උත්තම ගණයේ ගුරු තරුවක සමුගැන්ම | සිළුමිණ

උත්තම ගණයේ ගුරු තරුවක සමුගැන්ම

අභාවප්‍රාප්ත සඳදැස් කෝපරහේවා ශූරින් ගේ දේහයට අවසන් ගෞරව දක්වන පවුලේ දූදරුවෝ. වමේ සිට කෞෂල්‍යා පහළවිතාන (ලේලිය), පංචාලි කෝපරහේවා (ලේලිය) සනත් කෝපරහේවා (බාලපුතු) සඳගෝමී කෝපරහේවා (වැඩිමහල් පුතු) මුණුපුරු දමිත හා මිනිපිරිය සාවිත්‍රී

හෙළ හවුලේ දිවමන්ව සිටි ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියා ශතවර්ෂයකට වසරක් තිබියදී ජීවිත තොටුපළින් සමුගත්තේය. කීර්තිමත් ගුරුවරයකු වූ ඔහු කොතරම් දක්ෂයෙකුවී ද යත් ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ආර්. එස්. ද සේරම් පියතුමන් ඔහුට උපාධිධාරි ගුරුවරුන්ගේ වැටුපම උපාධියක් නැති ඔහුට ගෙවීය. ඒ ඔහුගේ දැනුම හා ඉගැන්වීමේ දක්ෂතාව සලකා ය.

“ගුරුවරයා යනු උත්තම පුරුෂයකු” යන දුර්ලභ කියමන සනාථ කළ ඔහු - සඳදස් කෝපරහේවා ය. වෙනත් වචන වලින් කීවොත් හෙළ බසට, සිත්තම් කලාවට නව පණක් දුන් මහා වියතා ය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා ගේ දයාබර පියාණන් ය.

සඳදස් කෝපරහේවා වියතාණන් සිංහල, ඉංග්‍රීසි පාලි සංස්කෘත භාෂාවන්ගේ කෙළ පැමිණි සිය ධර්මඥානය විදහා දැක්වෙන කෘතියක් ලෙස දෙවන වීදාගම මෛත්‍රෙය හිමිපාණන්ගේ ‘දහම් ගැටමාලය’ හෙළි පෙහෙළි කරමින් “දහම් ගැටමාලය විවරණය” සංස්කරණය කළ අතර එම කෘතිය ඉංග්‍රීසි පරිවර්තනයක් කළේය. විද්‍යාලයේ සිංහල, චිත්‍ර කලාව, බුදුදහම ඉගෙන්වීමෙන් පමණක් සෑහීමකට පත් නොවූ කෝපරහේවා වියතා ගුරු තරුවක්ම විය. ආර්.එච්. විලින්ස්කිගේ A Miniature History of European Art කෘතිය “යුරෝපා කලාවේ ලුහුඬු ඉතිහාසයේ සිංහල පරිවර්තනය “යුරෝපා කලාවේ ලුහුඬු ඉතිහාසය” කෘතිය 1959 වසරේ පළ කළේය.

1923 ජනවාරි 23 වෙනිදා මාතර පඹුරන උපත ලැබූ චන්ද්‍රදාස කෝපරහේවාණන්ගේ පියාණන්ගේ පියා වූයේ තංගල්ලේ විසූ චාල්ස් විලියම් කෝපරහේවා වූ අතර මව වූයේ ලීලා අභයගුණරත්න ය. ඇය ‘සිළුමිණ’ පත්‍රයේ ප්‍රථම විශේෂාංග කතුවරයා වූ ද “දිනමිණ වෙසක් කලාපය” සංස්කාරක චාල්ස් අභයගුණවර්ධනයන්ග් සොහොයුරියයි. “සිළුමිණ සීයා” නමින් ලිපි ලියූ ඔහු මෙත්ත්‍යෙය හිමි නමින් බම්බලපිටියේ වජිරාරාමයේදී මහණ විය.

