මම ගියේ මරදාන ආනන්ද මහ විදුහලට.

ඔබ කොහොමද ගුවන්යානා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

උසස් පෙළ කරලා ප්‍රථිපල එනවත් එක්කම මට මේ අවස්ථාව ලැබෙනවා. ඒ ශ්‍රී ලංකා එයාර් ලංකා හි ආධුනික ගුවන්යානා නඩත්තු කාර්මික අංශයට. එතැනින් පස්සේ ගුවන්යානා කාර්මිකයෙකු වෙලා එතැනින් පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් මම ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවරයෙක් වෙනවා. මම ඒ සම්බන්ධ වෙන්නේ එයාර් ලංකා නම තියෙනකොට. ඒ අතරතුර මම කුවේට් එයාර්වේස්වලට යනවා. ඒ ගිය ගමන මට අමතක කරන්න බැහැ. මොකද ඒ ගිය හින්දා තමයි මම අද ෆ්ලයි කරන්නේ. ඒ ඇයි කියලත් මම කියන්නම්. ඒ වෙද්දී එයාර් ලංකා එකේ අපිට අවශ්‍ය කරන ප්‍රමෝෂන් එක දෙන්නේ නැති හින්දා ඒ කාලේ තිබ්බ තරුණකම එක්ක කියන දේ අහන්නෙත් නැති වයසක් නිසා මම යනවා කුවේට් එයාර්වේස් එකේ තාත්තගේ යාළුවෙක් ගාවට. ඒ ගිය දවසේ ඉඳන් මම හෝම්සිට් වෙනවා. ඔය අතරේ මගේ අම්මා ඔත්පල වෙනවා. ඒ නිසා මට ඉන්න හිත දුන්නේ නැහැ. නැවත ලංකාවට එන්න ආයෙත් පාඩම් කරනවා. ඒ ගුවන්යානා පියාසර ඉංජිනේරුවරයෙක් හැටියට. නමුත් එයාර් ලංකා එකෙන් මට ඒ ජොබ් එක දුන්නේ නැහැ. නැවත වාරයක් ඉංජිනේරු ඩිපාර්ට්මන්ට් එකට ඇවිත් ඉංජිනේරුවරයෙක් වෙලා ඒ ඩිපාර්ට්මන්ට් එකේම හෙඩ් කෙනෙක් වෙලා එතැනින් මට අවස්ථාව ලැබෙනවා ගුවන්යානා පියාසර ඉංජිනේරු කෙනෙක් වෙන්න. ටික කාලයක් යද්දී ඒ ජොබ් එක නැතුව යන නිසා මට සිද්ධ වෙනවා එයාර් කාෆ්ට් ෆ්ලයි කරන්න ඉගෙන ගන්න. මගේ ඉංජිනේරු ඩිපාර්ට්මන්ට් එකේ ගොඩක් අයගේ උදව්වෙන් මම පයිලට් කෙනෙක් වෙනවා. Flight engineer, flight engineer first officer, flight engineer senior first officer විදියට ඉඳලා දැන් මම ඉන්නේ කැප්ටන් තනතුරේ. මම රුවිනා එක්ක විවාහ වෙන්නේ ගුවන්යානා කාර්මිකයෙකු වෙලා ඉන්න කාලේ. අපිට දරුවන් නැහැ. නමුත් අද වෙනකම් අපි දෙන්නා සතුටින් ඉන්නවා. එයාගේ වාසනාවෙන් සහ දෙවියන්ගෙන් පිහිටෙන් තමයි අද ඉන්න තත්ත්වයට ඇවිත් තියෙන්නේ.

ඔබ කොහොමද රංගනයට ගායනයට යොමු වෙන්නේ?

