සම්භාව්‍ය සිනමා ලක්ෂණ නැති වෙන්න පුළුවන් හොඳ පණිවිඩයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ | සිළුමිණ

සම්භාව්‍ය සිනමා ලක්ෂණ නැති වෙන්න පුළුවන් හොඳ පණිවිඩයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ

මොනර දැල චිත්‍රපටයෙන් කතා කරන්නේ මත්ද්‍රව්‍යයෙන් දරුවන් ගලවා ගැනීම ගැනයි

මත්ද්‍රව්‍ය උවදුර හරහා සමාජයට සිදුවන අහිතකර බලපෑම දිනෙන් දින ඉහළ යමින් පවතින යුගයක එම උවදුර පැතිරයාම සහ පාසල් වියෙහි පසුවන දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ආකාරය පිළිබඳව කතා කරන “මොනර දැල“ චිත්‍රපටය ප්‍රේක්ෂක ඔබට අලුත් පණිවිඩයක් ගෙන එනු ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍ර. කැමරා අධ්‍යක්ෂකවරයෙක් ලෙස දීර්ඝ කාලයක් ක්ෂේත්‍රය තුළ ලබාගත් අත්දැකීම් ඇසුරින් මොනර දැල ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නේ සිය කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙසයි. මේ ඔහු හා කළ කතාබහකි.

 

පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස ළමයින් කේන්ද්‍ර කරගත් නිර්මාණයක් කළේ ඇයි?

අරටු වෙච්ච ගහක් කොන්ක්‍රීට් කණුවක් දාලවත් අපිට අවශ්‍ය විදියට හදන්න බෑ. හැබැයි පොඩි පැළයක් දිරච්ච කෝටුවක් හරි හේත්තු කරල කෙළින් කරන්න පුළුවන්.වැඩිහිටියන්ට වඩා දරුවන්ව නිර්මාණය කරන්න ලේසියි. සමාජයට පිළිලයක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය කොහොමද දරුවන් අතරට යන එක වළක්වා ගන්නෙ, ඒ වෙනුවෙන් වැඩිහිටියන්ට කළ හැකි දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි මම උත්සාහ කළේ. සම්භාව්‍ය සිනමා ලක්ෂණ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ චිත්‍රපටය හරහා හොඳ පණිවිඩයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ.

 

ඔබේ වෑයම සාර්ථකයිද.?

ප්‍රවීණ ශිල්පීන් සහ කලාකරුවන් චිත්‍රපටය බලලා මට කතා කරල සාධනීය අදහස් පළ කළා. ඒක මට බොහෝම වටිනවා. තවත් නිර්මාණ කරන්න දිරියක් ලැබුණා කියන හැඟීම මට තියෙනවා.

 

රංගනය සඳහා නවක ශිල්පීන් සම්බන්ධ කරගත්තෙ ඇයි?

හැමදාම තිරයේ දකින ජනප්‍රිය අයට වඩා අලුත් අය සම්බන්ධ කර ගත්තම යථාර්ථවාදී බව වැඩිපුර ඉස්මතු කරන්න පුළුවන් කියල මට හිතුණා. අධ්‍යක්ෂකවරයාට හැකියාව සහ විශ්වාසය තියෙනවා නම් ඕනෑම රංගන ශිල්පියෙකු හසුරුවන්න පුළුවන්. තෙශාර ධනරංජන, සදෙව් වළිමුණි, මගේ දුව සදනි නිසන්සිකා සහ පුතා සදෙව් විලෂ් ඇතුළු ළමා ශිල්පීන් පිරිසක් මේ චිත්‍රපටයේ රඟපානවා.‍

 

මොනර දැල හැඳුනේ කොහොමද කියලා කිව්වොත්

චිත්‍රපටය හදන්න මූලිකත්වය ගත්තෙ රොෂාන් පිලපිටිය. ඔහු අරුණ කොළඹගේ නිෂ්පාදකතුමත් එක්ක මාව මුණගැහෙන්න ආවා. මුල් පිටපත නවීකරණය කරලා තමයි අපි මේ චිත්‍රපටයට යොදාගත්තෙ. තිර රචකයා අජිත් මෙන්ඩිස්. රූගත කිරීම් කළේ මොරටුව, කළුතර,පානදුර,බියගම කියන ප්‍රදේශවල. රොෂාන් පිලපිටිය, නිල්මිණි තෙන්නකෝන්, නයෝමි තක්ෂිලා, ගිවන්ත අර්ථසාද්, පර්නි රෝශනී, වසන්ති රන්වල ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසකුත් චිත්‍රපටයට සම්බන්ධ වුණා.

