විවාහයට වාසනාව ගෙනෙන හැටි | සිළුමිණ

විවාහයට වාසනාව ගෙනෙන හැටි

විවාහය සමාජ සම්මත උසස් චාරිත්‍රයක් බවට පත්වී තිබෙන්නේ බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයටත් පෙර සිට බව පුරාණ ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් දැකගත හැකිවෙයි. විධිමත් ශික්ෂණයකින් යුතු ආචාර ධර්මවලට අනුකූලව පතිපතිනි යුවළක් යුග දිවි ඇරඹුම ඉන් අනතුරු කාලයේ උසස් චාරිත්‍රයක් ලෙස පැවැති අද දක්වාම නවීන ක්‍රම සහ ආචාර සමාචාර මිශ්‍රව පැවතීගෙන එනු ලබයි.

සීයට සීයක් පොරොන්දම් ගැළපීම් සහිතව කරන ලද විවාහයන් අනන්ත වාරයක් ඉතා ඉක්මනින් කැඩී බිඳී වෙන්වී ගිය අවස්ථා අපට හමුවී තිබේ.

කිසිදු පොරොන්දමක්, චාරිත්‍ර විධියක් අනුගමනය නොකර රහසේ සිදුවන විවාහයන් වසර 50 - 60 කාලයක් ඉතා දීර්ඝ වශයෙන් ඉතා ළෙන්ගතුව පැවැතීමට හේතුව කුමක්ද? පොරොන්දමක්, ග්‍රහ ගැළපීමක් සිදුවූ පමණින් එම ස්ත්‍රිය හා පුරුෂයා සරණ බන්ධනයකට සුදුසු යැයි තීරණය කිරීම ඉතා අණුවන ක්‍රියාවකි. දෙදෙනෙකුගේ ජීවිත එක අරමුණකට ගමන් කිරීමට නම් එකිනෙකා අතර ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. ඊට වඩාත් ගැළපෙන වයස් කාල සීමාවන් හා ඔවුන් විවාහයෙන් පසුව ජීවත්වන පරිසරය ද වැදගත්වේ. දිගු සබඳතාවයකින් පසුව සිදුවන විවාහයන් තරමක් හෝ සාර්ථක වන්නේ ඔවුන් දැන හඳුනා ගෙන ඔවුනොවුන්ගේ අවශ්‍යතා දැනගෙන කටයුතු කිරීම හේතුවෙනි. පොරොන්දමට යට වී කරන යෝජිත විවාහයන්, පැටව් සෑදීමට මිලට ගත් ගොන් වැස්සියක් නඩත්තු කිරීම වර්ගයා බෝ කිරීමට ගොන් වස්සෙකු මිලට ගැනීම හා සමාන ක්‍රියාවකි. ඔවුන් අතර ඇත්තේ කෘත්‍රිම බැඳීමකි. යුතුකම් මැනවින් ඉටු කරන අතර, ආදරය, ලෙන්ගතුකම, දැන හඳුනා ගැනීමට ඇතිවන කාලය අනුව වෙනස් වේ.

නැන්දම්මා හා ලේලිය එක නිවසක වාසයට සුදුසු නැත. එයින් සිදුවන්නේ පිරිමි අයගේ සිතේ දුක සහිත කාලයක ආරම්භය වීමයි. අලුතින් නිවසට ආ ලේලියගේ වැඩිපුරම දකින්නේ වැරදි දේවල් බව එයට හොඳම නිදසුනකි. මේ පිළිබඳව ගතයුතු නිවැරැදිම තීන්දුව නම් විවාහ පත්වූ නව යුවළක් වෙනම නිවසක වාසය කළ යුතු බව මාගේ අදහසයි. දෙමවුපියන් අසරණවී තනිවී සිටිනවා නම් ඊට සාධාරණ තීරණයක් ගැනීම වරදක් නැත.

පොරොන්දම් නොගැළපීම හේතුවෙන් හා කෙටිකලකදී විරසකවීම හේතුවෙන් කැඩී බිඳී වෙන්වෙන පවුල් ජීවිතවලට අපට ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් තිබේද? බුදු ගුණ - බුදු හෝ මන්ත්‍ර ශාස්ත්‍රය තුළ ඒ සඳහා ඉඩක් ඇත්දැයි විමසා බැලීම වටී.

