මට ආදරේට ජාතියක් ආගමක් හෝ රටක් අදාළ නෑ | සිළුමිණ

මට ආදරේට ජාතියක් ආගමක් හෝ රටක් අදාළ නෑ

මරියොන් වෙත්තසිංහ අපිට මීට පෙර රිදී තිරයෙන් මුණගැහුණේ හිතුමතේ ජිවිතේ සහ විජයබා කොල්ලය සිනමාපට තුළින්. මේ දිනවල තිරගත වන දඩඉම චිත්‍රපටයේ මරියොන් පණපොවන්නේ කීර්ති ගජනායකගේ දියණිය වන දේදුගේ චරිතයයි. මරියොන් ප්‍රංශයේ ඉපිද ප්‍රංශයේ හැදී වැඩුණු ලාංකේය සිනමාව තුළ දිගු ගමනක් යන්නට කැමැත්තෙන් පසුවන සොඳුරු යුවතියක්. රසඳුන මේ සොඳුරු කතාබහ මරියොන් වෙත්තසිංහ සමඟ.

 

දඩඉම චිත්‍රපටයේ දේදු කියන චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. දේදු වෙන්න අවස්ථාව උදා වුණු ආකාරය මතක් කරමින්ම මරියොන් කතාව ආරම්භ කළා

“මාව දේදු කියන චරිතයට මුලින්ම යෝජනා කරන්නේ මහේන්ද්‍ර පෙරේරා අයියා. මට මහේන්ද්‍ර අයියව මුලින්ම හමුවෙන්නේ හිතුමතේ ජිවිතේ චිත්‍රපටය තුළින්. ඒ කාලේ මම ලංකාවේ ඉන්නකොට මට එන්න කිව්වා එයාගේ රංගන පාසලට. ඒකෙන් පස්සේ මම එයාගේ ඇක්ටින් ස්කුල් එකට ආසාවෙන් ගියා. ඔය අතරේ තමයි දඩඉම චිත්‍රපටයට කාස්ටින් කරද්දී මහේන්ද්‍ර අයියා මා ගැන දඩඉම අධ්‍යක්ෂක වෛද්‍ය නෙඔමාල් පෙරේරා මහතාට කියලා තිබුණේ. ඒ නිසා මුලින්ම ගෞරවය සහ ස්තුතිය පුදකරනවා මහේන්ද්‍ර අයියාට. එතැනින් පස්සේ ආදරෙන් මතක් කරන්න ඕනේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය සහ වෛද්‍ය නිශානි ප්‍රනාන්දු මහත්මියට. ඒ දෙන්නා තමයි අධ්‍යක්ෂක වෛද්‍ය නෙඔමාල් පෙරේරා මහතා සමඟ ඇවිත් මාව දේදු කියන චරිතයට තෝරා ගත්තේ. ඒ නිසා ඒ දෙන්නා මගේ ගැන කිව්ව දේ පවා මට ආශීර්වාදයක් වුණා මේ චරිතය මටම ලැබෙන්න. ඒ වෙද්දී මම ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියව පෞද්ගලිකව දන්නේ නැහැ. හැබැයි මම භාග්‍යවන්ත වුණා මහේන්ද්‍ර පෙරේරා අයියා සහ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ ආශීර්වාදයෙන් මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම.

ඒ එක්කම මෙතැනදී දඩඉම අධ්‍යක්ෂක වෛද්‍ය නෙඔමාල් පෙරේරා මහතාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. කිසිම සැකයක් බියක් නැතුව මට මේ දේදු චරිතය ලබා දීම සම්බන්ධව. මම විදෙස් රටක හැදී වැඩුණු නිසා සිංහල බස හසුරුවන ආකාරය සහ මගේ කතා විලාසය ගැන බොහෝ අයට බියක් තිබ්බා. එවැනි ප්‍රශ්න මට මීට පෙර ඇතිවුණා. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි හාර්ඩ් වර්ක් එකකින් සහ අපගේ කැපවීම මත ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් කියන එක. මගේ එකම දේ තමයි සිංහල බස හසුරුවන විදිය එක්ක තියෙන කතා විලාසය ඉංග්‍රීසි නැඹුරුවක් ගැනීම. නමුත් ඒ දේ ගැන වුණත් කිසිම බියක් නැතිව දඩඉම අධ්‍යක්ෂක වෛද්‍ය නෙඔමාල් පෙරේරා මහතා මාව ගත්තා.

