මාරක කතා හොඳද නැද්ද? | සිළුමිණ

මාරක කතා හොඳද නැද්ද?

අපි බොහෝ දෙනෙක් මෙතැනට ආවෙ ඒ පොත් කියවලා
- සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

මගේ සාහිත්‍ය ජීවිතයට මාරක කතාවලින් බලපෑමක් වුණේ නෑ
- ලේඛක චන්දන මෙන්ඩිස්

පාට කණ්ණාඩි දාගෙන ඉන්න විචාරකයන්ගෙන් මේ ශානරයට ලොකු හානියක් වුණා
- සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

සාහිත්‍ය පොත් කියන්නෙ ඕවට නොවෙයි
- ලේඛක චන්දන මෙන්ඩිස්

මීට දශක කිහිපයකට පෙර අපරාධ මුල් කරගත් මාරක කතාවලට තිබුණේ ඉහළ ඉල්ලුමකි. ඒවා ඩෙස්ක් අස්සේ දමාගෙන කියවූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සේ ම, කෝච්චියේ ආසනයක මුල්ලක් අල්ලාගෙන ගමනාන්තය වෙද්දී මේ එක් පොතක් කියවා අවසාන කළ පාඨකයෝ ද වෙති. එකල මාරක කතා එතරම් ම ජනප්‍රිය විය. මාරක කතා චක්‍රවර්තී කියා හැඳින්වූ ලේඛකයා වන ඩීමන් ආනන්ද මේ අය අතර බෙහෙවින් ජනප්‍රිය ලේඛකයෙකි. එක්දහස් එක් රැය නමින් පළ වූ අරාබි නිසොල්ලාසයේ කතා එක්දහස් එකසිය එකක් ඇත. අරාබි නිසොල්ලාස ලේඛකයා පවා දෙවැනි වූයේ 1999 වසර වන විට 1115ක් ලියූ ඩීමන් ආනන්දට ය.

රේස් කොළේ කියවමින් සිටි වැඩ කරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි! කියමින් ඒ අසීමිත පාඨක ආකර්ෂණයට අලගු වාක්‍යය තබන්නට තරම් හේ ජනප්‍රියත්වයට පත් ව සිටියේ ය. අද සිටින සමහර ප්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා යැයි ඔහු ඒ ගැන තවදුරටත් පවසා තිබිණි. දොස්තයෙව්ස්කිගේ අපරාධය හා දඬුවම පරිවර්තනය කර එය ප්‍රකාශයට පත් කරගත නොහැකි ව සිටි ඩීමන් ආනන්දට මාරක පොත් ප්‍රකාශනය කර පොත් දහදාහක් විකුණා ගන්නට ගත වූයේ දින කිහිපයකි. කෙසේ වෙතත් අපරාධය හා දඬුවම කියවන පුහුණු පාඨකයාගේ පාඨක රුචිය වර්ධනය කිරීමට අනුබල නොදුන්නා යැයි කියා රේස් කොළය පමණක් කියැවූවකු පොතක් කියැවීම දක්වා වර්ධනය කිරීමේ වටිනාකම ද අවතක්සේරුවට ලක් නොකළ යුතු යැයි කිවහොත් පාඨක ඔබ අමනාප නොවනු ඇත.