මෙසේ යම් කිසි බාධාවක් පැමිණි විගස අමනාපකම් ඇති කර ගනිමින් කඩාකප්පල් කරගන්නා සබඳතාවලට අපි කුමක් කරමුද?

සමාජය ශීලාචාර අවධියකට පත්වන්නට පෙර අතීතයේ එක් පුරුෂයෙකුට ස්ත්‍රින් කීප දෙනෙකු සමඟ දීග කන්නට එකල ජන සමාජය තුළ අවකාශ ලැබී තිබුණි. එක් අයෙකු අමනාප වුවත් අනිකෙකු සමඟ කල දවස ගත කිරීමට එයින් අවස්ථාව ලැබුණි.

බටහිර ආචාර ධර්ම නීති පද්ධතිවලට අනුව ලෝකය වෙනස් වුණ කල එක් පුරුෂයෙක් නීත්‍යානුකූලව එක් ස්ත්‍රියක් පමණක් විවාහකර ගැනීමට අණපනත් නීති සම්පාදනය විය. ඉංග්‍රීසි ආණ්ඩු ක්‍රමයට අනුව බහු විවාහය දඬුවම් ලැබිය හැකි වරදක් විය. මේ තුළින් බහු විවාහ ක්‍රමය ඉස්ලාම් ආගමට පමණක් සීමා වී අනිකුත් සදාචාර සම්පන්න ආගම් හා පිළිගත් සමාජය බහු විවාහය ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ වෙතත් පොරොන්දම් නොගැළපීම හෝ අදහස් නොගැළපීම හේතුව බාධාවක් කර නොගෙන යුග දිවිය සාර්ථක කරගන්නට ස්ත්‍රී, පුරුෂ දෙදෙනාටම පිළිපැදිය හැකි කරුණු බොහෝ ඇත. නොගැළපෙන දීගය කෙසේවත් ගැළපිය නොහැක. අවබෝධයෙන් ධර්මානුකූලව කටයුතු කිරීමෙන් සහනයක් ලබාගැනීමට හැකියාව ඇත. නිදන කාමරය ඉතා පිරිසුදුව සකස්කර ගත යුතුයි. විවාහයට බලාපොරොත්තු වන අය විසින් තෙල්, මල්, සුවඳ ගිලන්පස පූජා කොට දින 7 ක් රාත්‍රි 7-9 අතර කාලයේ තෙරුවන් වන්දනා කොට මඳ වේලාවක් මෛත්‍රී භාවනාව කොට තමන්ට පමණක් ඇසෙන සේ ජයමංගල ගාථා සජ්ඣායනා කළ යුතුයි. එකවරක් ගාථා සියල්ල සජ්ඣායනා කොට මහා ජයමංගල ගාථා නම් පිරිත 3 වරක් කිව යුතුයි. මේ අවස්ථාවට කැකුළු සහල් 7 මිටක් පෙරාගත් පිරිසිදු පැන් බඳුනක් එකතු කර පිරිත් කිව යුතුයි. මෙසේ අඛණ්ඩව දින 7 ක් කියවා 8 වෙනි දින පිරිත් කර ගත් සහල්වලින් කිරිබත් උයා නොඉඳුල්ව පිරිසිදුව සකස්කර ගත යුතුයි. පැරැණි බෝධීන් වහන්සේ නමක් අසලට රැගෙන ගොස් ඉතා ගෞරවයෙන් එම කිරිබත් පුදා තමන්ගේ අදහස ප්‍රකාශ කළ යුතුයි. පිරිත් කරගත් පැන් උදේ සවස ටික ටික පානය කරන්න. එකම දිනක ස්ත්‍රී/ පුරුෂ දෙදෙනාම තමන්ගේ නිවාස වලදී සිදු කළාට වරදක් නැත.

පොරොන්දම් නොගැළපීමෙන් වන බාධා දුරු කර ගැනීමට බෝ සමිඳුන්ගේ පිහිට පැතිය යුතුයි..

බෙල්ලන්විල රජමහා විහාරස්ථ බෝධීන් වහන්සේ, කැලණි රජ මහා විහාරස්ථ බෝධීන්වහන්සේ, මහර නැලිගම පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ, නුවර නාථ දේවාල භූමියේ වැල් බෝධීන් වහන්සේ, කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ මේ සඳහා ඉතා සුදුසුවේ.

