මඟ හැරුණු ප්‍රේමය ගැන ප්‍රේමාන්විත දිගහැරුමක් දිව්‍යාදරී | සිළුමිණ

මඟ හැරුණු ප්‍රේමය ගැන ප්‍රේමාන්විත දිගහැරුමක් දිව්‍යාදරී

දේශීය ටෙලි නාට්‍ය කලාව විදෙස් ටෙලි නාට්‍යවල ග්‍රහණයක්ව පැවති අවධියක එය නැවතත් දේශීයත්වයට නතු කරන්නට හැකි නිර්මාණ බිහි කිරීමට උත්සාහ ගත් අය අතර ඔහු ද ප්‍රමුඛයෙකි. පසුගිය 21 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.00ට ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වන ‘දිව්‍යාදරී‘ ද ඔහුගේ නිර්මාණයකි. අද අපි කතාබහට එක්කර ගත්තේ එහි අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසය.

 

මෙවන් අභියෝගාත්මක වාතාවරණයක ‘දිව්‍යාදරී‘ වගේ නිර්මාණයක් කරන්න හිතුවෙ ඇයි?

“මං මේ වගේ අභියෝග භාරගත්තෙ අද ඊයෙක නෙවෙයි. විදෙස් ටෙලි නාට්‍ය අපේ පුංචි තිරය තදින්ම ග්‍රහණයට නතුකරගෙන තිබුණු කාලේ තමයි මං එයට අභියෝග කරමින් අමල් පෙරේරා ගායනා කරන හීනයක් වගේ ඔබ ආවා ගීතය ඇතුළත් ‘සමනලුන්ට වෙඩි තියන්න, ඇහි පිල්ලමක් යට‘ වගේ ටෙලි නිර්මාණ කළේ. ඒවා ප්‍රේක්ෂකයා ආදරෙන් වැලඳ ගත්තා. ත්‍රෛලෝකා, දෙයියන්ගේ රටේ, හිරු තනිවෙලා, පුංචි ළමුන් වෙනුවෙන් කළ පුංචි ගෙදර ඉන්ද්‍රජාල වෙනස් තේමාවන් ඔස්සේ කළ නිර්මාණ. මං නිතරම උත්සාහ කළේ වෙනසක් කරන්න. ‘දිව්‍යාදරී‘ කියන්නෙත් ටිකක් වෙනස් වැඩක්. හිරිමල් යෞවනය බේස් කරගෙන හැදුණු නිර්මාණයක් වුවත් ඒ තුළ ඊට එහා ගිය දේකුත් තියෙනවා. හිරිමල් තාරුණ්‍යයේ අත්දකින ප්‍රේමය, එයාල මුහුණපාන දේවල් මේ තුළ අන්තර්ගතයි. ස්විමිං පූල් එකක් වටා ගෙතුණු කතාවක්. ඒ වගේම කසාද බැඳලා, ළමයි හදලා ජීවිතේ මුහුණ දෙන්න වුණු ඛේදවාචකයන් හමුවේ තම සැමියා අහිමි වන කාන්තාවකට පාසල් කාලයේ තමාට පෙම් බැඳි තරුණයකු අහම්බෙන් හමුවීම නිසා නැවත ආවර්ජනය වන පාසල් මතකය, මඟහැරුණු තම පාසල් ප්‍රේමය ආදී සිද්ධීන් හරි අපූරුවට ප්‍රේමාන්විතව ප්‍රේක්ෂකයාට සමීප කරන්නට ගත් උත්සාහයක් මේක.

උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රදීප් ධර්මදාස, නිරෝෂා තලගල, බුද්ධික ජයරත්න, අයේෂා දිසානායක, මේනක රාජපක්ෂ, දසුනි සෙනෙත්මා සහ නවක රංගන ශිල්පී දෙනෙත් ආකර්ෂ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා. තිර රචනයෙන් ගයාන් හෙට්ටිආරච්චි සහ නිෂ්පාදනයෙන් චාමර සමරවික්‍රම සහාය ලබා දුන්නා.”

 

ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය අභියෝගාත්මකව වෙනස් කිරීමට උත්සාහ කළ අධ්‍යක්ෂවරයෙක්. ඔබේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන සඳහන් කළොත්?

“මං කොළඹට එන්නේ නිවේදකයෙක් වෙන්න. නමුත් මට සිද්ධ වෙනවා දේශපාලන වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කරන්න. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ. එතැන තමයි මගේ ගමනේ ආරම්භය. මුතු පලස, රිදී නිම්නය වගේ වෙනත් විශේෂාංගත් ඉදිරිපත් කළා. නිවේදන කටයුතුත් කළා. ඒ වගේම ප්‍රවෘත්ති විකාශයත් කළා. ඒත් ඒ වෙද්දි මගේ හීනේ ගොඩනැඟෙන්නේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් විදියට. ඒ අතරතුර තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ. ‘නිල් අහස වගේ‘ ටෙලි නාට්‍යය ඔස්සේ පුංචි තිරයට පය තිබ්බා වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අම්මාවරුනේ‘ චිත්‍රපටය හරහා හාමුදුරුවන්ගේ චරිතයකින් සිනමාවටත් පිවිසුණා. සඳගලතැන්න, අයාල් වගේ ටෙලි නිර්මාණ ගොඩක් ජනප්‍රිය වුණා. මේ වෙද්දි මං අධ්‍යක්ෂවරයෙක් විදියට සිනමාවටත් අත ගහලයි තියෙන්නේ. ඒ හේමාල් රණසිංහ යොදා ගෙන කරපු ‘අයිස්ක්‍රීම්’ කියන සිනමාපටය. රටේ පැවතුණ අර්බුදකාරී තත්ත්වය නිසා මෙතෙක් එය තිරගත කිරීමට නොහැකි වුණත් ලබන වසරේ එය තිරගත කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

 

රංගනය ගැන යම්තාක් දුරට හෝ අධ්‍යයනය කරන්න ආයතන තිබුණත් අධ්‍යක්ෂණය පැත්තෙන් එහෙමත් නැහැ. එවන් වාතාවරණයක කොහොමද ඔබ සාර්ථක අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ?

“අපේ රටේ අධ්‍යක්ෂණය සඳහා අධ්‍යයන ආයතන නැහැ. අධ්‍යක්ෂණයට අත ගහනව නම් අපි ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න ඕන. පොත පත කියවලා, ෆිල්ම් බලලා තමයි ඒ දැනුම එකතු කරගන්න වෙන්නේ. අපි ලබන අත්දැකීම්ම තමයි අපිව සාර්ථක කරන්නේ. මේ වෙද්දි මං ටෙලි නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ ඔස්සේ වෙනස් මානයන් ස්පර්ශ කරන්නත් උත්සාහ කළා. ඒවා තුළින් සාර්ථකත්වයක් ලැබුවා. ඒ වගේම දැනට සිනමා පටයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. එක දිගටම නිර්මාණකරණයේ නියැළෙන්න මගේ කැමැත්තක් නැහැ. එකක් කරලා ටික කාලයක් ඉඳලා තමයි තව එකක් කරන්නේ. ඉදිරියේ දී තව තව නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.”

 

 

Comments