මනීගේ සිනමා කාව්‍ය PS-1 | සිළුමිණ

මනීගේ සිනමා කාව්‍ය PS-1

ඉන්දියානුවන්ගේ ඇදහීම අනුව ‘කල්කි’ යනු හින්දු දෙවියන්ගේත්, විෂ්ණු දෙවියන්ගේත් දස වන සහ අවසාන අවතාරයයි. ‘කල්කි’ යන එම නාමය තම අන්වර්ථ පෑනේ නාමය ලෙස භාවිත කළ රාමස්වාමි ක්‍රිෂ්ණමූර්ති ප්‍රසිද්ධ, ප්‍රවීණ ඉන්දියානූ ලේඛකයෙකි.

 

ඔහු මාධ්‍යවේදියෙක්, කවියෙක්, විචාරකයෙක් මෙන්ම ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.

කල්කිගේ ලේඛනවලට කෙටිකතා 120ක් නවකතා 15ක් ඓතිහාසික ආදර කතා 3ක් සහ කතුවැකි, දේශපාලනික ලිපි සහ චිත්‍රපට පිටපත් ඇතුළත්ව ඇත.

ඔහු 1941 දී ටී. සදාසිවම් සමඟ එක්වී ‘කල්කි’ නමින් සඟරාවක් ආරම්භ කළේය.

‘පොන්නියින් සෙල්වන් ‘ (පොන්නිගේ පුත්‍රයා නොහොත් කාවේරි නදිය) යනු 1950 සිට 1954 දක්වා කාලය තුළ එම කල්කි නම් දෙමළ සඟරාවේ පළවූ කල්කි විසින් ලියූ ඓතිහාසික නවකතාවකි.

1955 දී මෙම නවකතාව කොටස් කිහිපයක නවකතා පොතක් ලෙස මුද්‍රණය කළ අතර එය දෙමළ භාෂාවෙන් ලියවුණු වැඩිම අලෙවියක් ඇති පොතකි.

මේ වනවිටත් ඉන්දියාව පුරා අලෙවි වන මෙය, වසරකදී පිටපත් ලක්ෂයක් අලෙවි වන පොතක් බවයි වාර්තා වන්නේ.

ක්‍රිෂ්ණමූර්ති මෙම කතාව ලිවීමේ දී ඓතිහාසික තොරතුරු එක්රැස් කිරීම සඳහා ලංකාවට කිහිප වරක්ම පැමිණ තිබෙන බවටද තොරතුරු සඳහන් වෙනවා.)

මෙලෙස ඉන්දියාව පුරා අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති පොන්නියින් සෙල්වන් නම් ඓතිහාසික කතාව පාදක කොට ගෙන දැවැන්ත සිනමා නිර්මාණයක් බිහිවී ඇති අතර, එය නිර්මාණය කර තිබෙන්නේ ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ මනිරත්නම් විසින්ය.

මෙම ඓතිහාසික කතාව කොටස් දෙකකට බෙදා චිත්‍රපට දෙකක් නිපදවීම ඔහුගේ අරමුණ වී ඇති නිසා එහි පළමු කොටස ලෙස පොන්නියින් සෙල්වන් 01 එනම් PS – 1 එළි දක්වා ඇත.

2021 දී රූගත කිරීම් ආරම්භ කළ මෙය ඉන්දියාවේ සහ තායිලන්තයේ රූගත කර ඇත.

රුපියල් කෝටි 500ක පමණ වියදමක් දරා ඇති මෙම දැවැන්ත චිත්‍රපටය වැඩිම වියදමක් දැරූ ඉන්දියානූ චිත්‍රපට ගොන්නට වැටෙන්නකි.

මෙය මනිරත්නම්ගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම අභිලාෂකාමී ව්‍යාපෘතියක් ලෙස නම් කොට ඇති අතර ඔහු ප්‍රථම වරට චෝල රාජවංශය පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාවයි.

මෙම පොන්නියින් සෙල්වන් (PS – 1) චිත්‍රපටය සඳහා ප්‍රධාන පෙළේ නළු නිළියන් ගණනාවක්ම සහභාගි වී ඇති අතර ඔවුන්ගේ ප්‍රතිභාවයෙන් චිත්‍රපටය ඔපවත්ව ඇත. 1994 දී ලෝක රූ රැජන ලෙස කිරුළු පැලඳි ජනප්‍රිය විත්‍රපට රැසකම රඟපෑ සම්මානනීය නිළි ඓශ්වර්යා රායි කලකට පසුව මෙහි ප්‍රධාන චරිතය රඟපාමින් ඇගේ දක්ෂතා විදහා දක්වා තිබේ.

‘වික්‍රම්‘ යනුවෙන් හඳුන්වන කෙනඩි ජෝන් වික්ටර් දෙමළ සිනමාවේ අති ප්‍රබල චරිත රැසක් රඟපෑ දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ නළුවෙක් මෙන්ම පසුබිම් ගායකයෙකි. වික්‍රම් මෙහි ප්‍රබල ප්‍රධාන චරිතය හොබවමින් PS – 1 හි තම රංගන කුසලතාව යළිත් පිළිබිඹු කර ඇත.

එමෙන්ම ජනප්‍රිය දක්ෂ නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන්ද කාර්තික් (කාර්ති) සහ තවත් ප්‍රධාන පෙළේ දෙමළ නළු නිළියන් රැසකගේ රංගනයෙන් ද ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු වන ඒ. ආර්. රහුමාන්ගේ සංගීතයෙන් මෙය සංගීතවත්ව ගීතවත්ව ඇත.

කුඩා කාලයේ ම ළමා නළුවෙකු ලෙස Bava Baramaridi යන තෙළිඟු චිත්‍රපටයෙන් තම මංගල රංගන චාරිකාව ආරම්භ කළ තවත් දක්ෂ නළුවකු වන ජයම් රවී ද මෙහි ප්‍රධාන චරිතයක් රඟපායි.

මෙලෙස ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ඔබට ද මේ PS – 1 චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව උදාවී තිබේ.

චෝල රාජවංශය පදනම් කරගත්, ඓතිහාසික රජ කතාවක, අරුමැති අත්දැකීම විඳගැනීමට ඔබට ද දැන් ඒ අනුව අවස්ථාව සැලසී ඇත.

Comments