මට අහම්බෙන් මුණගැහෙනවා භද්‍රජි මහින්ද ජයතිලකව. කාලයක් යද්දී එයාගේ CD එකක් අවුට් කරනවා. ඒ තුළ රුවිනාටත් සින්දුවක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙනවා නුගේගොඩ Anoma Opticians හි අනෝමා විජේසූරිය. ඒ CD එක අවුට් කරන දවසට අනෝමා, උදයකාන්ත වර්ණසූරිය මහතාට ආරධනා කරලා තිබ්බා. එදා මාව දැකලා රුවිනාගෙන් අහලා මෙහෙම චරිතයක් තියෙනවා මාව ගන්නද කියලා. එදා එතැනින්ම රුවිනා මාව කපලා නැහැ එයාට ඕවාට වෙලාවක් නැහැ පාඩම් වැඩ තියෙනවා කියලා. ඊට පස්සේ ආයේ මට උදයකාන්ත හම්බවුණාම කිව්වා “ශිරාන් මම ඔයාට පොඩි අවස්ථාවක් දෙන්න හැදුවේ. ඒත් වෙලා නැහැ නේද?“ කියලා. මම මේ මුකුත් දන්නේ නැති නිසා ඇහුවා මොකක් ගැනද කියලා. එතකොට කිව්වා මෙන්න මෙහෙම චරිතයක් තියෙනවා කියලා. මම පැනලා කැමති වෙනවා. මම කිව්වා ඔයා ඉතින් අහලා තියෙන්නේ මගේ වයිෆ්ගෙන්නේ කියලා කියද්දීම රුවිනාත් ආවා. ඊට පස්සේ එයාටත් මුකුත් කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මට අවස්ථාව ලැබෙනවා “ආසයි මං පියාඹන්න“ කියන චිත්‍රපටයේ රොෂාන් රණවනගේ Brother-in-law හැටියට රඟපාන්න. ඒ තමයි මගේ මුල්ම රංගනය. ඔය අතරේ මම එංගලන්තෙ බෑන්ඩ් දෙකක සින්දු කියනවා. ෆිල්ම් එකේ රඟපෑවට පස්සේ අවුරුදු කාලෙට විදෙස් රටවල තියෙන ප්‍රසංගවල මම සින්දු කියන්න යනවා. ඒ අතරතුර ශාන්ත සොයියා මාව දැකලා පබා ටෙලි නාට්‍යයට තෝරා ගන්නවා. එතැනින් පස්සේ තමයි ටෙලිවිෂන් එකේ පබා, අමා වගේ නාට්‍යය කිහිපයකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මට අමතක කරන්නම බැරි චරිතයකට ආරාධනා කරනවා ජානක සිරිවර්ධන. ඒ සිඳු නාට්‍යයේ සුමංගල හාමුදුරුවන්ගේ චරිතයට. මම කතෝලික භක්තිකයෙක්. නමුත් මේ චරිතය ගැන කිවුවම ඒ සඳහා කැමති වෙලා ඒ වෙනුවෙන් මම මගේ භක්තියෙන් සහ ගෞරවයෙන් රඟපෑවා. පසුවත් බස් එකේ ස්කොලේ වගේ නිර්මාණවල චරිත කළා. චිත්‍රපට ගත්තම ධම්මික සිරිවර්ධනගේ සුවඳ දැනුණා ජීවිතේ සහ චන්ද්‍රම් රත්නම් මහතාගේ එකොඩින් ටු මැතිව් වගේ නිර්මාණවලට දායක වුණා.

පාසල් වේදිකාවේ පටන් කලාවට සම්බන්ධයි නේද?

මගේ පවුලේ නම් කිසිම කෙනෙක් කලාව රසවින්දට කලාවට සම්බන්ධ වෙලා නැහැ. නමුත් කලාවේ දැක්ම කියන එක මට ටිකක් වැඩිපුර පිහිටලා තිබ්බා. කලාව වෙත යොමුවෙන්න අපේ අම්මගෙන් නම් කිසිම විටක සහයෝගයක් ලැබුණේ නැහැ. හැම වෙලාවෙම කිව්වෙ පාඩම් කරන්න කියලයි. මම ගියේ පිරිමි පාසලකට නිසාත් මගේ මුහුණේ තිබ්බ සංවේදීකම නිසාත් නිරන්තරයෙන්ම පාසලේ නාට්‍යවල කාන්තා චරිත සඳහා මාව හැඩගන්වල ගන්නවා. කොහොම හරි දිගටම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිහින් මේ තත්වයට එන්න ගොඩක් මහන්සි වුණා. ඒනිසා කලාව ඈත් වුණා. නමුත් මම චයිනාබේවල ට්‍රේනින් ඉන්න කාලේ අද වෙද්දී ඉන්න හොඳ සංගීතඥයෙක් දුලිප් ගබඩාමුදලිගේ එක්ක මම යනවා හොටෙල්වල සින්දු කියන්න. එයා මා එක්ක එක පන්තියේ ඉගෙන ගත්තේ. ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ සින්දුවලට තමයි මම කැමති. ඒනිසාම මම කියන්නෙත් ඒ අයගේ සින්දු. ඉංග්‍රීසි සින්දු කියනවා නම් county and western, එතනින් ගියාම Centre mental සින්දුවලට තමයි ගොඩක් කැමති. කලාව කියන එක මගේ ඇගේම තියෙන දෙයක්. කෑම බීම වුණත් මම කලාවට ගන්න කෙනෙක්.