පොතක් කියැවීමෙන් ලැබෙන්නේ ආනන්දයකි. සමාජ දියුණුවකි. එය මොන නවකතා ප්‍රවර්ගයෙන් සිදු වූවත් වටිනා දෙයකි. ඒ අර්ථයෙන් ගත් කල සරලව පෙනුණත් මේ ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ කතා බහට ලක් වෙන්නෙකි. පිරිසකගේ පාඨක රුචිය වර්ධනය වීම සේම හුදු කතා රසයට ලොල් වන සමාජයක් බිහි වීමේ අවදානම ද මේ නිසා ඇති විය හැකිය. එබැවින් මේ දෙපැත්තේ කුමන පැත්ත බර වැඩිද යන්නට වඩා තක්සේරුව පාඨක ඔබට තබා අප අදහස් විමසන්නට ප්‍රාමාණික දෙපළකට ඇරයුම් කළෙමු. ඔවුන් දෙදෙනාම මාරක කතා සාහිත්‍යය ගැන විවිධ පරිමාණයෙන් කියැවීමක් ඇති ප්‍රවීණයෝ වෙති.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පොබ කළ මහැදුරුවරයකු සේ ම සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයට නිර්මාණ හා පර්යේෂණ දෙඅංශයෙන් ම විසල් මෙහෙයක් කළ අයෙකි. රාජ්‍ය ඇතුළු අවශේෂ සම්මාන බොහොමයකින් පිදුම් ලැබූවෙකි. චන්දන මෙන්ඩිස් පාඨක ජනයා අතර වඩාත් ප්‍රචලිත හා ජනාදරයට පත් ලේඛකයකු වූයේ ආතර් කොනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් සිංහලට නැඟූ නිසා ය. ඒ කෘති අතිශය ජනාදරයට ලක් වූයේ ය. සම්භාව්‍ය විශ්ව කෙටිකතා එකතු කර පරිවර්තනය කළ ඔහු ඒ වෙනුවෙන් කිහිපවරක් රාජ්‍ය සම්මානිත වූයේ ය. මාරක කතා සාහිත්‍ය ගැන අද සිළුමිණ වාදයට එක්වෙන්නේ මෙකී සාහිත්‍ය නිර්මාණකරුවන් දෙපළ ය. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මාරක කතා සාහිත්‍යය ප්‍රවර්ගය ගැන සිය අදහස අවදි කළේ මෙපරිද්දෙනි.

‘වෙන රටවල නම් ඒක බොහොම ප්‍රසිද්ධ සාහිත්‍යය ප්‍රවර්ගයක්. ලංකාවේ නම් පටන් ගත්තෙ හැට ගණන්වල. ඒක මාරක කතා කිවුව මිසක් රහස් පරීක්ෂක කතා විදියට නොවෙයි හැඳින්වුවේ. මම කැමැති මේවට රහස් පරීක්ෂක කතා කියන්න. ඊට පර්යාය අදහසක් දක්වමින් චන්දන මෙන්ඩිස් ලේඛකයා පවසන්නේ ද මේවා ත්‍රාසජනක කතා ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය බවකි.

‘මම මේ නම කියනවට එච්චර කැමැති නෑ. මේවා ත්‍රාසජනක කතා. සාමාන්‍යයෙන් ඉස්සර ඩීමන් ආනන්දගේ කතාවලට කිවුවෙ මාරක කතා කියලා. ඒ කාලෙ ගුරුවරු මාරක කතා කියනකොටත් බොහොම විරුද්ධයි. අපේ ගුරුවරු මේකට ත්‍රාසජනක කතා, රහස් පරීක්ෂක කතා කියන එක වඩාත් සුදුසුයි කියලයි කිවුවෙ‘

මේ ප්‍රභේදය නිසා සිංහල සාහිත්‍යයට සිදු වූ බලපෑම ගැන මහාචාර්ය පල්ලියගුරුගේ අදහස මෙවැන්නකි.

යුරෝපයේ මේක ප්‍රකට ශානරයක්. ලංකාවෙ ඇත්තටම එහෙම ලියන්න තරම් ලේඛකයන් හිටියෙ නෑ. ඇත්තට ම බැලුවොත් ඩීමන් ආනන්ද, ලයනල් පෙරේරා වගේ කිහිප දෙනෙක්නෙ හිටියෙ. ඒත් කියවන පිරිසක් නිර්මාණය වීම වැදගත්.‘

සම්මානිත මහාචාර්ය පල්ලියගුරු තවදුරටත් සඳහන් කළේ ඩීමන් ආනන්දගේ පොත් කියවීම වැඩිහිටියන් විසින් අනුමත නොකළ ද එම පොත්වල ත්‍රාසය, කුතුහලය, භීතිය මිස ලිංගිකත්වය උලුප්පා දැක්වෙන කිසිවක් ඇතුළත් වී නොතිබුණු බවයි. ඔහු නිවැරදි සිංහලයෙන් කතා රචනා කර තිබෙන බැවින් ඔහුගේ පොත් කියවීම භාෂා ව්‍යාකරණ දැනුම අඩු වීමට හේතු නොවන බව මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

මේ අදහසට විරුද්ධ ව අදහස් පළ කරන චන්දන මෙන්ඩිස් ලේඛකයා පවසන්නේ ඒ කුමක් කීව ද මේවා නොකියවිය යුතු පොත් සේ හංවඩු ගැසී තිබුණු බව ය.

