ප්‍රතිපෝෂණය කෙතරම් වැදගත් ද? | සිළුමිණ

ප්‍රතිපෝෂණය කෙතරම් වැදගත් ද?

ස්සර කාලේ රජවරු වෙස්වළාගෙන ගම්දනව්වලට ගිහින් තමන්ගේ රාජකාරි කටයුතු ගැන සාමාන්‍ය ජනයා හිතන්නේ, කියන්නේ මොනවාද කියල දැන ගන්න බව පොත්පත්වලත් ජන කතන්දරවලත් සඳහන් වෙනවා. එහෙම උපක්‍රමයක් රජවරු තමන්ගේ පාලනයට ඇතුල් කෙරුවේ මක්නිසාද?”

මේ ප්‍රශ්නය සන්නිවේදන පන්ති කාමරයේදි ඇසුවේ ‘මාධ්‍ය ලෝකය’ පිළිබඳ අපූරු උනන්දුවක් දක්වන එක් සිසුවියකි.

සන්නිවේදන ගුරුතුමිය ඒ ප්‍රශ්නයට කෙළින්ම ප්‍රතිචාරයක් නොදක්වා කී දේ මුළු පන්තියටම ඇසිණ.

“ඒ ප්‍රශ්නය හුඟාක් වැදගත්” යි ගුරුතුමිය තම කතාව පටන් ගත්තාය.

“ඇයි වැදගත් වන්නේ ?” අපට වුවමනා කරනවා අප කරන කියන කටයුතු ගැන, ඒ කරන කියන කටයුතුවලට මුහුණ දෙන අය මොනවාගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ කියන කාරණය දැන ගැනීමට.

ඒක එක විදිහක පෙරළා අප වෙත ගෙන එනු ලබන පෝෂණයක් ලෙස සලකන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියන්නේ ෆීඩ්බැක් (feedback) කියල. එහි නියම අර්ථය විදිහට සලකන්නට වෙන්නේ ‘ආපසු සිදුවන පෝෂණය’ හෙවත් ‘ප්‍රතිපෝෂණය’ කියන එකයි. අපට, අප කරන කියන දේවල්වල ඒ දෙස බලා සිටින හෝ විඳින උදවිය පෙරළා දක්වන අදහස් උදහස් දැන ගැනී

මෙන් අපේ ඒ කාර්යය තව තවත් වැඩි දියුණු කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අපි ගනිමු උදාහරණයක් නිතර අපට දැක ගැනීමට ලැබෙන. අපි ගනිමු කෙනෙක් ගීතයක් ගායනය කරන අවස්ථාවක්. ගීතය ගායනා කරන විටදි ඒ ගීතය නොඅසා නැගිට යන්නට පටන්ගත්ත අයත් ඉන්න පුළුවන්. ඒ අතර නිශ්ශබ්දව ඒ ගීතයට සවන්දීමට සැදීපැහැදී සිටින අයත් දැක ගැනීමට පුළුවන්. ගීතය ගැයෙන අවස්ථාවේදී ගායකයා හෝ ගායිකාව සමඟ අත්වැල් ගායනයට එකතුවෙන අයත් ඉන්න පුළුවන්. දැන් අපි කියමු ගී ගායනය අවසන් වුණාය කියල. ගීතයට සවන් දී රස වින්ද අය අත්පොළසන් දෙන්නට පටන් ගන්නවා. ඒ අතරම අත්පොළසන් නාදයෙන් පස්සේ ‘එන්කෝර්’ (Encore) කියන පිරිසකුත් ඉන්න පුළුවන්. මොකක්ද ‘එන්කෝර්’ කියන එකෙන් දක්වන ප්‍රතිචාරය? වෙන වචනවලින් කියනව නම් “තවත් එකක් ගයන්න” යන කාරණාව ඉඟි කරනව. ඉතින් ගායකයා හෝ ගායිකාව මොකක්ද කරන්නේ? තවත් ගීතයක් ගායනා කරන්නට පටන් ගන්නවා. මේ විදිහට වැල නොකැඩී ප්‍රතිචාර දක්වන ‘සහෘද’ පිරිසක් සිටින බව පෙන්නුම් කරනවා. ‘සහෘද’ කියන යෙදුමේ තේරුමත් වටහා ගැනීමට සිදුවෙනවා. ‘සහෘද’ කියන්නේ සුහද බව හැඟවීමයි. “සමාන හදවතක් ඇති” යන්න තව පුළුල් අර්ථයකින් කියැවෙනවා. ‘සහෘද හැඟීම්’ ඉතා වටිනා ප්‍රතිපෝෂණ සාධක වශයෙන් සැලකෙනවා. ඉන් අදහස් කෙරෙන්නේ සිදුවන යම්කිසි සන්නිවේදනයක් කෙරෙහි ග්‍රාහකයා (Receiver) දක්වන අවනත බව හා අවනත නොවීම හැඟවීමය. කෙළින්ම යමක් පැවැසීම වෙනුවට ග්‍රාහකයා ඇතැම්විට තම ප්‍රතිචාර දක්වන්නේ වක්‍ර මාර්ගයකින්. අපට තවත් නිදර්ශන ගැනීමට පුළුවන්. අපි හිතමු ඔබ පුවත්පතකට හෝ වාර ප්‍රකාශනයකට, කවියක් හෝ කතාවක් හෝ වෙන යම් ලේඛනයක් ලියුවාය කියලා. ඒකේ නිර්මාතෘ ඔබ නම් ඔබ තුළ කැමැත්තක් තිබෙන්නට පුළුවන් ඒ ලේඛනය කියවූ අය හෙවත් පාඨක ජනයා ඒ ලේඛනයට දක්වන ප්‍රතිචාර දැන ගැනීමට.

