මවු පදවිය සිහිනයක් කරන මඳසරුභාවය | සිළුමිණ

මවු පදවිය සිහිනයක් කරන මඳසරුභාවය

ඉකුත් 08 වැනිදා යෙදී තිබූ මවුවරුන්ගේ දිනය නිමිති කරගෙන මවුවරු ගැන වැඩිපුර කතාබහ කෙරිණි. කාන්තාවක් තම ජීවිතයේදී ලබන්නා වූ උතුම්ම පදවිය මවු පදවිය වුවත් කාන්තාවක් වූ පමණින්ම මවු පදවියට හිමිකම් කීමට හැකිද? වර්තමානයේ බොහෝ කාන්තාවන් මවක් වීමට නොහැකි වූ කම්පාවෙන් වේදනා විඳියි. බහුතර කාන්තාවන්ට ඇතිවන මඳසරු භාවය ගැන සාකච්ඡා කරන්නට සිතුවේ ඒ නිසාමයි.

 

ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි මේ.

මඳසරු භාවය යන්නෙහි සරල අර්ථය නම් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමයි. විවාහක යුවලක් සාමාන්‍යයෙන් අවුරුද්දකට වැඩි කාලයක් දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කළත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීම මඳසරු බාවය ලෙස හඳුන්වයි. ඊට අමතරව වයසින් වැඩි කාන්තාවන් ( අවුරුදු 40ට වැඩි) මඳසරු කාන්තාවන් ලෙස හඳුන්වයි.

මඳසරු භාවය ඇතිවීම කෙරෙහි කාන්තාවන්ගේ මෙන්ම පිරිමියාගේ ද ඇතැම් හේතු බලපායි. පිරිමියාට බලපාන හේතු අතරින් ශුක්‍රාණු පිටවන ප්‍රමාණය හෝ එම ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වීම ප්‍රධාන වේ. සාමාන්‍ය ප්‍රමාණයට ශුක්‍රානු පිටවුවත් ඒවායේ ගුණාත්මක භාවය අඩු විය හැකියි. ඒ වගේම කලාතුරකින් ශුක්‍රාණුවේ ශුක්‍රානු තරලයේ කිසිදු ශුක්‍රානුවක් අඩංගු නොවීම ද සිදුවිය හැකිය. එසේත් නොමැතිනම් ඒ අවශ්‍ය ප්‍රමාණයට ශුක්‍රානු නැති වීමද මෙම මඳසරු භාවයට හේතු විය හැකිය.

කාන්තාවන්ට බලපාන හේතු මීට වඩා සංකීර්ණ වේ. විශේෂයෙන්ම හෝර්මෝන පද්ධතිය ආශ්‍රිත ඇතිවන ගැටලු මේ සඳහා බලපායි. හෝර්මෝනවල සමතුලිතබව නැති වීම ඊට හේතුවයි. මෙම ගැටලු තිබෙනවා නම් මසකට සැරයක් සිරුරේ සිදුවන සාමාන්‍ය හෝර්මෝන චක්‍රය චක්‍රයක් ආකාරයට සිදු වන්නේ නැත්නම් එය මඳසරු බවට හේතුවක් වේ.

හෝර්මෝන සාමාන්‍ය ලෙස ක්‍රියා කරද්දි ඩිම්බකෝෂවලින් මසකට සැරයක් ඩිම්බයක් පිටවිය යුතුය. එම ඩිම්බ පිටවීමේ ක්‍රියාව හරිහැටි සිදු වන්නෙ නැත්නම් එයද මඳසරු බවට හේතුවකි. දරු පිළිසිඳ ගැනීමක් සිදු ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිටවී ඒ ඩිම්බය පැලෝපීය නාලය හරහා ගර්භාෂයට ගමන් කරන අතරතුර ශුක්‍රානුවක් සමඟ සම්බන්ධ වීමෙනි. ඩිම්බය ගමන් කිරීමට නොහැකි ලෙස පැලෝපීය නාලය අවහිර වී ඇත්නම් එය ද මඳසරු බවට හේතුවකි.

