මට ආදරය නැතුව ජීවත් වෙන්න බෑ | සිළුමිණ

මට ආදරය නැතුව ජීවත් වෙන්න බෑ

 

1994 වර්ෂයේ දයා විමලවීරයන් විසින් අධ්‍යක්ෂණය කළ සුජාතා චිත්‍රපටය හරහා පළමු සිනමා අත්දැකීම විඳ ගන්නා ඔහු එතැන් සිට සත්පුර වැසියෝ, සෙනෙහේවන්තයෝ, සත් මහල , සක්වළ ලිහිණියෝ, සූරිය දරුවෝ ඇතුළු නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේය. ඉන් නොනැවතී 2006 වසරේ ඔහු අංජලිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට අත්පොත් තබන්නේ ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයට විදේශීය සම්භවයක් සහිත රංගන ශිලිපිනී පූජා උමාශංකර් ද හඳුන්වා දෙමිනි. ඔහු නමින් චන්න පෙරේරා.

 

එදා වගේම අදත් චන්න පෙරේරා කියන චරිතය රසික ආකර්ෂණය එකහා සමානවම දිනාගෙන තියෙනවා. මොකද්ද රහස ?

මම විශ්වාස කරන දෙයක් තමයි අපි සසරින් ගෙනාපු දේවල් තියනවා. රංගන ශිල්පියෙක් කියන වෘත්තිය සහ ඒ නිසා මට ලැබුණු දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ආශිර්වාදය, ආදරය මේ සියල්ලම මම සසරෙන් ගෙනාපු දෙයක් නිසා මට ලැබෙන දේවල් වෙන්න ඇති. සමහර වෙලාවට මට මගේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දකිනකොට ඇස්වලට කදුළු එනවා. එච්චර රසික ආදරයක් දිනාගන්න තරම් මම වාසනාවන්ත වුණා නේද කියලා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඒත් මම ඒක ආභරණයක් කරගෙන නෑ. මම රංගන ශිල්පියෙක් වෙන්නේ කැමරාව ඉස්සරහ විතරයි. එතැනින් එහා මම සාමාන්‍ය මනුස්සයෙක්. මම මගේ රංගන වෘත්තියට ගරු කරනවා. මම ඒ ගැන අධිමානයෙන් නොසලකන නිසා වෙන්න ඇති ස්වභාවධර්මය මට ඒ විදියට සලකන්නේ.

පාසල් යන අවධියේ ඔබට ගෑහැනු ළමයින්ගෙන් ලැබුණු ආකර්ෂණය කොහොමද?

අනිත් තරුණයන්ට වගේම මටත් ගැහැනු ළමයින්ගෙන් ලොකු ආකර්ෂණයක් ලැබුණා. ඒ වගේම මං ආදරෙන් බැටකාලත් තියනවා. හරි සුන්දර තරුණ කාලයක් මට තිබුණා. මම හැමදාමත් ආදරේට ආදරේ කරන කෙනෙක්. සමහර විට මගේ තරුණ අවධියේ ආදරේ කරපු සහ විඳපු කෙනෙක් නිසාම මගේ අතින් ආදරය ගැන නිර්මාණ බිහි වෙනවා වෙන්න ඇති.

චන්න සහ ගයත්‍රිගේ මුල්ම හමුවිම ගැන මතකය දි කළොත් ?

ඇයව මට මුණ ගැහෙන්නේ 1995 වර්ෂයේ මකර විජිතය කියලා බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක් හරහා. ඉතිං ඒ නිර්මාණයට මමයි ගයත්‍රියි දෙන්නම සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් කළේ වටවල කියන ප්‍රදේශයේ. ඒ කාලය වැඩිපුර වහින කාලයක්. අපිට වැඩිපුර රූගත කිරීම් කරන්න ලැබුණේ නෑ. ඒ නිසාම මමයි ගයත්‍රියි කතා කරමින් තමයි ගොඩක් කාලය ගත කළේ. ඒ නිසාම ඉතා ඉක්මනින් අපි දෙන්නා ළං වුණා. ඇයව දැන හඳුනගෙන අවුරුද්දක විතර කාලයක් ඇතුළත මම ඇයත් එක්ක විවාහ වුණා.

ඒත් දැන් ඔබ තනිකඩයි. එහි අවසානය කොහොම වෙයිද?

මං කලින් කිව්වා වගේ මං ආදරයට ආදරය කරන කෙනෙක්. මට ආදරය නැතුව ජීවත් වෙන්න බෑ. මම දැනට විශ්වාස කරනවා මං හොයන ආදරය මට ලැබෙමින් පවතිනවා කියලා. හැබැයි ඒක සදාකාලිකව නීතිගත කරලා බැඳීමකට යන්න මගේ අදහසක් නෑ. හේතුව මම දන්නවා එහෙම බැඳීමක් තුළ ඒ ආදරේ දියාරු වෙලා යන්නත් පුළුවන්. මං ඒක අත්දැකීමෙන් දන්නවා. ගයත්‍රියි මමයි කතා කරලා සුහදව ගත්ත තීරණයකට අනුව තමයි අපේ ඈත් වීම සිද්ධ වෙන්නේ. මං ආයෙත් එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න කැමති නෑ. ආදරය සුන්දරයි ඈත් වෙලා ඉන්න තාක්කල්. එතකොට ඒ ආදරය හැමදාම නැවුම්ව පවතිනවා. ඒ නිසා මම නැවත වරක් විවාහ වෙන එකක් නෑ.

