ජීවිතයට සොඳුරුබව කැන්දන යහපත් විවාහයට මෙන්න මඟ | සිළුමිණ

ජීවිතයට සොඳුරුබව කැන්දන යහපත් විවාහයට මෙන්න මඟ

ත අතීතයේ ඉතාමත් සෞභාග්‍ය සම්පන්න රටක් වුණ ශ්‍රී ලංකාවේ දික්කසාද නඩු තිබුණේ ම හැකි තරම් පවුල් අතර ආදරය සමගිය පිරී ඉතිරී පැවති බවට සාක්ෂි ඇත. එක පවුලක දරුවන් දස දෙනෙකු සිටින බවට ඉතා ආඩම්බරයෙන් කතා කළ ද අද වනවිට දරු දෙදෙනෙකු සිටීම ද ඇතැම් මවුපියන්ට හිසරදයක් වී තිබේ. ලෝකයේ කොතැනක හෝ ඉපදී සිටින ස්ත්‍රියක් - පුරුෂයෙකු හා යුග දිවි ගමනට එකතු වන්නේ සංසාරයේ ඇති හුරුව හා බැඳීම නිසා බව තේරුම් ගත හැක්කේ අතළොස්සකට පමණයි. පති පතිනියන් ලෙස ජීවිතයට නව පණක් එක්කරගෙන දිවිය පුරාම ඔවුන් එකිනෙකාට උපකාර කරමින් ආදරය කරමින් ගෞරව කරමින් දරුවන් තනමින් ඔවුන්ට ද ලෝකයක් තනා දෙමින් කරන මෙහෙය සුළු පටු නොවන බව අවබෝධකර ගැනීම ඉතා අපහසුයි.

මෙලෙස එකිනෙකාට වඩාත් සුදුසු සම්ප්‍රදායික ක්‍රමයක් පොරොන්දම් බැලීම හෙවත් කේන්දර ගැළපීම ලෙස අනාදිමත් කාලයක සිට එන ජ්‍යොතිෂ්‍ය ක්‍රමවේදයන්ට මුල්තැනදී කටයුතු කිරීමත් අද දක්වාම පැවැත එන සමාජ සම්මත ක්‍රමයකි.

අද මෙන් පෙම් සබඳතා ඇති කරගෙන වසර ගණන් ඇසුරු පවත්වා විවාහය ගැන තීන්දු තීරණ ගැනීම එකල අතීත ජන සමාජය තුළ තිබුණේ ම නැත.

ස්ත්‍රියකට ගැළපෙන පුරුෂයා සොයාදීම පුරුෂයාට ගැළපෙන ස්ත්‍රිය සොයාදීම වැඩිහිටියන්, දෙමාපියන් විසින් ඉටු කළ පරම යුතුකමක් සේ සැලකූ බැවින් විවාහයකට පොරොන්දම් බැලීම, අනිවාර්ය ක්‍රියාවක් බවට පොදු සම්මතයක් බවට තීන්දු කරගෙන තිබීමත් සෑම ගමකටම නැකැත් රාල කෙනෙකු හෝ වෙද මහතකු, වෙද හාමුදුරු කෙනෙකු සේවය සැපයීමත් සුලබව දක්නට තිබිණ.

විවාහ යෝජනා ස්ථිර වන්නේ පොරොන්දම් ගැළපීම අනුවයි. බොහෝ යෝජනා විසිර යන්නේ ද මේ හේතුවෙන්. තරුණ තරුණියන් ජීවිත පවා අහිමි කර ගැනීමට පෙලඹෙන වඩාත් පීඩාකාරී තත්ත්වයක් මේ තුළින් ඇති වෙයි. අවාහ - විවාහ යනු පාලි වචනයෙන් බිදී ආ වචනයකි. ‘විවාහන්ති‘ යන වචනය විවාහය ලෙස හඳුන්වති. ආවාහ යනු අනුන්ගෙන් ගැනීමයි. විවාහ යනු තමාට ගැනීමයි.

