හිරු නැඟෙන වෙරළ ඉමේ අසිරිය | සිළුමිණ

හිරු නැඟෙන වෙරළ ඉමේ අසිරිය

ඈත සිතිජය රන්වන් පැහැතිය. හිරිගඩු පිපෙන සිසිල් සුළං දහරාවන්හි වෙළෙමින් රන්වන් ළා හිරු කිරණ වෙරළ තීරය සිප ගැන්මට මාන බලයි. මහ රැයේ මුහුදු ගිය ධීවරයන්ගේ යාත්‍රා කළු පැහැති තිත් ලෙසින් මුහුදු ගිය ධීවරයන්ගේ යාත්‍රා හනොපෙනී යමින් හිරු කිරණ අතර සැඟවෙයි. වෙරළ තීරය රැයක් පුරා එළිය කළ විදුලි පහන් කෙමෙන් නිවී යයි. තෙත බරිත වැලි තීරුව අතරින් බර අඩි තබමින් වෙරළ දිගේ සැහැල්ලුවෙන් පියමංකරද්දි දැනෙනුයේ සිසිල් ප්‍රීතිමත් හැඟීමකි. මේ වෙරළ තීරය මුතු ඇටයක් වන් දිවයිනේ සුන්දරම වෙරළ තීරයයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

 

රැයක් තිස්සේ සින්දු කියූ මාළුවෝ කල්ලඩි පාලම පාමුල සැඟවෙද්දී නැඟෙහිර මුහුදේ කල්ලඩි වෙරළට හිරු උදාවී අවසානය. “නැගෙනහිර පළාත, මඩකලපුව දිස්ත්‍රික්කය,මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය” වෙරළ තීරය පිළිබඳ විස්තර සහිත පුවරුවට දැන් හොඳින් හිරු එළිය වැටී තිබේ. කල්ලඩි වෙරළ තීරය වෙරළ රස විඳින්නන්ට මෙන් ම ධීවරයන්ට ද එක සේ වෙන් වූ වෙරළකි.

මෙහි උදෑසන කාලය බොහෝවිට ධීවරයන් වෙනුවෙනි. හිරු කෙමෙන් කෙමෙන් අහසේ මුඳුනට නගිද්දී තම කටයුතු හමාර කළ ධීවරයෝ වෙරළින් නික්මී හමාරය. හිමිදිරියේ සුන්දරත්වය සේම මද්දහනේ හිරුගේ ප්‍රචණ්ඩත්වය ද දැඩිය. වෙරළ තීරය එක් පසෙකින්වූ අලංකාර ෆයිනස් වන වගාවෙන් ආවරණ වන අතර වෙරළ තීරය දිගේ දිවෙන කස ගස්‌ පෙළ වෙරළ තීරයට අපූර්ව සුන්දරත්වයක්‌ මෙන්ම මද්දහනේ එහි ගැවසෙන්නන්ට සෙවණක් ද ගෙන එයි. ගිනි මද්දහනනේ ගිනියම් වැලි කැට සිනිඳු යටිපතුල් මත සියුම් වේදනාවක් ජනිත කරයි. එහිද යම් චමත්කාරයක් තිබුණත් වඩා සුවපහසු වන්නේ වෙරළ තීරයේ ෆයිනස් සෙවණේ වූ ලී පාලමක් මත දිගා වී මුහුදු සුළඟේ පහස විඳීමය. පළල් වෙරළ තිරයකින් සමන්විත කල්ලඩි වෙරළ තීරය සංචාරක කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහිතව සංවර්ධනය කරන ලද්දේ 2004 වසරේදී සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පසුවය.

සුනාමියෙන් මේ සුන්දර වෙරළ තීරයට ද හානි සිදුවූ අතර, පසුව සංචාරක පහසුකම් වර්ධනය කර සංචාරකයන් සඳහා වෙරළ උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන ලදී. එහිදී ළමා උද්‍යානයක් හා ක්‍රීඩා අංගනයක්, උද්‍යාන බංකු සහ කුටි ඇවිදීමේ මං පෙත්, ලී පාලම් අවන්හල්, ගිමන් හල් හා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ඉදිකොට සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම නිසා අදවන විට කල්ලඩි වෙරළ සොයා දිවයිනේ නන් දෙසින් සංචාරකයෝ මෙහි පැමිණෙති.