මාතර පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලයේ මූලික අධ්‍යාපනයත් මාතර ශාන්ත තෝමස් විද්‍යලයෙන් ද්විතිය අධ්‍යාපනයත් ලැබූ චන්ද්‍රදාසයෝ 1940 දී පමණ මාතරදී කුමාරතුංග පඬිවරයාගේ දෙසුමක් අසා එයට ආසක්ත වී හෙළ හවුලේ මඟ ගියෝය. ඒ අතීත කතාව අපට සිහිපත් කළේ පුතණුවන් මහැදුරු සඳගෝමිය.

“මාතර දී තාත්තා ඇසුරු කළ අය බොහෝ දෙනෙකු අද අප අතර නැහැ. ආර්. පල්ලේවෙල, කු. බේ. ජයසූරිය, අමරසිරි ගුණවඩු, දි. වී. රිචඩ් ද සිල්වා, විනී විතාරණ යන වියතුන් ගැන රසවත් තොරතුරු තාත්තා ගෙදරදි කතා කරනවා. තාත්තාගේ මුල් නම වෙනස් කළේ කුමාරතුංග පඬිවරයා. තාත්තාගේ (චන්ද්‍ර - දාස) “සඳ - දස්” යනුවෙන් වෙනස් කළා. එතැන් සිට සඳදස් කෝපරහේවා වූ තාත්තා ඉංග්‍රීසියෙන් ලියද්දී c. coperahewa කියල ලිව්වා. ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවඩු, වෙල්ලා ජයමහ, අරිසෙන් අහුබුදු, සුනිල් සාන්ත, අලව්ඉසි සැබිහෙළ, ගුණපාල සේනාධීර, අනඳපිය කුඩාතිහි, ගාමිණී තිලකවර්ධන වැනි හෙළ හවුලට සම්බන්ධ වියතුන් ඇසුරු කළා.”

සඳ දස් කෝපරහේවා සූරින් ගුරු වෘත්තිය ආරම්භ කරන්නේ මාතර වෙලේගොඩ සුදර්ශන විද්‍යාලයෙනි. 1951 වසරේ දී සාන්ත තෝමස් විද්‍යාලයට බැඳීමට අවස්ථාව ලැබෙන්නේ එහි ම ගුරුවරයකු වූ පින්තු ජයවර්ධන මාර්ගයෙනි. ඉංග්‍රීසි මාධ්‍යය රජ කළ ඒ විද්‍යාලයේ විදුහල්පති සේරම් පියතුමා හෙළ හවුලට සම්බන්ධ වෙ.දො. පින්තු ජයව, විනී විතාරණ, අරිසෙන් අහුබුදු, සමරකෝන් වජිරසේන, සමරකෝන් ලියනගේ ජිනදස් වැනි පඬි ගුරුවරුන් පන්තිවල සිංහල චිත්‍ර ගුරුවර සඳ දස් කෝපරහේවා ද එකතු විය. එදා ඔහුගෙන් සිංහල හා චිත්‍ර ඉගෙනගත් සිසුන් අතර ගාමිණී ෆොන්සේකා (ප්‍රවීණ රංගන ශිල්පි) රංජිත් විජයවර්ධන (හිටපු ලේක්හවුස් අධිපති) ද පසු කලෙක මහාචාර්ය ජී.එල්. පීරිස් (අමාත්‍ය) ද වූහ. ගාමිණි එකල චිත්‍රවලට දක්ෂ සිංහල විෂයට දක්ෂ පාසලේ සිටි ශිෂ්‍යයා වීලු.

කෝපරහේවාණන්ගේ බිරිය ලීලා මහත්මාව ද ගුරු මාතාවකි. මේ ගැන පුත් සඳගෝමීන් අපට පැවසුවේ අප නොදන්නා ඉතිහාසයක් ආවර්ජනය කරමිනි.