1960 ගණන්වල බොහොම හෙළා දැකපු ශානරයක් තමයි ඔය මාරක කතා. හැබැයි ළමයි හංගගෙන කියෙවුවා. පාසලෙන් විශාල බලපෑමක් තිබුණා මේවා කියවන්න එපා කියලා.

කියවන්න ඕන පොත් නොවෙයි ඕවා කියලම කිවුවා. සාහිත්‍ය පොත් කියන්නෙ ඕවට නොවෙයි කියලයි කිව්වෙ. මේ මාරක කතා ශිෂ්ට සමාජයට සුදුසු නෑ කියලත් කිවුවා. ගොඩක් ගුරුවරු විරුද්ධයි ඩීමන් ආනන්දගෙ පොත් කියවනවට. චන්ද්‍රසේන සිල්වා, ඩීමන් ආනන්ද වගේ අයගෙ පොත් ගුරුවරු බොහොම තදින් හෙළා දැක්කා‘

මහාචාර්ය පල්ලියගුරු පවසන්නේ මුල්කාලයේ තමන්ගේ පාඨක රුචිය වර්ධනය වීමට මාරක කතා සාහිත්‍යය බලපෑ බවත් එහි චක්‍රවර්තී වූ ඩීමන් ආනන්ද ඊට ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ බවත් ය.

“ඩීමන්ගේ අලුත් පොතක් එළි දැක්වීම වෙනුවෙන් දේශනයක් කරන්න යැයි මට ආරාධනාවක් ලැබුණා. පසුව පුවත්පත්වලත් මම ඒ දේශනය කරන බව පළ වී තිබුණා. පසු දිනක විශ්වවිද්‍යාලයට ගියාම මගෙන් කට්ටිය ඇසුවේ නුඹට පිස්සුද, ඩීමන් ආනන්ද කියන්නේත් නවකතාකරුවෙක් ද කියා යි. එවිට මම ඔවුන්ට මෙසේ කිව්වා. ඒක එහෙම වුණත්, නොවුණත් අපි බොහෝ දෙනෙක් අද මෙතැනට ඇවිල්ල ඉන්නෙ ඔහුගේ පොත් කියවලා”

මේ ගැන අදහස් දක්වන චන්දන මෙන්ඩිස් ලේඛකයා පවසන්නේ ඔහුගේ සාහිත්‍ය හෝ සමාජ ජීවිතය සම්බන්ධයෙන් ඩීමන් ආනන්දගේ පොත් කිසිසේත් ම බලපෑමක් නොකළ බවකි.

‘මගේ සාහිත්‍ය ජීවිතයට ඒ කාලෙ තිබුණු මාරක කතාවලින් ලොකු බලපෑමක් වුණේ නෑ. බලපෑමක් වෙන්න තරම් සාහිත්‍යයක් ගොඩනැඟිලා තිබුණෙත් නෑ. මට හිතෙන්නෙ ඒකෙන් එක්තරා හානියක් වුණා කියලයි‘

එමෙන්ම ඔහු පවසන්නේ අද කාලේ මහාචාර්යවරු පවා ඩීමන් ආනන්දගේ පොත් ගැන හොඳ කියන බව අසා තිබුණත් තමන්ගේ ගුරුවරු නම් කීවේ මේවා කියැවීමට නුසුදුසු පොත් බව ය.

‘මම අහල තියෙනවා දැන් කාලෙ ඉන්න මහාචාර්යවරු කියනවා ඩීමන් ආනන්දගේ භාෂාව හරි හොඳයි කියලා. ඉතා හොඳ නිවැරදි භාෂාවක් කියලයි කියන්නෙ.

අසභ්‍ය දේවල් නෑ කියලා මේ මහාචාර්යවරු කිවුවට ඒ කාලෙ ගුරුවරු කිවුවෙ මේවයේ අසභ්‍ය දේවල් තියෙනවා කියලා. ඒ නිසයි විරුද්ධ වුණේ. මවුපියො වුණත් කැමැති වුණේ නෑ මේ පොත් කියනවට‘

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විශ්වවිද්‍යාල මුල් කොට ගෙන පැවැති මේ නිර්දය විචාර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්දැකීම් ඇත්තෙකි. ඒ ගැන ඔහු අප හමුවේ මෙසේ පැවසී ය.

