පවුලේ ලේබලය වදිනවට මම කැමති නෑ - The Underpants Theif සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂ විශ්වා බාලසූරිය | සිළුමිණ

පවුලේ ලේබලය වදිනවට මම කැමති නෑ - The Underpants Theif සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂ විශ්වා බාලසූරිය

කැමරා අධ්‍යක්ෂවරයා දකින රූප රාමුව අධ්‍යක්ෂවරයාත් දැකිය යුතුයි

අනෙක් කැමරා අධ්‍යක්ෂවරුන්ට වඩා මගේ මිල ගණන් වැඩියි

 

 

ඔහු වයස අවුරුදු අටේදී නිශ්චල ඡායාරූපකරණයට මහත් සේ ඇල්මක් දැක්වූයේය. වැඩෙත්ම සිය බාප්පා වූ ලලිත් ප්‍රේමතිලකගේ අඩි පාරේ යමින් ජායාරූපකරණය ඉගෙන ගත්තේය. අනතුරුව සරෝජා චිත්‍රපටය සුළු වෘත්තිමය කටයුත්තකින් සිනමා කර්මාන්තයට පිවිසියේය. පසුව ඔහු ඕස්ට්‍රේලියාවේදී සිනමා කැමරාකරණය පිළිබඳ උපාධිය හදාරා කැමරා අධ්‍යක්ෂකවරයකු ලෙසින් කළ පළමු නිර්මාණය සෙවණැලිය. පළමු අධ්‍යක්ෂණයෙන්ම මවු රටට ජාත්‍යන්තර සම්මානයක් ගෙන දෙන්නට මේ තරුණ අධ්‍යක්ෂකවරයා සමත් වන්නේය. ඔහු විශ්වා බාලසූරියයි. මේ දිනවල තිරගත වන The Underpants Theif චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුය. විශ්වා බාලසූරිය සමඟ අප කළ සාකච්ඡාව මෙසේ දක්වමු.

 

ඔබ සිනමා ක්ෂේත්‍රයට එන්නේ

කොහොම ද ?

දවසක් මම අම්මලා කරපු වැඩ ගැන හිත හිතා ඉන්නකොට මට අම්මගෙන් අහන්න හිතෙනවා ඔයාලගේ අලුත් නිර්මාණයකට මාව සම්බන්ධ කර ගන්නවද කියලා. ඇය අහන්නෙ ඔයා කැමතිද කියලා විතරයි. මම කැමතියි කිව්වා. ඊට පස්සෙ තමයි මට සරෝජා චිත්‍රපටියේ ටී බෝයිගෙ සහයකයා විදියට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ. රුපියල් 125යි පඩිය.

මට එතැනදි සිනමා කර්මාන්තයේ බොහෝ දේවල් අධ්‍යයනය කරන්න ලැබුණා. නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මම ටී බෝයි වුණ නිසා වෙන්න ඇති මට ඒ වාසනාව ලැබෙන්න ඇත්තේ. පසුව මට සිරි රජ සිරි සිනමා පටයේ තුන්වන සහය අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ කරන්නත් අවස්ථාව ලැබෙනවා.

 

සිරි රජ සිරි සිනමාපටයේදී ජීවිතයේ අමතක කරන්න බැරි සිදුවීමක්

සිදු වෙනවා නේද ?

ඔව්. එදා මට මුල්ම වතාවට ඇරීනා 3 කැමරාව අල්ලන්න සුළු අවස්ථාවක් ලැබෙනවා. ඒ කැමරාවේ ඇස තියලා බලන කොට මට වෙනම ලෝකයක් දකින්න ලැබුණා. ඒ දැකපු ලෝකයත් එක්ක මම වෙනම ට්‍රිප් එකක් ගියා. ඒ ගිය ට්‍රිප් එක හරිම සුන්දරයි.

 

ඔබ ගිය ඔය ට්‍රිප් එක නැවත පටන් ගත්තේ කොතැනින්ද ?

ඕස්ට්‍රේලියාවේ ඉඳන් සිනමා කැමරාකරණය පිළිබඳ උපාධිය අරගෙන 2013 වසරේදී මම ශ්‍රී ලංකාවට එනවා. ඔය අතරතුර වෙනත් රටවල්වලට ගිහිල්ලා සිප් එකට වැඩ කරනවා. පසුව යුනිවර්ස් ස්ටුඩියෝවල වැඩ කළා.

ඉන්පසු තමයි මට උදාර අබේසේකර සමඟ සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඔහුගේත්, මගේත් මිත්‍රත්වය නිසා අපි එකතු වෙලා සෙවණැලි චිත්‍රපටිය හදනවා. එහි කැමරා අධ්‍යක්ෂකවරයාත්, නිෂ්පාදකවරයාත් වුණේ මමයි. නැවතුන තැන ආරම්භ කරන්නෙත් එතැනයි. මගේ මුල්ම කැමරා අධ්‍යක්ෂණයත් සෙවණැලියි.

 

පළමු නිර්මාණයට හිමි වූ අන්තර්ජාතික සම්මානය මොකක්ද ?

