මට ඕනෑ වුණේ තාත්තාගේ හීනය හැබෑ කරන්නයි | සිළුමිණ

මට ඕනෑ වුණේ තාත්තාගේ හීනය හැබෑ කරන්නයි

ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ විශිෂ්ට කාන්තාවන් ඇගයීම සඳහා පැවති Wise Woman ජාතික වැඩසටහන පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිවරයා අතින් විශිෂ්ට කාන්තාවන් ලෙස සම්මාන ලැබූහ.

සිළුමිණ රසඳුන අද මේ කතාබහ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නෙල්කා ශිරෝමාලා සමඟයි. ඇය ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කළ ප්‍රථම කාන්තා විනිසුරුවරිය හා ඔලිම්පික් තරගාවලියක බොක්සිං අවසන් තරග දෙකක් විනිශ්චය කළ පළමු කාන්තා විනිසුරුවරියයි. ඒ වගේම ඇය මේ වෙද්දී ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ සයිබර් ක්‍රයිම් ඒකකයේ ස්ථානාධිපතිනියයි.

පාසල් කාලය ගැන මතක් කළොත්

තාත්තා නාවික හමුදාවේ සේවය කළ නිසා කාලෙන් කාලෙට තාත්තා සේවය කළ පළාත්වල නිල නිවාසවල පදිංචි වෙන්න අපිට සිද්ධ වුණා. ඒ නිසා මුල් කාලයේ පාසල් කිහිපයකම ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණෙන නිසා ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ නේවාසිකව ඉගෙන ගන්න මාව ඇතුළත් කළා. එහි ඉගෙනගන්න කාලේ මම දැල්පන්දු, අත්පන්දු, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා වගේ තරග රැසකටම සහභාගී වෙලා ජයග්‍රහණ රාශියක්ම ලබා ගත්තා.

කොහොමද ක්‍රීඩාවට නැඹුරු වෙන්නේ

මගේ තාත්තා පිට පිට හත්වතාවක් බොක්සිං බර පන්තියේ ජාතික ශූරයා වුණු කෙනෙක්. බොක්සිංවලට දැක්වූ දක්ෂතා නිසාම පසුව ඔහු නාවික හමුදාවට බඳවා ගෙන තියෙනවා. තාත්තා රගර්, පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසකට දස්කම් දක්වපු සහ ඒ ක්‍රීඩා අංශ සියල්ලෙන්ම ජයග්‍රහණ රැසක් ලබාගෙන නාවික හමුදාවට ගෞරවාදරය හිමිකර දුන් කෙනෙක්. ඒ වගේම වසර ගණනාවක් නාවික හමුදා බොක්සිං පුහුණුකරු තනතුර පවා දැරුවා. අපේ ගෙදර කෙල්ලෝම හතරක්. මම තමා වැඩිමලා. ඉතින් තාත්තගේ අඩි පාරේ යන්න ඕනේ වුණා මට. නමුත් ඒ කාලේ බොක්සිං ක්‍රීඩාව කාන්තාවන්ට විවෘත නැහැ.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පොලීසිය තෝරාගන්න හිතුවේ ඇයි

ඔව්. මම 1997 වසරේදී උප පොලිස් පරීක්ෂිකාවක් ලෙසින් ශ්‍රී ලංකා පොලිසියේ සේවයට එක්වුණා. මොකද මගේ තාත්තා ද්‍රවිඩ ජාතිකයෙක්. ඒ නිසා යුද්ධයෙන් වගේම ජේ.වී.පී.කලබල කාලෙත් අපේ පවුලට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම තාත්තා නාවික හමුදාවේ නිසා අපිට නිතර නිතර මරණ තර්ජන ආවා. මේ ප්‍රශ්න නිසාම මට හිතුණා පොලිසියට බැඳෙන එක හොඳයි කියලා. ඒ නිසා තමයි මම පොලිසියට බැඳුණේ.

