අහිංසක වින්දිතයන්ගේ කතාව ‘ප්‍රාණ’ | සිළුමිණ

අහිංසක වින්දිතයන්ගේ කතාව ‘ප්‍රාණ’

චිත්‍රපටය ඇතුළේ  මම  උත්සාහ කළේ අන්තවාදයකට නොයා සියල්ලට පිටින්  ඉඳගෙන  මේ කතාව කියන්න

 

අධ්‍යක්ෂ සංජය නිර්මාල්

 

ඔබට මතක නම් සමාරා, රෝස කැලේ, ජූලි හතයි, ස්වර යන චිත්‍රපට. එම සිනමාපට අධ්‍යක්ෂණය කළ සංජය නිර්මාල්ගේ නවතම සිනමා නිර්මාණය වන Seeds හෙවත් ”ප්‍රාණ”. මෙය 1544 දී සිදු වූ මහා කිතුනු සංහාරයත් 1560 දී සිදු වූ ඒ සංහාරයටම අදාළ සිද්ධි දාමයත් පාදක වන සැබෑ කතා පුවත ගෙන ගොඩනැඟු‍ණකි.

 

“ප්‍රාණ” තිර රචනය හා අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ෙග් වන අතර, ස්ටයිනර් ඇඩම්ස්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද බුවනෙක රණවකගේ අංග රචනයෙන් ද ශාන් අල්විස්ගේ සංස්කරණයෙන් ද නදීක ගුරුගේ ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද ධම්මික හේවාදුවත්තගේ කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වී තිබෙනවා.

Seeds හෙවත් ”ප්‍රාණ” ජානක පෙරේරාගේ නිෂ්පාදනයෙන් එළැඹෙන ඔක්තෝබර් 07 වැනිදා සිට සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන නිසාම පසුගිය දිනෙක චිත්‍රපටය ගැන කතා කරන්න ට චිත්‍රපටයේ කණ්ඩායම හමුවෙන්න රසඳුනට ආරාධනාවක් ලැබිලා තිබුණා.

මුලින්ම අපි කතා බහ කළේ Seeds හෙවත් ”ප්‍රාණ” තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ සංජය නිර්මාල් සමඟ. ඔහු ප්‍රාණ ගැන කිව්වේ මෙවැන්නක්