පැලෝපීය නාලය තුළ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වී කලලයක් සෑදුණු විට ඒ කලලය තැන්පත් වීම සිදු වන්නේ ගර්භාෂයේය. ගර්භාෂයේ කිසියම් ගැටලුවක් නිසා කලලයට තැන්පත් වීමට නොහැකි නම් එය ද මඳසරු බවට හේතුවකි. ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ගර්භාෂ බිත්තිවල තිබෙන අසාමාන්‍ය තත්ත්වයන් නිසා කලලයක් ගර්භාෂයේ පිහිටීමට හෝ තැන්පත් වීමේ ක්‍රියාවලියට බාධා විය හැකිය. එමෙන්ම ගැබ්ගෙලේ අවහිරතාවක් ඇත්නම් ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වැළකිය හැකිය.

එසේම යෝනි මාර්ගය අවට යම්කිසි ගැටලුවක් තිබේ නම් ලිංගික සංසර්ගයේදී වේදනාකාරී නම් එයද මඳසරු භාවයට හේතුවකි.

මේ ආකාරයට ප්‍රජනන පද්ධතියේ තිබෙන සෑම අවයවයකම ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ලෙස පවතී නම් පමණක් දරු පිළිසිඳ ගැනීම සාමාන්‍ය ලෙස සිදු වේ. කිසියම් හෝ ගැටලුවක් ඇත්නම් එය මඳසරු බවට හේතුවක් විය හැකිය.

කලාතුරකින් විශේෂ රෝගයකට හෝ පිළිකා රෝගය වැනි අවස්ථාවක ලබාදෙන ඖෂධ ද මඳසරු බවට හේතු විය හැකිය.

ඇතැම් ඖෂධ මඟින් ඩිම්බ පිටවීම , ශුක්‍රානු පිටවීම වැළැක්වීමට ඉඩකඩ පවතී. නමුත් සාමාන්‍ය රෝග තත්ත්වයන්ට ගන්නා ඖෂධ මඟින් දරු පිළිසිඳ ගැනීමට කිසිදු බාධාවක් නොවේ. එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ, වේදනා නාෂක, ප්‍රතිජීවක ඖෂධ නිසා කිසිදු අවස්ථාවක මඳසරු බවට හේතුවක් නොවෙයි. මඳසරු බවට බලපාන ප්‍රධාන ගැටලුවක් වනුයේ කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාලය වනවිට ඇගේ වයස වැඩි වීමයි. එනම් ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන කාන්තාවක් නම් වයස අවුරුදු 35ට වැඩි වීමට පෙර එම පිළිසිඳ ගැනීමට සූදානම් වනවා නම් මඳසරු භාවයේ අවදානම අඩු වේ. එමෙන්ම බහුතරයක් කාන්තාවන්ගේ බර (BMI අගය) වැඩි නම් සාමාන්‍ය හෝර්මෝන ක්‍රියාවලිය සිදු නොවෙයි. එවිට ඩිම්බකෝෂ පිටවීම සාමාන්‍ය ලෙස සිදු නොවේ.

එවැනි අවස්ථාව ප්‍රතිකාර කළද මූලිකවම එම කාන්තාවන්ගේ බර අඩු කර ගැනීම සිදු කර ගැනීමට ඔවුනට උපදෙස් දෙයි. බොහෝ තරබාරු කාන්තාවකට ඖෂධ ලබා දුන්නද ඒවා නිවැරදිව සිරුරේ ක්‍රියාත්මක වන්නේ නැත. එම නිසා ඔබගේ BMI දර්ශකය 18-25ත් අතර පවත්වා ගැනීම වඩා සුදුසුය. වඩා කෙට්ටු වීමත් වඩා තරබාරු වීමත් ගැටලුවකි.

Comments