“තාත්තාත්, අම්මාත් 1976 දී පමණ මාදිවෙල තලපත්පිටිය නිවාසයක් හදා ගෙන පදිංචියට ආවා. මාදිවෙල එකල ලස්සන පරිසරයක තියෙන ගමක්. කේතවතු බහුල පරිසරයට තාත්තා ආදරය කළා. එය කෝට්ටේ රජ දවස දිවෙල් ගමක් වූ නිසා “මහ - දිවෙල්” යන්න මාදිවෙල වූ බව මා දැන ගත්තේ තාත්තාගෙන්. ළමා කාලයේ මමත් මල්ලීත් (කොළඹ සොයිසා රෝහලේ වෛද්‍ය සනත් කෝපරහේවා) තාත්තාත් සමඟ උදෑසන අප පදිංචි නිවසේ සිට ගල්කිස්සට (සාන්ත තෝමස් විද්‍යාලයට) ගිය හැටි මට මතකයි. තාත්තා අප සමඟ බසයේ ඉදිරි අසුනක වාඩි වී පොතක් බලනවා. තාත්තා බොහෝවිට ගෙදරදී පොත් කියවනවා. නැත්නම් ලියනවා. තාත්තාට ලොකු පුස්තකාලයක් තිබුණා. පොත් ගුලේ වැඩි තැනක් ලැබුණේ කුමාරතුංග පඬිවරයා හා හෙළ හවුලේ අය ලියූ පොත්වලට. චිත්‍ර කලාව ගැන ලෝකයේ පළවූ හොඳම ඉංග්‍රීසි පොත්වලට පොතු ගුලේ විශේෂ තැනක් ලැබුණා. මම පොත් කියවන්න පුරුදු වුණේ තාත්තා නිසා.”

ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකුව සිටි (පසුව මහාචාර්ය) විනී විතාරණ කෝපරහේවාණන් ගැන මා සමඟ පවසා තිබුණේ පාසලේ සිටි ජනප්‍රියම ගුරුවරයා ඔහු කියාය. සිත් කාවදින සිංහලට මෙන්ම චිත්‍ර ඉගැන්වීමෙන් සිසුන්ගේ සිත් දිනා සිටි ඔහු වටා රොද බැඳ ගත් බව ය. සිසුන්ට ඔහු තම පුතුන් දෙදෙනාට සම සෙනෙහසක් පෑ බවය. වරක් තමාගේ සිත් බැඳි ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා (රංගවේදි) විසින් අඳින ලද ශ්‍රී වික්‍රමරාජසිංහ චිත්‍රය දුටු ඔහු කුඩා දරුවකු මෙන් සතුටු වී විදුහල්පතිතුමාටත්, ගුරු මණ්ඩලයටත් පන්තියේ ළමුන්ටත් පෙන්නුවේ ගාමිණීටත් වඩා ආඩම්බරයෙන් බව වරක් අරිසෙන් අහුබුදුවන් පෙන්වා ඇති බව අට කියා තිබුණි.

“සැබැවින්ම කෝපරහේවාණනි, ඔබ තරම් භාග්‍යවන්තයෙක් වෙන කෙනෙක් වෙද්ද? ගාමිණීට අනුප්‍රාණය දුන්නේ වෙන කවුරුන්දැයි අහුබුදුවන් පවසා ඇත්තේ තමාගේ ද හොඳම ගෝලයෙක් ගැන උදම් අනිමිනි.

ගාමිණීට කුමාරතුංගයන් හඳුන්වා දී හෙළ බස නිවැරදිව ලියන්න, කවි ගොතන්ට, ගී ලියන්නට අනුප්‍රාණය දුන්නේ කෝපරහේවාණන් හා අහුබුදුවන් ය.

කුඩා කාලයේ මිය ගිය තම පියා ගැ න ‘පිය වියෝව’ පැදි පොතක් ලියූ සඳ දස් කෝපරහේවාණන් තම මයිලනුවන් වූ බම්බලපිටියේ වජිරාරාමයෙහි වැඩ විසූ පඹුරණ මෛත්ත්‍යෙය හිමිපාණන් ගැන ගුණ සමරමින් “මෙතේ හිමි සමරව” ලියුවේය. සර් එඩ්වින් ආර්නෝල්ඩ් ගේ Light of Asia සිංහල පරිවර්තනය කළ ඔහු ‘තෙල්කටාන ගාථ’ සිංහලයට පරිවර්තනය කර ඇත. කෝපරහේවාණන්ගේ සමකාලීන මිතුරෙකු වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග තම සගයා ගැන මෙසේ කීවේ ය. තමා කෝපරහේවාණන් මුලින්ම හමු වී ඇත්තේ ජයන්ත වීරසේකර වියතාගේ අභායෙන් පසු පැවැත්වූ ගුණ සමරු රැස්වීමකදී බවය.