කල්ලඩි වෙරළ වඩාත්ම සුන්දර වන්නේ සවස් යාමයේය. හිරු කෙමෙන් අවරට යමින් සැන්දෑව උදාවෙද්දී වෙරළේ ස්වාභාවය සම්පූර්ණයෙන්ම වෙනස්වී ගොස්ය. වැඩිහිටියන් වෙරළේ තැන තැන රොක්වී ගෙවී යන දවසේ වෙහෙස නිවා ගනිද්දී කුඩා දරුවන් නිදහස් ප්‍රීතිය භුක්ති විඳීමින් වෙරළ පුරා දුව පැන ඇවි‍දිමින් වැලි කෙළියේ යෙදේ. සංචාරකයන් ඉලක්ක කරගත් ව්‍යාපාරිකයෝද යමක් අලෙවි කිරීමට යුහුසුළු වෙති. සැඳෑ යාමයේ කල්ලඩි වෙරළේ අසිරි‍යෙන් මත්වී ඇත්තේ මිනිසුන් පමණක් නොවේ. සතුන් ද සැඳෑ වෙරළ විඳිමින් සතුටු වෙති.

පක්ෂීන් කුසගින්න තුරන් කිරීම සඳහා ආහාර සොයා ගැනීමට පියාසලද්දී සුනඛයන් මෘදු වැලි යටට පෙරළෙමින් තෘප්තියක් ලබයි. පාසිකුඩා වැනි නැඟෙනහිර බොහෝ වෙරළ තීරයන්හිදක්නට ලැබෙන සිනිඳු වැලි සහිත වෙරළ තීරය වෙනුවට මෙහි හමුවන්නේ ගොරෝසු වැල්ලක් සහිත වෙරළ තීරයකි. මේ නිසා ඉතා පහසුවෙන් ඇවිදීමට සහ ක්‍රීඩා කිරීමට ද මෙම වෙරළ තීරය ඉතා යෝග්‍ය වන නිසා ජාතික මට්ටමේ වෙරළ ක්‍රීඩා තරගාවලි ගණනාවක්ම මෙම වෙරළ තීරයෙහි පැවැත්වෙයි. ක්‍රීඩා තරඟාවලි නොමැති වූවද වෙරළෙහි සුන්දරත්වය විඳීමට පැමිණෙන පිරිස් පවා වෙරළ ක්‍රීඩා පිටියක් බවට පත්කර ගන්නා අවස්ථා ඕනෑ තරම් දැකිය හැකිවේ.

දිනය නිමාවේ රාත්‍රිය උදාවත්ම ඈත සිතිජයෙන් සඳ පායා එන්නේ සිසිල් සඳ කිරණින් කල්ලඩි වෙරළ නහවමිනි. රාත්‍රියේදී මෘදු සඳ එළිය යට වැල්ලේ වැතිරී සොබා දහම රස විඳිනා රසවතුන්ගෙන් වෙරළ පිරී යයි. ඇතැම්හු කුඩා එළි දල්වා ගනිමින් වෙරළේ ගුල් තුළින් එළියට එන කකුළුවන් එකතු කරති. සඳ නැති රැයක කල්ලඩි වෙරළ උත්සව සිරි ගනී.

දිනය පුරාම එකසේ සුන්දර හිරු නැඟෙන බැසයන කල්ලඩි වෙරළ තීරය සිව්දෙසින්ම එන්නන් රසවත් කරති. හිරු බැස යමින් ඈත සිතිජය ලා රෝස පැහැයෙන් දිස්වෙයි. රත් පැහැ වලාකුළු අතරින් පියඹා යන පක්ෂීන් කළු පැහැති රේඛා මෙන් දිස්වෙයි. ෆයින් තුරු සෙවණ යට බංකුවක පෙම් යුවළක් මොනවාදෝ මුමුණයි. දෙමළ බසින් කෙරෙන මිමිණීමේ ප්‍රේමණීය බව ඔවුන්ගේ ඉඟි බිඟිවලින් පෙනෙයි. ප්‍රේමයට නැඟෙනහිර ද බටහිර ද යන්න වැදගත් නොවනවා සේම සුන්දරත්වයට ද නැඟෙනහිර බටහිර වෙනසක් නොදැනේ. බටහිර වෙරළේ බෙන්තර මෙන්ම නැඟෙනහිර වෙරළේ කල්ලඩිය එක සේ සොඳුරුය. එක සේ ප්‍රේමණීයය. පෙම්වතුන් ගැවසෙන බටහිර දකුණු සීමාවේ බොහෝ වෙරළ තීරයන් මෙන්ම නැඟෙනහිර වෙරළේ කල්ලඩි වෙරළ තීරය ද මඩකළපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වකි. මඩකළපුවේ මිනිසුන්ට කදිම විවේක ස්ථානයකි. ගිනිගත් නැඟෙනහිර මොහොතකට හෝ සිසිලස විඳිය හැකි සොබා සොඳුරු උද්‍යානයකි.

 

Comments