මම හරි වාසනාවන්තයි අසංක වගේ කෙනෙක් ලබන්න | සිළුමිණ

මම හරි වාසනාවන්තයි අසංක වගේ කෙනෙක් ලබන්න

සාමාන්‍ය පෙළ කරද්දි පන්තියේ මුල් තුන්දෙනා අතර හිටිය මම විද්‍යා පන්තියේ අන්තිමයා

අපේ ගමෙන් ශිෂ්‍යත්වය පාස් වුණ මුල්ම ළමයා මම

වෛද්‍ය ප්‍රමිලා රණසිංහ ගැන මේ වෙද්දී සමාජ මාධ්‍යය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වෙනවා. නිළියන් පරදන සුන්දරත්වයක් තියෙන ඇයගේ විවාහ මංගල දිනය දා ගත් ජායාරූප නිසයි මේ කතා බහ ඇති වුණේ.

 

මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි නංගියි ඉන්නේ. උපන් ගම තඹුත්තේගම ඒ වුණාට ළමා කාලය ගෙවුණේ හික්කඩුවේ.

පාසල් හතරකින් මම අධ්‍යපනය ලැබුවා. මුලින්ම තඹුත්තේගම ප්‍රාථමික විදුහලට, ඊට පස්සේ එක වසරේ අග සිට තුන වසර දක්වා නිකවැරටිය තිඹිරියාව ප්‍රාථමික විදුහලට. එතනින් පස්සේ තුන වසරේ සිට ශිෂ්‍යත්වය දක්වා හික්කඩුව මහමායා බාලිකා විදුහලට. ශිෂත්වයෙන් සමත් වෙලා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට ආවා.

පොඩි කාලේ මම ගිය නිකවැරටිය තිඹිරියාව ප්‍රාථමික විදුහල ඉතාම දුෂ්කර පාසලක්. කිලෝමීටර් දෙකක් පයින් අපි ගියේ.

ඇයි මේ ළඟ ළඟ පාසල් වෙනස් කරන්නට හේතු වුණේ?.

තාත්තා දේශපාලනය කළා. පවුලේ තිබුණු දේශපාලන ප්‍රශ්න නිසා අම්මට තාත්තට හැංගිලා ඉන්න වුණා. ඒ නිසා අපිව තැනින් තැන තිබ්බා. මම නිකවැරටිය ඉස්කෝලේ යද්දී අක්කා කළුතර ඉස්කෝලෙකට ගියේ. අපේ පවුල විසිරුණු පවුලක් වෙලා ජිවිත ගොඩනඟා ගත්තේ. දැන් නම් අපි හැමෝම එකට ඉන්නවා.

පුංචි කාලේ ඉඳන්ම ආස කළේ වෛද්‍යවරියක් වෙන්නද?

මම වෛද්‍යවරියක් වෙන්න ආසයි කියලා පුංචි කාලේ ගොඩක් තැන්වල කියලා තියෙනවා. නමුත් සාමාන්‍යද පෙළ කලාට පස්සේ මගේ හීනය වුණේ භාෂාවන් කිහිපයක් ඉගෙන ගෙන තානාපතිවරියක් වෙන්න. ඒ නිසා උසස් පෙළට languages කරන්න ආස වුණත් මගේ පාසලේ තිබ්බේ නැහැ. ඒ වෙද්දී ශිෂ්‍ය නායිකාවක්, පාසල් බෑන්ඩ් එකේ, පාසලේ නර්තන කණ්ඩායමේ හිටියා. ඒ වගේ බාහිර දේවල් සෑහෙන්න කළ නිසා ඉස්කෝලේ දාලා යන්න හිතුණේ නැහැ. ඒ නිසා උසස් පෙළට විද්‍යා විෂයන් කළා. ඒ වෙද්දී විද්‍යාව කරන්න ආසාවෙන් හිටිය ළමයි සාමාන්‍ය පෙළ ඉවර වෙනවත් එක්කම විද්‍යා පන්ති ගිහින්. මම අපේ අම්මගේ රෙදි කඩේ වැඩ කළා. මාස හයකට පස්සේ ඉස්කෝලේ පටන් ගත්ත. සාමාන්‍යය පෙළ කරද්දී පන්තියේ මුල් තුන්දෙනා අතර හිටිය මම විද්‍යා පන්තියේ අන්තිමයා වගේ. ඒකට ලැජ්ජ නිසා මම තනියම ඉගෙන ගත්තා. මම පන්ති යන්න කම්මැලියි ඒ දවස්වල. මට නින්ද යනවා. ඒ දවස් වල මා එක්ක තව දෙන්නෙක් හිටියා. අපි තුන්දෙනා එකතුවෙලා සර්ලට කවි ලියලත් තියෙනවා. රනිදුගේ නින්ද නේන හැන්දැවේ ගීතය වෙනස් කරලා “නින්ද යන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්, සර් බැන්නට කමක් නැහැ අපිට නින්ද යනවනම්“ කියලා චිට් එකක් යැව්වා. සර් ඒක ලිව්ව කෙනා හෙව්වත් ලිව්වේ කවුද කියලා හොයා ගන්න බැරි වුණා අපි තුන්දෙනාගෙම අකුරු එක වගේ නිසා. එදා පන්තියේ පේපර් එකක් තිබ්බ දවසක්. වැඩිම ලකුණු තිබ්බේ මට. ඊට පස්සේ මාව ඉස්සරහ පේළියට ගත්තා.