බිරිඳගෙන් දැන් ලැබෙන සහයෝගය කොහොමද?

දැන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ගොඩක් වෙලාවට මම මගේ ඇඳුම් තමයි චරිත සඳහා යොදා ගන්නේ. ඒ නිසා මට චරිතයක් ලැබුණාම රුවිනා මම මේ වගේ චරිතයකට යන්න ඕනේ කිව්වම මගේ ඇඳුම් ටික පිළිවෙළට හදලා දෙන්නේ ඇය. මුලදී හැම කාන්තාවකට වගේ රුවිනාට බයක් ඇතිවෙන්න ඇති. නමුත් මම මේ ක්ෂේත්‍රයට ගියා කියලා වැරදි පාරක ගියේ නැහැනේ කියන විශ්වාසය ඇති වුණාට පස්සේ දැන් හොඳ සහයෝගයක් ලබා දෙනවා.

කොහොමද මග තොටේදී ගුවන් ගමන්වාර වලදී චරිත වලින් හඳුනාගෙන ලැබෙන ප්‍රතිචාර

අපොයි ඔව්. මම කොහොමත් මිනිස්සු එක්ක තියෙන සුහදතාවන් වැඩියි. ඒ නිසා මා එක්ක මිනිස්සු ඇවිත් කතා කරනවා. සිඳු නාට්‍යයේ මගේ කොටස් විකාශය වුණාට පස්සේ ගොඩක් අය මාව හඳුනාගෙන කතාබහකරලා සෙල්ෆි එකක් අරන් යනවා. ඒ එක්කම මම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (Sri Lanka Civil Aviation Authority) ගුවන් සේවා සංවර්ධන අධ්‍යාපන කමිටුව සඳහා මා සේවය කරන ගුවන් සමාගම නියෝජනය කරමින් සම්පත් දායකයකු ලෙස මම මගේ දැනුම හා අත්දැකීම් පාසල් දරුවන්ට ලබාදෙනවා. ඒකේ වැඩසටහන් ගුවන් සැරිසර නමින් ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. pailot ක්ෂේත්‍රය පමණක් නෙවෙයි Aviation ක්ෂේත්‍රයටත් එන්න කියන දැනුවත්වීම මම කරනවා. එතැනදී මාව බොහෝ දෙනා හඳුනා ගන්නවා.

ගුවන්යානා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගියාට පස්සේ පූර්ණකාලිනව රඟපෑමට එන්න අදහසක් තියෙනවද?

ඒක ඇත්තටම මෙහෙමයි කියලා කියන්න බැහැ. මම මුල් තැන දීලා තියෙන්නේ වගකීම් සහගත වෘත්තියක් කරන පුද්ගලයෙක් විදිහට මගේ රැකියාවට. ඒකත් එක්ක රඟපාන්න සහ සින්දු කියන්න තියෙන ආසාව එන්නේ හැමවිටම දෙවනි තැනට. මම කොහොමත් හොඳ රස්තියාදුකාරයෙක්. මම ගෙදර ඉන්නම කැමති නැහැ. කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ. ඒකත් එක්ක මම දන්නේ නැහැ මොන විදියට මගේ ජිවිතේ වෙනස් වෙයිද කියලා.

ඒ එක්කම මේක මම අවස්ථාවක් කර ගන්නවා උදයකාන්ත වර්ණසූරිය, අපි අතර මේ වෙද්දී නැතත් ධම්මික සිරිවර්ධන මහතා, ජානක සිරිවර්ධන, ශාන්ත සොයිසා, තිළිණ බොරලැස්ස සහ සිඳු හි සහාය අධ්‍යක්ෂ විදියට කටයුතු කළ ප්‍රදීප් මානවඩුගෙ ඇතුළු මා එක්ක වැඩ කළ හැමෝමව බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරන්න.

 

ජායාරූප අන්තර්ජාලයෙනි

Comments