අහිංසකාවී ඔබ වසන්තයක් වී ආදරයෙන් ජීවිතයම පාට කරාවී | සිළුමිණ

අහිංසකාවී ඔබ වසන්තයක් වී ආදරයෙන් ජීවිතයම පාට කරාවී

හිත ගිය තැන මාලිගාව‘ ඉස්සර මිනිස්සු එහෙම කියන්න ඇත්තේ නිකම්ම නොවෙයි කියලා හිතෙන්නේ ඉතිහාසේ පටන් අපි දන්නා කියන ප්‍රේමකතා පිළිබඳ විමසා බලද්දියි. හැම ආදර කතාවකම පෙම්වතිය සුරංගනාවියක් වගේ ලස්සන නොවෙන්න පූළුවන්. ඒත් ඔහුට ඇය පෙනෙන්නේ සුරංගනාවියක් වගෙයි. ඒකට හේතුව හිත. රුව කෙසේ වෙතත් ගතිගුණ ලස්සන තරුණියන්ට බැඳෙන ආදර හිත් ගොඩක් ලස්සනයි.

ඇය මට හමු වුණේ උසස් පෙළ පන්තියේදී. ඇයත් මමත් කළේ එකම විෂයන්. නුගේගොඩ පන්තියේදී තමයි අපි මුලින්ම දැන අඳුන ගත්තේ. ජීවිතේ ගැන මහා ලොකු අවබෝධයක් ඒකාලේ අපට තිබුණේ නැහැ. නිකම්ම නිකම් යාළුකම් විතරක් තිබුණ අපේ හිත්වල ආදරයක් ඇති වුණේ උසස් පෙළ පන්තියෙන් සමුගෙන අවුරුදු තුනකට විතර පස්සේ. එයාද මමද ඉස්සර වු‍ෙණ් කියන්න මට මතක නැහැ. එහෙත් නුවරඑළියේ පදිංචි වෙලා හිටපු එයා නුගේගොඩ නැන්දලාගේ ගෙදර ඉදන් තමයි ඉස්කෝලේ ගියේ. අපේ යාළුවෝ එකතු වෙලා නුවරඑළියේ ට්‍රිප් එකක් ගියා. ඒ ගිය ගමනෙදි තමයි එයාව මට ආයෙත් හමු වුණේ. එයා හිටියේ රෝස මල් විකුණන්න තිබුණ කඩයක් ගාව. ඇත්තම කිව්වොත් එයත් රෝස මලක් වගෙයි. එදා අපේ යාළුකම ආයෙත් අලුත් වුණා. ඒ යාළුකම තමයි ආදරයකට පෙරළුණේ. ඒ අතීතය හරිම සුන්දරයි. ඒ දවස්වල දවස දවස ගත වෙලා ගියේ එයා ගැන දුටුව හීනවලින්. ඒත් අපේ හිත් අපිටවත් තේරෙන්නේ නැති විදිහට ආදරයෙන් බැඳුණා. ආදරේ සුන්දරයි කියලා දැනුණේ එතකොට. ගෙවල්වලට හොරෙන් කරගෙන ගිය අපේ ආදරේ එයාගේ ලොකු අක්කා තමයි මුලින්ම දැනගත්තේ. අක්කා විවාහ වෙලා හිටියේ නැහැ. මොනවා වුණාද දන්නේ නැහැ අදටත්. අපේ ආදරේට ඒ ගෙදරින් කැමැත්ත ලැබුණේ නැහැ. මොනවා කරන්නද කියලා අපි දෙන්නාටම තේරුණේ නැහැ. ‘මෙහෙම ඉමු. කවදා හරි වෙන දෙයක් වෙයිනේ.‘ මමත් ඇයත් අවසානයට ආවේ ඒ වගේ තීරණයකට.

දවස දවස ගෙවිලා ගියා. අපි අවුරුදු පහළොවක් ආදරේ කළා. ඇය කොළඹ රස්සාවකට ආවා. ආයෙමත් නැන්දාගේ ගෙදර නතර වුණා. මම මගේ ගෙදර. “පුතේ බඳින්නේ නැද්ද“ අම්මා හැමදාම අහනවා. ගෙදරට කියලා තේරුමක් නැහැ. ඒ නිසා මම අම්මට කිව්වේ මම විවාහ වෙන්නේ නැහැ කියලා. අම්මයි තාත්තයි අක්කයි මට කවදාවත් කරදර කළේ නැහැ. ඒත් ඇයට සිද්ධ වුණා අන්තිමේදි එයාගේ ගෙදර අයට අවනත වෙන්න. එයා විවාහ වුණා.