මේ කාරණය ඉතා සියුම් ලෙස අපට වටහා ගැනීමට සිදුවෙනවා.

එය කියවූ පාඨකයින් හැම කෙනෙක්ම එය ලියූ ඔබට ජංගම දුරකථනයෙන් කතා කරල තමන්ගේ අදහස් දක්වන්නට පුළුවන්. ඒ අතර තමන්ගේ අදහස් ඔබට නොදැක්වුවත් ඔබේ ලේඛනය පළවූ පුවත්පතේ හෝ වාර ප්‍රකාශනයේ කතුවරයාට ලියමනකින් තමන්ගේ අදහස් දක්වන්නටත් බැරි නැහැ. මේ අතර බාගදා සමහරු ඔබ සොයාගෙන ඇවිල්ලා ඔවුන්ගේ අදහස් ඔබට ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙනවා. මේ හැම කාර්යයක්ම සිදුවන හැටි එක අතකින් පුදුමයි කීමටත් පුළුවන්. අනිත් අතට ඒ හැටි පුදුමත් නැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. (Natural Phenomenon) වශයෙන් තමයි ජීව විද්‍යාඥයින් පෙන්නුම් කරන්නේ. ඒ ක්‍රියාදාමය උත්තේජනය (stimulus) හා ප්‍රතිචාර (Response) ක්‍රියාදාමයේම දිගුවීමක් වශයෙන් සලකනවා. දැන් අපට පුළුවන්කමක් තිබෙන්නට ඕනෑ මේ ක්‍රියාදාමය විද්‍යාත්මකව වටහා ගැනීමට කුමක් කළ යුතුද යන්න විවරණය කිරීමට.

අම්මාගේ දරු නැළවිල්ලට කන්දී සිටින කුඩා බිලිඳා ඒ නැළවිලි ගීතය නිසා සුවසේ නිදා ගන්නවා. ඒ දරු නැළවිල්ලෙන් කියවෙන දේවල් ඒ බිලිඳු දරුවාට වැටහීමක් නැහැ. ඒත් සුවසේ නිදා ගැනීම යන්න ප්‍රතිපෝෂණයක්. ඒවාගේම ප්‍රතිචාරයක්. මේ නිසා අපි එක්තරා නිගමනයකට එනවා. ඒ මොකක්ද නිගමනය? ‘ප්‍රතිචාරයට ප්‍රතිපෝෂණය’ (Response is feedback) අපි ප්‍රතිචාර දක්වන්නේ කිනම් සන්දේශයකට ද (Message) යන්න නිගමනය වන්නේ මානව සමාජය පැතිරී ඇති මාධ්‍ය ලෝකයට (Media World) අනුකූලවය. ප්‍රතිපෝෂණ කාර්යය විටෙක සංවිධිතයි (Organiser) තවත් විටෙක අසංවිධිත (disorganised) බවත් කියන්නට පුළුවන්.

මතක තබාගන්න අප ලියන කියන, කරන කටයුතුවලට ඊට හසුවන අය දක්වන ප්‍රතිචාර අනුව අපේ කටයුතු වඩාත් සඵල කර ගැනීමට මඟ පෑදෙනු නිසැකය!

Comments