නිව්යෝක් ජාත්‍යන්තර lake campaign සිනමා උලෙළෙදී හොඳම කැමරා අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මම හිමි කරගන්නවා. ඒ වගේම තරුණ කැමරා අධ්‍යක්ෂකවරයකුට ලැබෙන ශීර්ෂපාඨය මට ලැබෙනවා. මේ සම්මානයේ වටිනාකම තමයි ලංකාවේ කෙනකුට මුල්ම වතාවට තමයි එ⁣ක ලැබෙන්නෙ. ඒක ශ්‍රී ලංකාවේ තැබූ වාර්තාවක් ලෙස සනිටුහන් වෙනවා.

 

දැනට ඔබ කැමරා

අධ්‍යක්ෂණයෙන් දායක වුණ චිත්‍රපට කොපමණ ද ? ඒවා ප්‍රදර්ශනය වී තිබේ ද ?

මම චිත්‍රපට දහයක පමණ වැඩ කරලා තියෙනවා. ඒ කරපු ඇතැම් ඒවා තාම තිරගත වෙලා නැහැ.

ඒ සිනමා පට ප්‍රදර්ශනය නොවීම මට ලොකුවට දැනෙනවා. ඒවට හේතු මොනවාද කියලා මම නම් දන්නේ නැහැ. හෙව්වත් ඒවාට උත්තර ලැබෙයි ද කියලා මම හිතන්නෙත් නැහැ. අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු ඒ සිනමාපට අතහැර දාලාද කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම වෙතත් මේවා ප්‍රදර්ශනය විය යුතු හොඳ නිර්මාණ කියලා මම නම් කියනවා. තව සිනමාපට හතක් විතර තිරගත වීමට තියෙනවා. ඒ අතර සෙවණැලි, ආසු, තුන්පත් රෑන, මේඝ යන සිනමාපටත් තියෙනවා .

 

දැනට ඔබ හිමිකරගෙන ඇති සම්මාන මොනවාද?

2014 වසරේ lake champion film festival නිව්යෝක් හොඳම කැමරා අධ්‍යක්ෂකවරයා සෙවණැලි වෙනුවෙන්, 2016 දී සරිගම චිත්‍රපටයට හොඳම කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස සරසවි සම්මානය, 2020 දී ඩකා චිත්‍රපට උළෙලදී සුනාමි සිනමාපටය වෙනුවෙන් හොඳම කැමරා අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානයත් ලැබෙනවා.

 

මේ දිනවල තිරගත වන

The Underpants Theif සිනමාපටය සඳහා සෝමරත්න දිසානායකයන් ඔබව සම්බන්ධ කරගන්නේ පුතා නිසාද ?

2015 මගේ පළමු කැමරා අධ්‍යක්ෂණය වන්නේ සෝමරත්න දිසානායකයන් සමඟයි. ඒ මේ චිත්‍රපටයයි. හැබැයි ඒ මම පුතා නිසා නෙමෙයි. අනෙක් කැමරා අධ්‍යක්ෂවරුන්ට වඩා මගේ මිල ගණන් වැඩියි. ඔවුන්ට වෙන කැමරා අධ්‍යක්ෂකවරයෙක් ගත්තා නම් ලාබයි.

ඒත් අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරිය මාව තෝරා ගන්නේ මම කරපු නිර්මාණ ගැන එම අධ්‍යක්ෂවරුන්ගෙන් මා ගැන පූර්ණ විශ්වාසයක් ලබාගෙනයි. අශෝක හඳගම සහ ප්‍රසන්න ජයකොඩි මා ගැන තිබූ විශ්වාසය ඔවුන්ට පැහැදිලි වීම නිසයි මම මේ නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ. ඒකට එදා වගේම අදත් මම කැමැතියි. මොකද පවුලේ අය පවුලේ අය දාගෙනම නිර්මාණ කරනවා කියන ලේබලය වදින්න කැමැති කෙනෙක් නෙවෙයි මම. මොකද හැම වෘත්තියකටම මිලක් නියම වෙනවා. නියම කරනවා. ඒ තුළ මම ජීවත් වන නිසා මගේ වෘත්තියට මම මිල නියම කරනවා. ඒ නිසා මමත් ඔවුන්ගේ එක වෘත්තිකයෙක් පමණයි.

 

මේ දිනවල The Underpants Theif නිසා සිනමා ශාලා පිරී ඉතිරී යනවා. ඔබ එය දකින්නේ කෙසේද?

සිනමාකරුවන් ෆිල්ම්, ෆිල්ම් හැටියට නො දැකීමත් ප්‍රේක්ෂකයා වැලඳ ගැනීම අඩු වීමට හේතුවක්. මේ නිර්මාණය ෆිල්ම්, ෆිල්ම් හැටියට දැකලා තියෙනවා. තව හේතුවක් තමයි කැමරා අධ්‍යක්ෂවරයා දකින රූප රාමුව අධ්‍යක්ෂවරයාත් දැකිය යුතුයි. ඒ දෙදෙනාගේම සමීප කෝණයක් බවට පත්වෙනවා කියන්නේ රූප රූපරාමුව ප්‍රේක්ෂකයා වැලඳ ගන්නා බවයි. ඔවුන් රූප රාමු තුළ ජීවත් වෙනවා කියන එකයි. එවිට සිනමා ශාලා පිරී ඉතිරී යනවා එය වැළැක්විය නොහැකියි.

Comments