අලුත්ම නවකතාව ‘අරටු’ අභියෝග මැද ලියූ පොතක් - ලේඛක උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් | සිළුමිණ

අලුත්ම නවකතාව ‘අරටු’ අභියෝග මැද ලියූ පොතක් - ලේඛක උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප්

1990 දශකයේ මුල් අවධියේදී සිය හිතවතකු වන මත්තමගොඩ කුමාර මඟින් ප්‍රවීණ ලේඛක සුදත් රත්නායක හඳුනාගන්නට ලැබීමත් සමඟ කැමිලස් ප්‍රකාශන ආයතනයට සම්බන්ධ වූ උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් ‘කිංකිණි’පුවත්පතින් සිය ලේඛන දිවිය ආරම්භ කළේය. වසර තුනක් එම පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කළ ඔහු පසුව ඉමාෂි ප්‍රකාශන ආයතනයට සම්බන්ධ වී ‘ පිවිතුරු,පාරමී, සඳහිරු, පොඩිත්තා සහ ඉසුරු’ පුවත්පත්වල විශේෂාංග ලේඛකයකු මෙන්ම සහකාර කර්තෘවරයකු ලෙස ද කටයුතු කළේය. කාලයක් තිස්සේ ‘සුවඳ , බිරිඳ , සඳරේණු සහ පූජා’ ආදී පුවත්පත් සහ සඟරාවලට නවකතා සහ විශේෂාංග ලිපි රචනා කළ උඩත්තව ප්‍රදීප්, මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කළ පළමු කෘතිය වන්නේ ‘සඳුට පිරූ පාරමී’නවකතාවයි.

මේ වන විට ඔහු නවකතා පොත් දහයක්, ළමා කතන්දර පොත් දොළහක්, යොවුන් නවකතා තුනක් සහ පෙරපාසල් වැඩ පොතක් වශයෙන් පොත් විසි හයක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

 

මගේ නවකතා අතරින් මම වඩාත් කැමති නවකතාව

ලියපු හැම අකුරකටම ආදරේ කරන මට එක නිර්මාණයක් විශේෂයෙන් නම් කරන්න තරමක් අමාරු වුණත් පසුගියදා මුද්‍රණයෙන් නිකුත් කළ, මම ලියූ අලුත්ම නවකතාව ‘අරටු’කෘතිය විශේෂයි. ඊට හේතුව ඒ පොත ලිව්වෙ අනෙක් පොත් ලියපු විදිහේ නිදහස් පසුබිමක නෙවෙයි. කොවිඩ් වංසගතය නිසා පහුගිය කාල වකවානුව පුරාවට මුළු ලෝකයම භීතියෙන් පසුවුණා.

ඒ අතරතුර මගේ පෞද්ගලික ජීවිතයේ සිදුවූ දරුණුම වියෝව වන අම්මාගේ වියෝවට මුහුණ දෙන්න සිදුවුණා. ඒ සියල්ල දරාගන්න සිදු වූ පසුබිමක, සිත නිරවුල්ව තබා ගැන්ම අසීරුම මොහොතක ‘අරටු’ ලියැවී අහවර වද්දී මට දැනුණේ මෙය ලිව්වෙ මමද කියලා හිතෙන තරම් හැඟීමක්.

‘අරටු’ කතාව ලියන්න මුල්ම වස්තු බීජය මගෙ හිතට ආවේ දිනක් හිතවතකු මුණ ගැහෙන්න පිටකොටුව මැනිං මාර්කට් එකට ගිය වෙලාවක දකින සිද්ධියක් එක්කයි. පිට පළාත්වලින් කොළඹ මැනිං වෙළෙඳපළට ගෙනෙන එළවළු විශාල තොගයක් (ප්‍රවාහනයෙදී තැළී පොඩි වූ) කුණු ලොරියට පටවන්න ගොඩ ගහල තියෙනවා දකිද්දි මට හිතුණේ ඒ එළවළු කන්ද අස්සෙ අපේ රටේ ගම්වල අපමණ දුක් ගැහැට දරාගෙන වගා කරන අහිංසක ගොවියන්ගේ දහදිය ශ්‍රමය කොච්චරක් ඇත්ද කියන කාරණාවයි. ඒ එක්කම මේ නිස්කාරණේ අපතේ යන්නේ අපේ රටේ සම්පත් නේද කියන දේත් මට හිතුණා. මෙහෙම වෙන්නෙ ගොවිබිමේ ඉඳලා පාරිභෝගිකයන් අතට එනකම් මේ අස්වනු නිසි ක්‍රියාවලියකට නොපැමිණීම නිසයි. එහෙම සැලසුමක් තියෙනවා නම් මේ අපතේ යන සම්පත්, මුදල් වගේම කාලයත් ඉතිරි වෙනවා නේද කියන අදහස හිතේ තියාගෙනයි මම මේ නවකතාව ලිව්වෙ.