“මම කළ ස්වර චිත්‍රපටය තවම පෙන්වන්න බැරිව තියෙනවා. රාවණා චිත්‍රපටය පටන් අරගෙන සෑහෙන්න කරලා තියෙද්දි මැදදි නතර වුණා. මේ රට ෆිල්ම් හදන්න ලේසි රටක් නෙවෙයි. ඔය අතරතුර තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඒ පාස්කු ප්‍රහාරය එක්ක ඇරෙන දොරක් තමයි මේ චිත්‍රපටයට බලපාන්නේ. ප්‍රාණ කතාන්දරය තුළ තියෙන්නේ 1544 දී පළවෙනි සංකිලි පෘතුග්‍රීසි ආක්‍රමණයට බියෙන් දේශපාලනික න්‍යාය පත්‍රවලට බියෙන් ඒ අයගේ බල ස්ථාවරය සඳහා කිතුනු ආගම වැලඳ ගත් අය 700ක් මරණවා. පෘතුගීසි ඒ බල අරගලයේම අනිත් පැත්තේ යාපනය අල්ලගන්න ඒ අය ගහන දේශපාලන න්‍යාය පත්‍රය තුළ ඒ ගොල්ලෝ වගකියන්න ඕනේ මේ මරණවලට. මේ දේශපාලනය කියලා හදාගෙන තියෙන බල අරගලය අස්සේ තියෙන කුරිරු අසාධාරණ ස්වරූපය ඇතුළට ලෝකයේ නොවන අධ්‍යාත්මිකත්වය පාවිච්චි කරන්න බැහැ. මිනිසුන්ව මරලා දාලා ඉතිහාස කතාවක් ලියලා ඉතිහාස කතා අස්සේ වහන්න බෑ. පාස්කු ප්‍රහාරය එහෙම වැහෙන්න ගියා. මන්නාරමේ මේ කතාව අවුරුදු ගාණක් තිස්සේ වැහිලා තිබුණා. රාජ්‍ය බලපෑම් මත හැංගුණා. යාපනයේ උසස් කුල කියාගෙන ඉන්න මිනිස්සු පහත් කුලවල මේ මරණයන් හැංගුව. අන්තවාදී කුල තත්වය නිසාම දෙමළ සමාජය තුළ මේක හැංගුව. මේ සිද්ධිය ප්‍රසිද්ධ වී ඝාතනය වූ අඩුකුලේ ජනතාව ප්‍රාණ පරිත්‍යාග වරයට එසවුණොත් අර උසස් කුලේ ජනතාවට සිදුවෙනවා මේ අඩු කුලේ ජනතාවට වැඳුම් පිදුම් කරන්න. ඒ එක්කම සිංහල ජනතාව මේක ගන්නෙත් නෑ, සංස්කෘතිය, භාෂාව, මගේ රට, මගේ නම ගම මගේ පෙළපත කියන්නෙම අන්තවාදයක්. මේ අන්තවාදය ඇතුළේ පවතින්නේ නැහැ සැබෑ අධ්‍යාත්මිකත්වයක්. ඒකේ තියෙනවා බීජමය ගුණයක්. ඒ ඇත්ත වහන හැම තැනකදීම ඒක පළවෙනවා. ඒ නිසා පොඩි කාලයකට මේක හංගන්න පුළුවන්. හැබැයි විශ්වය තුළ මේ අන්තවාදය හංගන්න බැහැ ඒක නැවත නැවතත් වෙනවා. මේ කතාව ආයේ මතුවෙනවා. එහෙම බලධාරීන්ට ඕනේ විදියට අපිට ඉතිහාසය ලියන්න බැහැ. එහෙම ලියපු ඉතිහාසයක්නේ අපිට තියෙන්නේ. ඉතින් මට අවශ්‍ය වුණා මේ කතාව ඉතිහාසයේ යට යන්නට ඉඩනොහැර මේ අහිංසක වින්දිතයන්ගේ කතාව උඩට ගේන්න. ඒ කම්පනයෙන් තමයි ප්‍රාණ බිහි වෙන්නෙ.“

මෙවැනි ඉතිහාසගත කතාවක් සිනමාවට නැගීම පහසු නැහැ. අභියෝග රැසකට මුහුණ දෙන්න ඇති...

මේකෙ තිබ්බ එකම අභියෝගය මේ කතාව අන්තවාදයෙන් බේරා ගන්න එක. මේකට මට සිංහලයෙක් විදියට, බෞද්ධයෙක් විදියට හෝ කතෝලිකයෙක් විදියට බහින්න බැහැ. මේකට මට දේශ සීමා ප්‍රශ්න ඔළුවේ තියාගෙන බහින්න බැහැ. මේකට මට ජාතිකත්ව අතර තියෙන වෛරයන් හිතේ තියාගෙන හමේ පාට හිතේ තියාගෙන භාෂාව නිජබිම් එක්ක බහින්න බැහැ. ඒ නිසා මේ චිත්‍රපටය ඇතුළේ මම උත්සහ කළේ අන්තවාදයකට නොයා සියල්ලට පිටින් ඉඳගෙන මේ කතාව කියන්න.“

ප්‍රාණට ජිවය දෙන්නේ ට්‍රේ හික්ස්, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නීටා ප්‍රනාන්දු, නිරංජනී ෂන්මුගරාජා, කින්ග් රත්නම්, ස්ටීවන් මාර්ක් ලෝඞ්සික්, රොබට් සිගේරා, පීටර් සැටුනිටස්, කල්ප මුණසිංහ, දිනේෂ් ද සිල්වා, පහන්දි තාරකා, කපිල් ගල්පිහිල්ල, චන්ද්‍රා හසන්, සෙනේෂ් දිසානායක බණ්ඩාර, වගීෂා සල්ගාදු, මොහාන් ශර්මා, ජී.ඒ.ෂාහිස්, විදුර ලක්තිලක, සහයන් සෙනෙවිරත්න, ජෝන් බොස්කො, මයිකල් කොලීන් යන දෙස් විදෙස් ශිල්පීන් රැසක්.