“ඩීමන් ආනන්ද එක රැයින් කතා පොතක් ලියලා ඉවර කරන හැටි මම ඇස් දෙකෙන් දැක්කේ ඩීමන් ආනන්ද එක්ක මම එක බෝඩිමේ හිටපු නිසා. ඔහු හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට බලලා ඇවිත් කතාව ලියලා පොත් පළ කළත් පාඨකයන්ගේ කියවීමේ රුචිය වැඩි දියුණු කළා. සාමාන්‍ය පෙළේ ලේඛකයකු හැටියට ඔහුව අගය කළ යුතුව තිබුණා. ඒත් පාට කණ්ණාඩි දාගෙන ඉන්න විචාරකයන් නිසාම ඔහුට නිසි ඇගයීමක් ලැබුණේ නැහැ.“

“ඔහු ලියලා තියෙනවා පොත් එක්දහස් ගණනක්. චිත්‍රපට බලලා චිත්‍රපටයේ තියෙන කතාව ඊළඟ දවසෙ ලියනවා කියලා තමයි සමහරු කිවුවෙ“ ඒ චන්දන මෙන්ඩිස් ලේඛකයාගේ අදහස ය.

ඩීමන් ආනන්දගේ මාරක කතා, රහස් පරීක්ෂක කතා කලාවට සමාජයෙන් කොතරම් විචාර එල්ල වුව ද ඔහු මඟ යමින් මාරක කතා රචනයට එක්වූ ලේඛක පිරිසක් ද සිටියහ. නාරාහේන්පිට චන්ද්‍රසේන ද සිල්වා, වැළිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, අම්බලන්ගොඩ චන්ද්‍රසේන ද සිල්වා, ඩබ්ල්යු. පී. වැල්ලවත්ත ඉන් කීපදෙනෙකි. මේ පිළිබඳව ද මහාචාර්ය පල්ලියගුරු සිය අදහස දැක්වූයේ ය.

සිංහල සාහිත්‍යට සිදු වූ බලපෑම ගැන සිය අදහස දැක්වූ චන්දන මෙන්ඩිස් පවසන්නේ ඊට වඩා බොහෝ සේවයක් කළ සාහිත්‍යකරුවන් එකල සිටි බව ය.

‘දේශීය සාහිත්‍යය වර්ධනයට බලපෑමක් වුණේ නෑ ඇත්තට ම. සිංහල සාහිත්‍යට වටිනා මෙහෙවරක් කළ අය තමයි, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා, ටී. බී. ඉලංගරත්න වගේ අය. මේ අතරට ඩීමන් ආනන්දගෙ පොත් දාන්නෙ නෑ. මොකද ඒක සමාන කරන්න බෑ. හැමෝම හෙළා දකිනවා. ඇත්තටම ඩබ්ලිව්. ඒ. සිල්වාගේ පොත්වල ගොඩක් රහස් පරීක්ෂක ගතියක් තිබුණා‘

ඩීමන් ආනන්දගේ පොත් කෙරෙහි වැඩිහිටියන්ගෙන් බලවත් විරෝධයක් එල්ල වූ බව අපි අසා ඇත්තෙමු. මාරක කතා, රහස් පරීක්ෂක කතා රචනා කළ ඩීමන් ආනන්ද දරුවන්ගේ මනස විකෘති කරන, භාෂාව විනාශ කරන පොත් රචනා කරන අ‌ෙයකු ලෙස සලකමින් වැඩිහිටියෝ අවඥාවෙන් බැහැර කළහ.

ඇතැම් මවුපියෝ දරුවන් ළඟ තිබූ ඩීමන් ආනන්දගේ පොත් ගිනි තැබූහ. එහෙත් මේවා අවඥාවෙන් හෝ අඩු තක්සේරුවකින් බැහැර කිරීම කිසිසේත්ම නොකළ යුත්තක් බැව් මහාචාර්ය පල්ලියගුරුගේ අදහසයි. ‘ඩීමන් ආනන්දගේ පොත් දකින්නේ අපේ සාහිත්‍යයේ ඇති වූ හිඩැසක් පුරවන්නට ආ පොත් ප්‍රවර්ගයක්. පියදාස සිරිසේන, ඩබ්ල්යු. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහගේ පොත් ඒ කාලේ සමාජයේ පිළිගැනීමට ලක් වූ පොත්. අපේ යොවුන් පරපුරට සන්ත්‍රාසය, දෙගිඩියාව, ඇතුළත් වික්‍රමාන්විත නවකතා කියවීමට අවශ්‍යව තිබුණා. ඒත් ඒ කාලේ තිබූ නවකතාවලින් ඒ අවශ්‍යතාව පිරිමැහුණේ නෑ.