 

ඒ නවකතාවේ මා වඩාත්ම සිත්ගත් සහ සංවේදී වූ අවස්ථාව

“ජීවිතේ පුරාම උපන් දවසෙ ඉඳන් අපි කරන්නේ කවුරු හරි කියන විදියට ඉන්න එක.. පුංචි දවස්වල අම්මා තාත්තට ඕන විදියට.. අරක කරන්න එපා.. මේක කරන්න එපා කියන විදියට නෙවෙයිද අපේ ළමා කාලෙ ගෙවෙන්නෙ.. ඊට පස්සෙ ගුරුවරුන්ගේ රටාවට අවශ්‍ය විදියට හැඩ ගැහෙනව.. ඊට පස්සෙ සමාජෙට අවශ්‍ය විදියට.. අරය මෙහෙම හිතයිද.. මෙයා මොනවා කියයිද.. විවාහයෙන් පස්සෙ බිරිඳට,සැමියාට, අවශ්‍ය විදියට.. ඉතින් කොහෙද අපි ස්වාධීන වෙන්නෙ..."

මහින්ද කීවේ සත්‍ය ජීවිත අත්දැකීමකි. සාමාන්‍ය ජන සමාජය තුළ ඉපදුණදා සිට මරණ මංචකය දක්වාම මිනිසා ජීවත් වන්නේ තම අවශ්‍යතාවයට හෝ තම සිතට රිසි පරිදි නොවන්නේය. යමකු තම සිතු මනාපයට ස්වාධීන තීරණ ගත් කල මේ සමාජය ඔහු හිතුවක්කාරයකු ලෙස හංවඩු ගසයි.” අරටු නවකතාවේ එන ඒ කොටස මගේ හිතට වඩාත් සමීපයි.

 

මෙතෙක් මට ලැබුණු සංවේදීම පාඨක ප්‍රතිචාරය

එහෙම දැනුණු ප්‍රතිචාර බොහොමයක් අතරින් පාරමී පුවත්පතට ලියපු ‘රතු පිච්ච මල්’ නවකතාව කියවලා මාතර තෙලිජ්ජවිල චන්දි කියන සොයුරිය පැවසුවා, ඒ කතාවෙ සුරේන් සහ ඔහුගේ නංගි පොඩ්ඩිට සිදුවන දේවල් ඇයත් අගේ සොයුරාගේත් ජීවිතය හා සමාන බව. දෙමාපියන් අහිමිව ඇය සොයුරා සමඟ ජීවත්වන බවත් ඇය මට ලියා එවූ සිද්ධීන් බොහොමයක් රතු පිච්ච මල් කතාවේ සිදුවීම් හා සමාන බවත් පැවසුවා. ඒ සිදුවීමට මම අදටත් සංවේදීයි.

 

මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

ඉදිරියට ‘නෙත්රෝ’ නමින් මගේම ප්‍රකාශන ආයතනයක් පවත්වාගෙන යන්න සැලසුම් කර තිබෙනවා. ‘ඒලියන් ඇවිල්ලා’ යොවුන් නවකතාවත් ‘හීන’ නවකතාවත් මේ වසර මුලදීම පාඨකයන්ට දෙන්න සැලසුම් කර තිබෙනවා.

‘දුනුකේ යාය, සඳදෝණි, රතු පිච්ච මල්, බංගලි වළලු’ සහ ‘ ටික්කි ටිකිරි’ යොවුන් නවකතාවත් හැකි ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීමටත් අපේක්ෂිතයි.

Comments