අද දවසේ දී අපිට මුණගැසුණා මේ චිත්‍රපටයේ චරිත කිහිපයක්, ඒ ලිසානෝ පියතුමාගේ චරිතයට ජීවය දෙන ශ්‍යාම් ප්‍රනාන්දු, නාගනා චරිතය රඟපෑ කින්ග් රත්නම් සහ ජෝන් චරිතයට ජීවය දුන් ස්ටීවන් මාර්ක් ලෝඩ්සික්. ඒ අය ප්‍රාණ ගැන කියන්නේ මෙවැන්නක්

ශ්‍යාම් ප්‍රනාන්දු

මගේ භූමිකාව වෙන්නේ, ඉන්දියාවේ සිට කිතුනු දහමේ පණිවිඩය අරගෙන ලංකාවට මුල් වකවානුවේම ආව. උතුරු මන්නාරම ප්‍රදේශයේ කිස්තු දහම ගැන දේශනා කළ පියතුමෙක් වන ෆාදර් ලිසානෝගේ චරිතය. මේකෙ පසුබිම වෙන්නේ ප්‍රැන්සිස් සේවියර් උතුමාණන්ගේ ආශ්‍රයේ හිටපු චරිතයක් විදියට තමයි ෆාදර් ලිසානෝගේ චරිතය ලියවෙන්නෙ. එතකොට ෆාදර් ප්‍රැන්සිස් සේවියර්ගේ අනුග්‍රහයෙන් සහ අනුදැනුම ඇතුව තමයි ෆාදර් ලිසානෝ ලංකාවට එවන්නේ. එහෙම උතුරු මන්නාරම් වෙරළින් ඇවිත් කිතිනු දහම දේශනා කරපු චරිතයක්.

කින්ග් රත්නම්

මට ආරාධනාව එන්නේ මගේ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා වන ප්‍රියන්තගෙන්. ඔහු තමයි යෝජනා කරලා තියෙන්නේ මේ චරිතයට කින්ග්ව ගමු කියලා. Seeds හෙවත් ”ප්‍රාණ” හි මගේ භූමිකාව වෙන්නේ නාගනා කියන සංකිලියන් රජතුමාගේ දකුණු අත මෙන් උපදේශක වගේ ඉන්න කෙනෙක්. එයා තමයි සංකිලියන්ගේ සියලු කුමන්ත්‍රණ කරන්නේ. ඔහු අති දක්ෂ දුෂ්ටයෙක්. මම ඉතාම සතුටු වෙනවා මේ චිත්‍රපටයට දායක වෙන්න ලැබීම ගැන. මොකද මේ වගේ සමූල ඝාතන ඉතිහාසය තුළ පවා සිදුවෙලා තියෙනවා. ඒ එක්කම මෙය කරන්න සංජය පෙලඹිම සිදු වුණේ පාස්කු ප්‍රහාරය සිදු වීමත් එක්ක. ඒ මැරුණ අය නිකම් මැරුණා නෙවෙයි කවදා හරි මේ රටට යුක්තිය වෙනුවෙන් බිහිවෙනවා කියන එකයි සංජයට කියන්න ඕනේ වුණේ. චිත්‍රපටය නිර්මාණය වුණු විදිය ගැන කියනවා නම් ජාත්‍යන්තර මට්ටමේ කතා බහක් ඇතිවෙන නිර්මාණයක් බවට පත්වෙලා තියෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

ස්ටීවන් මාර්ක් ලෝඞ්සික්

මම දැන් වසර 10ක් තිස්සේ ලංකාවේ ඉන්නේ. මගේ බිරිය ශ්‍රී ලංකාවේ කෙනෙක්. මගේ දරුවන් පවා පාසැල් යන්නේ ලංකාවේ. මම මීට පෙර ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කළ හේලි සහ දාම් වැනි ටෙලි නිර්මාණවල රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබුණු පළමු අවස්ථාව. මට මේ චරිතයට කතා කළාම මම පුදුමයට පත් වුණා. ඒ එක්කම මේ ලැබුණු අවස්ථාව මම බොහොම කැමත්තෙන් භාර ගත්තා. මගේ චරිතය ජෝන්. එය මම කරපු මගේ ජිවිතේ විශේෂ චරිතයක්. ඒ එක්කම ඩිරෙක්ටර් සංජය ඇතුළු හැමෝම ඉතාම සුහදශීලි දක්ෂ කණ්ඩායමක්. ඒ අය එක්ක මට සිනමා නිර්මාණයක වැඩ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

 අනුෂා රණසිංහ

Comments