ලංකාවේ මුල්ම සාමාන්‍ය ලේඛකයන්ගෙන් එහාට ගිහින් බැලුවම පියදාස සිරිසේන මේ ශානරය පටන් ගත්තානෙ.

පියදාස සිරිසේන උන්නැහැගෙ නවකතා කිහිපයක් තියෙනවා, රහස් පරීක්ෂක ගණයේ. කෝන්ගොඩ වික්‍රමපාල තමයි කතානායකයා. ඒත් ඩීමන් ආනන්ද කියන්නෙ වෙනම ලේඛකයෙක්.

මේ පිළිබඳ අදහස් දක්වන චන්දන මෙන්ඩිස් ලේඛකයා පවසන්නේ රහස් පරීක්ෂක ගණයේ නවකතා ලියූ අනෙක් ලේඛකයන්ට වඩා ඩීමන් ආනන්දගේ කෘති අවර ගණයේ ඒවා වූ බවෙකි.

‘කෝන්ගොඩ වික්‍රමපාලගේ වික්‍රමය කොටස් 7ක් තියෙනවා. මේවා ඩීමන් ආනන්දට වඩා වෙනස් ශෛලියකින් ලියැවුණු ඒවා. පියදාස සිරිසේන

කෝන්ගොඩ වික්‍රමපාලගේ වික්‍රමය ලියලා තිබුණෙ ෂර්ලොක් හෝම්ස් පදනම් කරගෙන.

ඒ කතා කියවලා තමයි කෝන්ගොඩ වික්‍රමපාල කියන චරිතය නිර්මාණය කරලා තියෙන්නෙ. ඩබ්ල්යු. ඒ. සිල්වාගෙ ජූලි 7 වගේ කතාත් එහෙමයි. ඒවයි ඩීමන් ආනන්දගෙ පොතුයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා‘

පාට පාට කණ්ණාඩි දාගෙන උන්න විචාරකයන් නිසා ඔහුට නිසි ඇගයීමක් ලැබුණේ නැහැ’ මහාචාර්ය පල්ලියගුරු පවසන්නේ විචාරාත්මක ව ය.

එමෙන්ම 80 දශකය වන විට අසභ්‍ය පොතපත වෙ‌ෙළඳපොළට පැමිණීමෙන් ඩීමන් ආනන්දගේ පොත් කෙරෙහි තිබූ පාඨක ඉල්ලුම අඩු වූ බවත් මහාචාර්ය පල්ලියගුරු පවසයි.

ස්වකීය අතිශය ජනප්‍රියත්වයට පත් වූ ෂර්ලොක් හෝම්ස් කෘති පරිවර්තනය කිරීමට ලාංකේය මාරක කතා සාහිත්‍යයෙන් බලපෑමක් එල්ල වූයේද යන්නට චන්දන මෙන්ඩිස් ලේඛකයා පැවසුවේ මෙවැන්නකි.

‘මට ෂර්ලොක් හෝම්ස් ලියන්න ලාංකේය මාරක කතා සාහිත්‍යයෙන් නම් බලපෑමක් වුණේ නෑ. ඒවායේ අසභ්‍ය දේවල් නෑ. ආතර් කොනන් ඩොයිල් රහස් පරීක්ෂක කතා ලිවුවට ළමයින්ට බලපෑමක් වෙන දේවල් ලිවුවෙ නෑ‘

රේස් කොළය පමණක් කියවන්නෙකු සමාජ විරෝධියකු නොවී කියවන්නෙක් කිරීමත් සංසන්දනාත්මක විග්‍රහයේදී වටිනාකමකි.

එහෙත් එකල සමාජයෙන් එල්ල වූ විරෝධයත් නොතකා හැරිය නොහැක්කකි.

කෙසේ වෙතත් මාරක කතා සාහිත්‍යයක් නොතිබිණි යැයි එය මඟ හැර යෑමට නම් ඉඩක් නැති බව පැහැදිලි ය. එයින් සිදු වූ බලපෑම එකිනෙකාගේ කියැවීමේ පරිමාණය අනුව සිදු වන්නට ඇත.

Comments