එ්ත් මගෙ හිතේ ඒ ආදරේ තවමත් එහෙමමයි. හිතුණාම චිත්‍රපටයක් බලන්න ගියා, එක්කෝ කොහේ හරි ඇවිදින්න ගිය ඇය මගෙන් දුර ඈතටම ගියා. ඒත් ඒ මතකයන් මේ මොහොතෙත් තවමත් මා ළඟ. ඇයට වෛර කරන්න මට හිතක් නැහැ. ඇගේ ආදරය තවමත් මා එක්ක. හිතන්න එපා මට පිස්සු කියලා. මම මගේ රස්සාව කරගෙන, මගේ පවුලේ අය එක්ක බොහෝම සතුටින් ඉන්න කෙනෙක්. විවාහ නොවුණට මට දුකක් නැහැ. මගෙ හිත තවමත් තියෙන්නේ අතීතයේ මා ළඟ උන්නු ඇය සමඟ.“ කඩවසම් පෙනුමැති මිතුරා පවසන්නේ හිනැහෙමිනි.

මිනිස්සුන්ට මෙහෙමත් ඉන්න පුළුවන්දැයි සිතුණේ ඔහු ගැන නැවත නැවත සිතද්දිය. ඒ සිතුවිල්ල අවසානයේ හිතට නැඟුණේ මේ පද පෙළයි.

“අහිංසකාවී ඔබ වසන්තයක් වී 
ආදරයෙන් ජීවිතයම පාට කරාවී 
වදන් බෙදාදී මගෙ සවන් පිනාවී 
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී“

තමන්ගේ වුණත් නොවුණත් දිවියට පණක් දෙන ආදරය අපට බොහෝ තැන්වලදි හමුවේ. එවන් වු ආදරයක් ගැන කියැවෙන අද පරම්පරාවේ සොඳුරුම ගීයකි මේ. ගීතය ගයන්නේ ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ යි.

“‍ෙළංගතුකමින් හුරු හිත වෙත ඇතුළු වුණු

ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු....“ ගෙවුණ කාලයේ දවසට දෙතුන් සැරයක් ගුවන් විදුලි නාලිකා වලින් ඇසුන අදටත් නිතර ම ඇසෙන, යු ටියුබයෙන් බැලිය හැකි, ඇසිය හැකි මේ ගීතය පිළිබඳ යමක් ලියන්න හිතුණා. ගීතය ගයන්නේ ජනප්‍රිය ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ. ඒ පද ගී පද රචක සජිත්. පී. චතුරංග ගේ. සංගීතය කපිල කුගවේල්ගේ.

මේ අපූරු ගීතය පිළිබඳ ගී පද රචක සජිත්. පී. චතුරංග පවසන්නේ මෙවැනි කතාවක්.

“ මම මේ වන විට ගීත දහසකට වැඩි ගණනක් ලියා තිබෙනවා. ඒ ලියූ ගී අතරින් මේ ගීතය මට විශේෂයි.

දවසක් මට රාජ් කිලිල්ලියප්පලම් අයියා මේ මේලඩිය දුන්නා මල්ලි මේකට වචන ටිකක් ලියලා දෙන්න කියලා. ඔහු මේ මෙලඩියට දෙමළ වචන ටිකක් කියලා තිබුණා. ඒක අහලා තමයි මම මේ වචන ටික ලිව්වේ. මාස තුන් විතර ගියා ලියන්න. රාජ් අයියා පද ටික බලලා කිව්වා මේක අපි දිමංකට දෙමු කියලා. දිමංක බොහෝම කැමැත්තෙන් එ්ක භාරගත්තා. රසිකයෝ ආදරයෙන් ගීතය භාරගත්තා. ටික්ටොක් හැදුණා. ඇත්තම කිව්වොත් මගේ පද වලට කපිල කුගවේල්ගේ සංගීතය හා දිමංක වෙල්ලාලගේ හඬ උපරිම සාධාරණය ඉටු කළා කියලා මම විශ්වාස කරනවා.“ 

ළෙංගතුකමින් හුරු හිත වෙත ඇතුළු වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බදු රනින් ඔප දැමූ
පොළොවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුණේ තොටිල්ලකින් නළවන සේමා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මල් කූඩ අතදරා පින්තූර ජවනිකා
රඟන්න වේදිකාව ගින්දරේ හොවා
ළා රෝස යාය පීරලා
රූ වාසනාව කැන්දලා 

මංතීරු පැටලෙනා පිංතාරු ප්‍රහේලිකා
අගේට තෝරගන්න එන්න පේවෙලා
මා හාදුවෙන්ම දෝවනා
ඒ කාරණාව තේරුණා

ගායනය - දිමංක වෙල්ලාලගේ පද රචනය - සජිත්. පී. චතුරංග සංගීතය - කපිල කුගවේල්

Comments