 

ඔබ කලාවට පිවිසුනේ ?

වේදිකා නාට්‍යවල රඟපාමින් තමයි මම කලා කටයුතු පටන් ගත්තෙ. තරුණ සේවා සභාවෙන් සහ ජයන්ත චන්ද්‍රසිරි යටතේ වේදිකා නාට්‍ය පිළිබඳව හැදෑරුවා. දැනට ටෙලිනාට්‍ය එකසිය නවයක කැමරා අධ්‍යක්ෂණය සිදුකරල තියෙනවා. “නන්නත්තාර“කියන්නෙ මම කැමරා අධ්‍යක්ෂණය කරන එකසිය දහ වැනි ටෙලි නාට්‍යය. චිත්‍රපට නවයක පමණ කැමරා අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා.

 

ඒ නිර්මාණ මොනවද කියල මතක් කළොත්.?

දේවින්ද කෝන්ගහගේගෙ භවතරණ, වෛද්‍ය කපිල සූරියආරච්චිගේ සිනේමා, ක්‍රිෂාන්ත මනම්පේරියගෙ හිතුමතේ ජීවිතේ, ඉරාන් ගොඩමුනගෙ Secret Rose,චන්දන වීරකෝන්ගෙ ආදරණීය රීකී, දර්ශන රුවන් දිසානායකගෙ ගොවි තාත්තා, චන්ද්‍රරත්න මාපිටිගමගෙ උයනට මල් ගේන්න කියන චිත්‍රපට සඳහා කැමරාකරණයෙන් සම්බන්ධ වුණා.

විදේශීය නිර්මාණ කීපයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් ප්‍රංශ ජාතික සමී පවෙල් ගෙ in the small world සහ up to you නිර්මාණ විශේෂයි. වේදිකා නාට්‍ය හරහා හොඳම නළුවාට හිමි සම්මාන පහළොවක් මට ලැබිලා තියෙනවා. නිමල් රත්නායක, උදයකාන්ත වර්ණසූරිය, ලක්ෂ්මන් පුෂ්පකුමාර, ගිහාන් රෝහණ වැනි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් යටතේ කැමරාකරණය කරන්න ලැබීමත් භාග්‍යයක්. ඒ දැනුම මේ චිත්‍රපටය හදන්න ඉවහල් වුණා.

 

ඔබ ගී පද රචකයෙක්.?

ඔව්.මම ගීත කීපයක් රචනා කරලා තියෙනවා. ගායන ශිල්පී අමරසිරි පීරිස්ගෙ පුත් මාධව පීරිස් තමයි ඒ ගීත ගායනා කරන්නෙ.

 

මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න අනෙකුත් නිර්මාණ මොනවද.?

උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු‘ චිත්‍රපටය, මේ දිනවල විකාශය වන ‘නන්නත්තාර‘ ටෙලි නාට්‍යය සහ තවත් නිර්මාණ කීපයක කැමරා අධ්‍යක්ෂකවරයා විදියට වැඩ කරනවා. මම කරන හැම වැඩක්ම මගේ පළමුවෙනි නිර්මාණය කියලා තමයි හිතන්නෙ. එතකොට තමයි අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්.

 

පවුලෙ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද.?

මගේ ආදරණීය අම්මා සහ තාත්තා පුංචි කාලෙ ඉඳලම කලාවට යොමු වෙන්න මට නිදහස දුන්නා. මගේ බිරිඳ ශානිකා කරුණාසේන. ඇය කලා කටයුතුවලට මාව උනන්දු කරමින් විශාල සහයෝගයක් ලබා දෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ මගෙ ගුරුවරයා වූ උපුල් ප්‍රසන්නවත් මතක් කරන්න ඕන. මගේ කුළුඳුල් චිත්‍රපටය සාර්ථක කරගන්න දායක වුණ හැම දෙනාවමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

 

 

 නිසංසලා සංගීතා සමරතුංග

 

Comments