1999 වසරේදී මම ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතම වෙඩි තබන්නිය, ඒ වගේම නෙල්කා ට බොහොමයක් සටන් ක්‍රම පුළුවන් නේද?

මට හොඳට කරාටේ පුළුවන්. ඒ නිසා මාව ඇමති ආරක්ෂක එකට ගන්නවා. එතන සේවයට ගියාට පස්සෙ මම ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ලබාදෙන හැම සටන් ශිල්පයක්ම වගේ ඉගෙන ගත්තා. ඒ වගේම මට ඉලක්කයට වෙඩි තියන්න සහ දුනු විදින්න එහෙමත් පුළුවන්.

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම බොක්සිං ක්‍රීඩිකාව ඔබ

ඔව්. 2001 වසරේදී තමයි බොක්සිං ක්‍රීඩාව කාන්තාවන් සඳහා විවෘත වුණේ. ඉතින් මගේ තාත්තට එදා හරි සතුටු දවසක්. තාත්තා ඔහුගේ බොක්සිං අත් ආවරණ මට පලඳලා ‘ඔයා කවදහරි ඔලිම්පික් ක්‍රීඩිකාවක් වෙලා මේ අත් ආවරණ ගලවන්න මගේ පුතේ’ කියලා කිව්වා. තාත්තගේ ඒ වචන අදටත් මගේ කන්වල රැව්දෙනවා. මම 2001 වසරේ පැවති බොක්සිං ශූරතාවලියට සහභාගී වුණේ සති දෙකක් පුහුණුවකින්. එදා මම තරග කළේ මාස හයක් පමණ පුහුණුවීම් කළ තරගකාරියක් එක්ක. එදා ඒ තරගය ඇය දින්නා. ඒ නිසා එදා හිතුවා අනිත් සියලුම ක්‍රීඩාවලට සමුදීලා පූර්ණකාලීනව බොක්සිං ක්‍රීඩාව විතරක් තෝරා ගන්න. ඊට පස්සේ ජයග්‍රහණ රැසක් මම ලබා ගත්තා. ඒ වගේම ලංකාවේ පළමු කාන්තා බොක්සිං කණ්ඩායම නියෝජනය කරන්නත් මට අවස්ථාව ලැබුණා. බොක්සිං ක්‍රීඩාවේ හොඳම ජයග්‍රාහකයා වගේම දක්ෂතම පරාජිතයත් තෝරනවනේ. ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂතම ලෙස තරග කරලා පරාජය වෙන කෙනාට තමයි ඒ සම්මානය හිමි වෙන්නේ. ජාතික බොක්සිං ශූරතා තරගවලදී පස්වතාවක්ම ඒ සම්මානය දිනාගන්නත් මට පුළුවන් වුණා

2011 වසර සහ ඉන් පසු විශේෂයි නේද?

පළමු පෙළ තරග විනිසුරුවරියක ලෙස තේරී පත්වෙලා 2011දීම ජාත්‍යන්තර තරග විනිශ්චය කිරීමටද භාග්‍යය ලැබෙනවා. ඒ අවස්ථාව ලැබෙන්නේ තරග විභාගය කෙටි කාලසීමාවකින් සමත් වුණු නිසා. ඒ අනුව ආසියානු බොක්සිං සංගමය, ඉන්දුනීසියාවේ ජනාධිපති කුසලතා බොක්සිං ශූරතාවලිය විනිශ්චය කරන්න මට ආරාධනා කළා. ඒ තරගාවලියටම හිටපු එක ම කාන්තා විනිසුරුවරිය වුණේ මම. ඊට පස්සේ 2013 වසරේ ඉතාලියේ තිබුණු තරග තීරක සහ විනිසුරු තරග විභාගයත් සමත්වෙලා තෙවැනි පෙළ විනිසුරුවරියක වුණා. ඒ නිසා දකුණු සහ අග්නිදිග ආසියාවේ ම තුන්වෙනි පෙළ විනිසුරු පදවිය ලද ප්‍රථම කාන්තාව වෙන්න මට වාසනාව ලැබුණා. වරක් ආසියාවේ දක්ෂතම බොක්සිං තරග විනිසුරු සම්මානය මට ලැබුණා. එය ආසියාතික රටක කාන්තාවකට හිමි වුණු ප්‍රථම අවස්ථාව.