එමෙන්ම ඉතා පිරිසිදුව පිළිවෙත් අනුව සකස්කරගත් නවගුණ යන්ත්‍රය හෝ සබ්බපාපස්ස යන්ත්‍රය දෙදෙනාට කර පැලඳීම විශේෂ ප්‍රතිඵල ඇති කරයි.

නාථ දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට පූජා දෙකක් තබා බලවත් භාරයක් වීමටත් සෙත් කවි දෙකක් පිරිසිදු අයෙකු ලවා කියවීමත් ඉතා හොඳයි.

ගුරුදා ගුරු හෝරාවෙන් නෙළා ගන්නා ලද සුදු අරලිය හෝ කහ අරලියමල් 108 බැගින් වට්ටි දෙකක් (දෙදෙනා වෙනුවෙන්) ගොක් කොළයක නම් ලියා වට්ටියේ තැන්පත් කර (නම් දෙක වෙන වෙනම ලග්නය සමඟ ලියන්න) නෑඹුල් පොල් තෙල්, රන් තැඹිලි තෙල්, අබ තෙල්, සඳුන් තෙල් එකට මිශ්‍රකර සාදාගත් තෙල් බෝතලයක් පහන් 30 බැගින් පහන් 60 ක් දැල්විය හැකි වන පරිදි සකස් කරගන්න.

සුවඳ හඳුන්කූරු, පිණිදිය සමඟ බෝමැඩක පූජා කර මහා ජයමංගල ගාථා (පිරිත) ජය පිරිත 54 වරක් දෙදෙනා විසින් කියවිය (සජ්ඣායනා) කළ යුතුයි.

මෙසේ පිරිත් පුරවාගත් මල්වට්ටි 2 හා පහන් 9 බැගින් බෝධීන් වහන්සේට පූජා කරන්න. නවග්‍රහ ශාන්තිය කියවන්න. මින් අනතුරුව සියලු දෝෂ හා බාධක දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පඬුරක් වෙන්කරන්න. මෛත්‍රී භාවනාව ස්වල්ප වේලාවක් සිදුකරන්න.

පිළිවෙත් කිරීම සවස 5 පෙර ආරම්භ කර අලුයම 01 පෙර අවසන් කළ යුතුයි. වතාවත් සිදුකොට අවධානයෙන් දෙදෙනාගේම ග්‍රහදෝෂ නොගැළපීම් සියල්ල දුරින්ම දුරුවී සැපත උදාවේවායි ප්‍රාර්ථනාකර නම් ලියා ගත් ගොක් කොළ 2 ගැහැණු නම පිරිමි අයටත් පිරිමි අයගේ නම ගැහැණු අයටත් මාරුකර ගෙන නිදන කොට්ටයට දමා තබාගන්න. මල් වට්ටි දෙක ඇලක, දොළක, ගඟක පා කර හරින්න.

ඉතිරි තෙල් දෙකට බෙදා දෙදෙනාගේ නිවස්වල බුදු පහනට දමා පහන් දල්වන්න. දින 21 ට පසුව විවාහ කටයුතු වලට යොමුවන්න. විවාහ වී ඇති යුවළක් නම් නවගුණ යන්ත්‍රය - පිරිමි අයටත් සබ්බපාපස්ස යන්ත්‍රය ස්ත්‍රියටත් පැලඳීම (108) වර මතුරා ඉතා හොඳයි. මෙම යන්ත්‍ර පැලඳීම හා පිළිවෙත් රැකීම හැකි තරම් නිර්මාංශව කළ හැකි නම් ප්‍රතිඵල උසස් අයුරින් ලබාගත හැකි ය.

විවාහයට අනතුරුව ඇතිවන දෝෂ හා නොගැළපීම් හෝ ගැටලුකාරී තත්ත්වයන් ඇත්නම් ඒ සඳහා වෙනම වත් පිළිවෙත් හා පිළිපැදිය යුතු ආචාර ධර්ම රැසක් ඇත. එම කරුණු ඉදිරි ලිපියෙන් බලාපොරොත්තුවන්න.

Comments