දේදු කියන චරිතය සහ මරියොන් අතර තිබෙන සමානකම ගැන මරියොන් කියන්නේ මෙවැන්නකි.

“දේදු කියන්නේ පිටරට හැදුණු වැඩුණු ඒ වගේම සංගීතයට ලැදි ගැහැනු ළමයෙක්. මරියොන් කියන මගේ පුද්ගලික ජීවිතේ තුළත් ඒ දේවල් ඒ විදියටම තියෙනවා. ඒ නිසා දේදු කියන චරිතයයි මගේ සැබෑ ජීවිතේ චරිතයයි අතර සමානකම් තියෙනවා.

මේ චිත්‍රපටය අපේ අනෙකුත් චිත්‍රපට එක්ක බලද්දී හරි වෙනස්. අපිට බොහොමයක් දකින්න ලැබෙන්නේ වෙනත් රටක නිර්මාණයක් ආභාෂයට අරන් කරන නිර්මාණ. නමුත් මේක ලාංකීය තිර කතාවක අලුත්ම ත්‍රිලර් ෆිල්ම් එකක්. මට හරි සතුටක් ඒ වගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම. දඩඉම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන කණ්ඩායම ගැන දැන ගත්තම ඒ අය එක්ක රඟපාන්න ලැබීමම මට ලැබුණු හොඳ අවස්ථාවක් සහ මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබ්බා.“

මෙහි රංගන ශිල්පීන්ගේ පරම්පරා දෙකක් එකට වැඩ කිරීමත් අමතක නොවන මතකයක් බවත් මරියොන් මේ කතාබහ තුළදී කියන්න අමතක කළේ නැහැ.

“ පරම්පරා දෙකක එකතුවකින් නිර්මාණයක් කරද්දී යම් විදියකට බෙදීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ චිත්‍රපටය තුළ අපි ගතකරපු කාලය තුළ ජ්‍යෙෂ්ඨ සහ නවක කියන බෙදීම මම අත්වින්දෙම නැහැ. ඒ තරම් සුහදව අපි වැඩ කළා. නවකයින් විදියට අපි අපිත් එක්ක වැඩ කළ ප්‍රවිණයින්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ප්‍රවිණයින්ගෙන් ලබා ගන්නා දැනුමට අපි දෙයක් එකතු කළොත් තමයි අපිටත් මේ ක්ෂේත්‍රය තුළ ගමනක් යන්න පුළුවන් වෙන්නේ කියන එක මම ඉගෙන ගත්තා.“

මේ අතර අපි මරියොන්ගෙන් ඇගේ පෞද්ගලික ජිවිතේ ගැනත් තොරතුරු විමසුවා.

“මම ඉපදුණේ සහ හැදී වැඩුණේ ප්‍රංශයේ. නමුත් මගේ අම්මා තාත්තා දෙන්නම ශ්‍රී ලාංකික පුරවැසියන්. මට ඉන්නේ වැඩිමහල් සහෝදරයෙක්. මම සංස්කෘතීන් දෙකක් එක්ක හැදුනු කෙනෙක්. ප්‍රංශ සංස්කෘතිය එක්ක මම හැදුණත් ගෙදර ඇතුළේ තිබ්බේ ශ්‍රී ලාංකික කෑම බීම. අපි කතා කළේ සිංහල බස. ඒ නිසා තමයි මම උපන් දා සිට ප්‍රංශයේ හිටියත් සිංහල භාෂාව කතා කරන්න පුළුවන් වුණේ. හැබැයි මට සිංහල භාෂාව කියවන්න සහ ලියන්න අමාරුයි. මට පිටපතක් ලැබුණාම මම මුලින්ම කරන්නේ ප්‍රංශ බසින් එය ලියා ගන්න එක.

මම කැමතියි මේ රංගන ක්ෂේත්‍රය තුළ තව ඉදිරියට යන්න. ඒ නිසා මම මේ කාලයෙන් පස්සේ නැවත ප්‍රංශයට ගියත් මාව සමාජ මාධ්‍යය ඔස්සේ වුණත් ඕනෙම කෙනෙක්ට සම්බන්ධ කර ගන්න පුළුවන්. මට ගැලපෙන චරිතයකට ඇරයුමක් ලැබුණොත් ඒ වෙනුවෙන් නැවත ලංකාවට එන්න ලෑස්තියි.“

මරියොන් සංස්කෘතික අත්දැකීම් දෙකක් ලබන කෙනෙක් නිසා ආදරේ දකින්නේ කොහොමද කියන එක ඇහුවාම ඇය දුන්නේ මේවගේ උත්තරයක්.