මේ බොක්සිං ක්‍රීඩාව එක්ක ආ ගමන් මගේ අමතක නොවන මතක ඇති

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන බොක්සිං තරග තීරක සහ විනිසුරු තෝරාගැනීමේ තරග පැවැත්වූයේ පැරිස් නුවරයි. ඒ සඳහා රටවල් ගණනාවකින් විනිසුරුවරුන් දාහකට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර, ඒ අතරට එක්වීමට මට අවස්ථාව ලැබුණා. තරග විනිසුරුවරියක් විදිහට හරි ඔලිම්පික් ගිහිල්ලා තාත්තගේ හීනේ සැබෑ කරන්න තමයි මට ඕන වුණේ. විනිසුරුවන් විශාල ප්‍රමාණයකින් තෝරා ගැනුණේ 36යි. තරගය අවසාන දිනයේදී ඔවුන් කිව්වේ අපිව තේරිලාද කියන එක පසුව දැනුම් දෙන්නම් කියලා කිව්වා. කොහොම හරි ලංකාවට එන්න කලින් දවසේ සැමියා මට දුරකතන ඇමතුමක් ලබා දීලා කිව්වා මගේ තාත්තා නැතිවුණා කියලා. ඒ වෙලාවේ මට දැනුණු වේදනාව කියන්න වචන නැහැ. මම මේ හැමදේම කළේ තාත්තගේ සිහිනය සැබෑ කරන්න.

පහුවෙනිදා ලංකාවට ඇවිල්ලා තාත්තගේ මිනිය ගාවට ඇවිදගෙන යන්න ලැබුණේ නැහැ ඔලිම්පික් තරග විනිසුරුවරියක් විදිහට මාව තේරිලා කියන පණිවිඩේ ආවා. මගේ තාත්තාට දකින්න නැති ඔලිම්පික් එකක් මට මොකටද කියලා මම හයියෙන් කෑගහලා ඇඬුවා. ඔලිම්පික් සංගමයට පවා මම ඒ ගැන දැනුම් දුන්නා. තාත්තගේ හීනේ සැබෑ කරන්න නම් ඒ අවස්ථාවට මුහුණ දෙන්නම ඕනේ කියලා ඔවුන් මාව දිරිමත් කළා. තාත්තා නැති වුණ දුක හිතේ හිරකරන් මම ඔලිම්පික් තරගාවලියේ විනිසුරුවරියක් විදිහට කටයුතු කළේ. මම ඔලිම්පික් තරග 11ක් විනිශ්චය කළා. ඒ වගේම තරග වාර 33ක තරග තීරක විදිහට කටයුතු කළා. මගේ රටේ කොඩිය 44 වාරයක් ඔලිම්පික් තිරයේ දිස්වුණා. ඇත්තටම ඒක මට ලොකු ආඩම්බරයක්. ඒ හැම මොහොතකම තාත්තා හිටියා නම් කියන සිතුවිල්ල මගේ හිතේ තිබුණා.

මේ ගමනට ශක්තිය වන අයත් ඇය මතක් කරන්න අමතක කළේ නැහැ,

මගේ සැමියා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන වික්‍රමනායක. මට මේ තරම් දුරක් එන්න ලැබුණු ලොකුම ශක්තිය ඔහු. ඒ වගේම අපිට ඉන්නේ දුවෙක්. දුව බලාගන්නේ මගේ මහත්තයාගේ සහෝදරිය. පොලිස්පතිතුමා ඇතුළු මට උපකාර කරන පොලිසියේ සියලුදෙනාටත්, ශ්‍රී ලංකා බොක්සිං සංගමයටත්, මට වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.

Comments