වෛද්‍යවරියක් විදියට ඔබ ස්කින් කෙයා පැත්තට විශේෂ වෙන්න හිතුවේ ඇයි?

“කැම්පස් එකේ අවසන් වසර වෙද්දී මගේ මුහුණේ පිම්පල්ස් ගොඩක් ආවා. ඒකට බෙහෙත් ගන්න හැමතැනකටම ගියාට මට අඩුවුණේ නැහැ. ඒ කාලේ මම හිතුවේ microbiology පැත්තෙන් ස්පෙෂල් එකක් කරන්න ඕනේ කියලා. හැබැයි පිම්පල්ස් නිසා මානසික පීඩනයකින් හිටියේ. එතකොට මම ඩොක්ටර් වෙලා Internship ඉන්න කාලේ. ඉන්ටර් නෙට් එකෙන් දැක්කා cosmetic medicine ගැන. මම ඒකට ඇප්ලයි කරලා ගියා. එතැනදී පුහුණු වෙන්න ගන්නේ අපිව තමයි. එතැනදී කරපු ට්‍රිට්මන්ට් වලින් මගේ මුහුණ හොඳ වුණා. ලංකාවට ආවට පස්සේ මම ප්‍රතිකාර කරලා ගොඩක් අය සුව කළා.

වෛද්‍යවරියක් නොවුණා නම් කවුරු වෙයිද?

“එහෙනම් තානාපති කෙනෙක් වෙයි. මම ආසයි අදටත් languages ඉගෙන ගන්න. සිංහලට අමතරව ඉංග්‍රීසි, ජර්මන්, ටැමිල්, හින්දි,Dutch පොඩ්ඩක් පුළුවන්. එහෙම ගත්තම භාෂා 5ක් පුළුවන්. තවමත් මම ඉගෙන ගන්නවා.“

ප්‍රමිලා ගැන සමාජ මාධ්‍යය තුළ කතා වෙන්න ගත්තේ විවාහයත් එක්ක, ඒ ගැනත් කියමු

මගේ සැමියා අසංක කරනායක. මගේ ජීවිතේ ලොකුම ශක්තිය එයා. ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. ඔහු හරිම ආදරණීය කෙනෙක්. වෙඩින් එක මේ විදියට ගත්තේ අපි ගොඩක් පාටි දාන්න කැමති අය නෙවෙයි. ඒ නිසා අපි දෙන්නම හිතුවා මේ විදියට පාටියක් දාන්නේ නැතුව ඒ සුන්දර දිනය මතකයේ රැඳෙන විදියට විවාහය ගන්න.

දැන් හොඳම යාළුවා නිලුෂි පවන්‍යා ද?

නිලූෂි මට මුලින්ම මුණගැහෙන්නේ පන්සලේදී. එතකොට මම දන්නෙත් නැහැ එයා නිළියක් කියලා. එයා දන්නෙත් නැහැ මම ඩොක්ටර් කෙනෙක් කියලා. ඒ නිසා ඒ යාළුකම හරි පිරිසිදුයි. ඒ වගේම අපි දෙන්නගෙම ජීවිත කතාව සමානයි.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

ඇමරිකාවේ ටෙක්සාස් යුනිවර්සිටි එකේ හිසකෙස් සම්බන්ධ රිසර්ච් එකක් කරගෙන යනවා. තව අවුරුදු එකහාමාරක් දෙකක් යද්දී රිසර්ච් එක ඉවර වෙයි. එතකොට මට ආයේ ඉගෙන ගන්න රට යන්න වෙයි.

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ

මම මේ ගමන ආවේ ගොඩක් දුෂ්කර මාර්ගයකින්. හික්කඩුව ගමෙන් ඒ කාලේ අම්බලන්ගොඩ ඉස්කෝලෙකට ගියේ මායි මල්ලියි විතරයි. අපි හිටිය ගමේ ශිෂ්‍යත්වය පාස් වුණු මුල් ළමයා මම. ඊට පස්සේ මගේ මල්ලි මටත් වඩා හොඳට පාස් වුණා. අපි අම්මල රට ඉන්න කාලේ අවුරුදු එකහමාරක් විතර පොල් අතු ගෙදරක හිටියා. මම ශිෂ්‍යත්වය පාස් වුණේ ඒ ගෙදරදී. ආච්චි මම චක්කරේ පාඩම් දුන්නොත් විතරයි දවල්ට කන්න දෙන්නේ. හැබැයි මම ලොකු ඉස්කෝලෙට යන කාලේ අවසන් කාලය වෙද්දී අම්මා තාත්තා ලංකාවට ඇවිත් හිටියේ. අපේ ගෙදර පිහිනුම් තටාකයක් පවා තිබ්බා. මගේ ඉස්කෝලේ යාලුවෝ දැක්කේ ඒ ගෙදර. ඒ නිසා කවුරුත් විශ්වාස කරන එකක් නැහැ මගේ ළමා කාලය.

 

ඡායාරූප - හිරන්ත ගුණතිලක

Comments