“මේ සංස්කෘතික දෙකේ ආදරේ කියන දේ මම දකින්නේ හරිම වෙනස් විදියට. ප්‍රංශය කියන්නේ ආදරේ පිළිබඳව ලෝකෙන්ම ප්‍රසිද්ධ රටක්. ආදරේ හරිම නිදහස් විදියට විඳින්න සහ ප්‍රකාශ කරන්න පුළුවන් රටක්. ඒ එක්කම මම ආදරේ කියන දේ දකින්නේ ඒ දෙන්නට පමණක් සීමා වුණු දෙයක් විදියට. නමුත් ලංකාවේ මම දැක්ක දෙයක් තමයි මෙහෙ අය තීන්දු තීරණ ගන්නේ අනෙක් අය මොනවා හිතයිද? මොනවා කියයි ද? කියන එක අනුව. ඒ දේ නිසා ආදරේට වෙන්නේ ලොකු අපරාධයක් කියලයි මම හිතන්නේ. ඒ නිසා තමයි ආදරේ නිසා හිත් රිදවීම් සහ පසුතැවීම් ඇති වෙන්නේ. හිතේ ඇතිවෙන දේ ප්‍රකාශ කර ගන්න බැරුව අසරණ වෙන්නේ. මම හැමදාම දකින්නේ ආදරේ කියන්නේ සුන්දර විඳින්න පුළුවන් හැඟීමක් විදියට.“

ලංකාවේ කෙනෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් මරියොන් භාර ගන්නවද? කියන ප්‍රශ්නයට මරියොන් දුන්නේ මේ වගේ උත්තරයක්

“මට ආදරේට ජාතියක් ආගමක් හෝ රටක් අදාළ වෙන්නේ නැහැ. ගොඩක් අය හොයන්නේ තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලනේ. නමුත් මම කියන්නේ තව කෙනෙක් අපිව තේරුම් ගන්න කලින් අපි අපිවම තේරුම් ගන්නත් මේ ජිවිත කාලයම මදි කියලයි. ලයිෆ් පාට්නර් කෙනෙක් කියන්නේ අපේ ශක්තීන් තේරුම් අරන් දෙන්නම එකතුවෙලා ඉස්සරහට යන එකක්. ඒ දේවල් වලදී අපි හොයාගන්න ඕනේ අපිට ආදරේයි කියලා අපිට නීති රීති හෝ තහංචි පැනවෙන කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට අපි මේ කලාව තුළ ඉන්න නිසා ආදරේ විවිධ විදියට එන්න පුළුවන්. ඒ නිසා ඒ එන යෝජනාව සහ ආදරේ පිරිසිදු ආදරයක් නම් හරි විදියට අවංකව එන යෝජනාවක් නම් භාර නොගෙන ඉන්න හේතුවකුත් නැහැ.“

මේ කාලේ මරියොන්ව දකින්න ලැබෙන දඩඉමට මොන වගේ ඇරයුමක් ද කරන්නේ සිනමා ප්‍රේක්ෂකයින්ට

“ඔබ දඩයම චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙක් නම් ඒ නතර වුණු තැනින් ඉස්සරහට මේ කතාව කොහොමද ගලා යන්නේ කියලා දැක ගන්න පුළුවන් දඩඉම නැරඹුවොත්. ඒ එක්කම මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි ඔබ දඩයම චිත්‍රපටය බලපු නැති කෙනෙක් වුණත් කිසිම බාධාවකින් තොරව දඩඉම චිත්‍රපටය නරඹන්න හැකි විදියට හරි බුද්ධිමත්ව මේ චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරලා තියෙනවා. දඩයම නොබැලු ඔබත් අනිවාර්යෙන්ම දඩඉම චිත්‍රපටය බලන්න. මේ චිත්‍රපටයේ තියෙන ලස්සනම දේ තමයි ඒක. දඩයම බලපු අයගේ සහ නොබැලු අයගේ රසවින්දනයට බාධාවක් නොවන අයුරින් චිත්‍රපටය නිර්මාණය වීම.“

 

Comments