ඔබ හැමදාමත් රංගන ක්ෂේත්‍රයට නවක මුහුණු රැගෙන එන්න උත්සහ කරන අධ්‍යක්ෂකවරයෙක්. ඒ ගැන කතා කළොත්?

මටත් ඉතාම කටුක අත්දැකීම් ගොඩක් තිබුණා මේ ක්ෂේත්‍රයට එනකොට. විශේෂයෙන්ම මට ආපු බාධා, නින්දා, අපහාස සමාජයෙන් ආපු ගැරහුම් ගොඩක් තිබුණා. ඒ දේවල් මට විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක් ඉහළට යනකොට මුහුණ දෙන්න වෙන දේවල්. ඒ වෙනුවෙන් අපි මනස හොඳින් ශක්තිමත් කර ගන්න ඕන. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි මම මුහුණ දුන්න ඒ කටුක අත්දැකීම් තවත් කෙනෙක් මූණ දෙන්න අවශ්‍ය නෑ කියන එක. ඒක නිසා මම දක්ෂතා තියන අයට අවස්ථාව දෙනවා. නමුත් ගොඩක් දෙනෙක්ට කැපිලා පේන්නේ මම නිළියන්ව විතරක් මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දෙනවා කියලා. නෑ මම ආධුනික නළුවෝ විශාල සංඛ්‍යාවක් මගේ නිර්මාණවලට සම්බන්ධ කරගෙන තියනවා. රංගනයෙන් විතරක් නෙමෙයි. කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය, සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් මම විශාල පිරිසකට අවස්ථාව දීලා තියනවා. එදා ප්‍රවීණයන් මාව ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධකර නොගත්තනම් මම ආධුනිකයෙක්ම විතරක් වෙන්න තිබ්බා. එහෙම වුණා නම් අද මේ ඉන්න චන්න පෙරේරාව මිනිස්සු අඳුනන්නේ නෑනේ. ඉතිං මං විශ්වාස කරනවා මමත් මගේ යුතුකමක් විදියට දක්ෂ නවකයන්ට අවස්ථාව ලබාදිය යුතුයි කියලා. ඒ දේ යුතුකමක් විදියට මගෙන් සමාජයට ඉෂ්ට වෙන්න ඕන කියලා.

පසුගිය කාලේ චන්න පෙරේරා කියන චරිතය ආධ්‍යාත්මික නැඹුරුවකට යොමු වුණා කිව්වොත් නිවැරදිද?

මීට අවුරුදු 10 කට විතර කලින් ඉඳන්ම මම අධ්‍යාත්මික දේට නැඹුරු වෙලා ඉන්නවා. ඇත්තටම අපි ඉපදෙනවා මිය යනවා. මේ දේවල්වල යථාර්ථය මොකද්ද? ඇත්තටම මේ වෙන්නේ මොකද්ද? ඒ වගේ දේවල් ගැන මම හොයනවා. මම හිතනවා ඒ දේවල් ගැන මට යම් අවබෝධයක් තියනවා කියලා. ඉතිං ජීවිතේ මේ වෙන සියල්ල මම තේරුම් අරගෙන හරි නිරවුල් ප්‍රීතිමත් තැනකට මගේ ජීවිතය ගෙනැල්ලා තියනවා. ඒක ඇත්තටම වචනයෙන් කියන්න අමාරුයි. මේ ජීවිතේ ඇත්තටම ලස්සන චිත්‍රපටයක් වගේ. අපි ඒක නරඹනවා රස විඳිනවා. ඒ දේ තේරුම් ගත්තම අපි මේකට ඇලෙන්නේ නෑ. මේක විදිනවා විතරයි. මාත් අනිත් හැමොම වගේ කනවා, බොනවා. ආදරේ කරනවා, යාලුවෝ එක්ක විනෝද වෙනවා මේ සුන්දරත්වය විඳිනවා. හැබැයි ඒ අතරේ මට ඒ කිසිම දේකට බැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම ගමනක් තමයි මං යන්නේ.

 ළඟදී එන්න ති‍ෙයන ඔබේ නිර්මාණ මොනවාද?

මගේ යුග්‍රාතා චිත්‍රපටය. ඒක වෙනස්ම විදියේ නිර්මාණයක්. ඒක ආත්ම දෙකක ආදර කතාවක් වුණාට මේක බෞද්ධ දර්ශනය අනුව නිර්මාණය වුණ එකක්. ලංකාවේ අයට මේක අලුත් අත්දැකීමක් වෙයි. මෑතකදී වැඩ අවසන් කළ සිහින අනන්තය කියන චිත්‍රපටයත් මේ වසරේ අග හෝ එළඹෙන වසරේ මුල තිරගත වෙයි. ඒක මගේ අධ්‍යක්ෂණ සිහිනයේ සුවිශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ මේ නිර්මාණය හරහා මාලනී ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබුණා. පුංචි කාළේ ඉදන් මාලනී අක්කා කියන්නේ මං හැමදාම ආදරය කරන චරිතයක්. ඉතිං මගේ සිනමා නිර්මාණයක් තුළ ඇයව මට අධ්‍යක්ෂණය කරමින් ඇයත් සමඟ රඟපාන්නත් අවස්ථාව ලැබුණා. මම බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී සමීප කරන්න.

Comments