“ඒ කාලයේ අපි දෙදෙනාම නැවතී සිටියේ ගල්කිස්සේ ෆෙයාලයින් පාරේ භාෂා විශාරද අරිසෙන් අහුබුදුවන් පදිංචි යෝධ නිවසක. අපි එහි බෝඩිංකාරයෝ. එය සැබැවින්ම සරස්වතී මණ්ඩපයක්. වාද, විවාද, මෙතැනට වරින්වර එන යන සුනිල් සාන්ත, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (වෛද්‍ය ශිෂ්‍ය), මහාචාර්ය ඩග්ලස් අමරසේකර, කිත්සිරි කුමාරසිංහ, රැ. තෙන්නකෝන්, ලියනගේ ජිනදස්, පින්තු ජයවර්ධන, වෙල්ලාල ජයමහ, වසන්ත කුමාර, සෑම් ඩෙප් වැනි ඇසූ පිරූ තැන් ඇති පඬිවරු හා බාලයෝ සාහිත්‍ය වාදවලට කෝපරහේවාත් මාත් සම්බන්ධ වෙනවා. අපේ බුද්ධි මණ්ඩලය සුපෝෂණය වුණේ මේ සරස්වතී මණ්ඩපයෙන්. මම එතනදී දැක්ක දෙයක් තමයි කෝපරහේවාණන්ට තිබූ සංවේදී හදවත. ඔහු ඉක්මනට කම්පා වෙනවා. ඒ නිවසේ ඇතැම් විට උස් හඬින් ඇති වෙන වාද විවාද දෙස ඔහු බලා සිටියේ උපේක්ෂාවෙන්.”

ආචාර්ය විජේතුංග කියන ආකාරයට කෝපහේවාණන් හා අහුබුදුවන් අතර විශාල වෙනසක් තිබූ බවය. සිංහල හා ඉංග්‍රීසි පිළිබඳ විශාරදයකු වූ කෝපරහේවාණන් හැම විටම කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. අහුබුදුවන් ද ද්වි භාෂා උගතකු වුවද කතා කළේ ශුද්ධ සිංහලයෙන්; හුදු හෙළයෙන් බව ය.

පාසල් නිවාඩුවට කෝපරහෝවාණන් මාතර ගමට ගොස් ඇත්තේ ට්‍රන්ක් පෙට්ටියක පොත් පුරවාගෙනය. මේ වැඩය එදා දුටු ආචාර්ය විජේතුංග මේ වැඩේට හිනාවෙන කොට එතුමා කියා ඇත්තේ මෙසේලු.

“කොළඹ ඉඳලා මාතරට හෝ කතරගමට හෝ යන කොට ඕනෑ කෙනෙකුට කවියකු වන්න පුළුවන්.” එවිට විජේතුංගයෝ පවසා ඇත්තේ, “මම කොපමණ මාතර ගිහින් තියෙනවද? ඒත් මට කවියෙක් වෙන්න බැරි වුණා.”

මෙයින් පෙනෙන්නේ කෝපරහේවාණන් මාතරට කොතරම් පෙම් බැඳි බවක් ද?

“ඔහු මොන තරම් අප්‍රමාණ මිනිසෙකු ද? කියාය. වසරේ ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළේදි දිවිමන් සම්මානයෙන් ද පිදුම් ලැබූ හෙළ බසට, සිත්තම් කලාවට නව පණක් දුන් මේ වියතා සිය ජීවිතය වසර 100කට ළඟා වෙමින් සිටිය දී මිය යාම ඛේදයකි.

Comments