වි ශ්වාසය 
වා සනාව 
හ රි මග දැකීම 
ය හපත් ගති පැවතුම්

වශයෙන් ද මෙකල සමාජය අර්ථ දැක්වීම සිදු කරනු ලබයි.

අනාදිමත් කාලයක සිට විවාහයන් පැවැතී ඇති බවත් ශිෂ්ටසම්පන්න සමාජයකට විශ්වාසය පදනම් කරගත් ක්‍රියාවලියක අවසානය ආදරය, ආරක්ෂාව මත බලපත්‍රයක් ලෙස විවාහය ආරම්භ වී තිබේ.

ක්‍රිස්තු වර්ෂ 6 සියවසේදී චූලෝදර හා මහෝදර නාග ගෝත්‍රික රජුන්ගේ බාල සොහොයුරිය ආගමික චාරිත්‍රානුකූලව විවාහපත් කළ බවට ඉතිහාසය තුළ කියැවේ.

මෙතෙක් ලොව පහළ වූ සියලු බුදුවරුන් ද ඊට පෙර ජීවිතයේදී විවාහ වී දරුවන් පවා ලැබූ බව කියවේ.

විවාහය වර්ග 8 කින් සිදුවෙයි. 

බ්‍රහ්ම විවාහය 
දෛව විවාහය 
ආෂි විවාහය 
ප්‍රජාපත්‍ය විවාහය 
ආසුරා විවාහය 
ගාන්ධර්ව විවාහය 
රාක්ෂ්‍ය විවාහය 
පෛශාව විවාහය යනුවෙනි.

විවාහයක් සිදු කරගැනීමට පළමු වශයෙන් යහපත් සුදුසු බිරිඳක් සියල්ලටම ප්‍රථම තෝරා ගැනීම කළ යුතු යි. එසේ විමසන කල බිරින්දෑවරු ද අට වර්ගයක් ඇත.

1. පද්මිනී බිරිඳ

උතුම් ගුණ ඇති නෙළුම් මල් දෙකක් මෙන් ඇස් ඇති වැඩි උසත් නැති මිටිත් නැති ඕනෑම අ‍යෙකුගේ සිත් ඇදී යන ලස්සන මුහුණක් ඇති වැරදි කාමුක අදහස් නැති තැනැත්තියයි.

2. චිතුනි බිරිඳ

බොහෝ සෙයින් පතිදම් සුරකින චරිතවත් දැකුම්කලු කාමාධික නොවන අන් පුරුෂයන්ට අකමැති කේන්ති නොයන තැනැත්තිය.

3. සාඛිනි බිරිඳ

උසින් මහතින් බොහෝ වැඩි නිතර අන් පුරුෂයන්ට කැමැති කාමාධික ඇස් ඇති නිතර කතා කරන දැඩි රළු වචන ඇති බොහෝ දික්ව වැඩුණ කෙස් ඇති ගුරුවරුන් දෙමාපියන් නොසලකන තැනැත්තිය.

4. හස්තිනි බිරිඳ

හිසෙහි කෙස් අඩු රතුවන් ඇස් ඇති නපුරු රාගාධික අදහස් ඇති, වැඩිහිටියන්ට අකමැති අන් අය වසඟ කරනා සිරුරක් ඇති තැනැත්තිය.

5. චොර බිරිඳ

සොරකම් වැඩෙහි රහසිගතව යෙදෙන, හෙළි නොකරන රහස් ඇති, වැරදි වැඩවලටම හිත යොදන තැනැත්තිය

6. වධක බිරිඳ

නිතර අන් අයගේ දේ සඳහා බලපෑම් කරන ඉල්ලීම් කරන අන් අයට නිතර වධයක් ඇති වන සේ හිරිහැර කරන තැනැත්තිය යි.

7. දාස බිරිඳ

බොහෝ සෙයින් ම මහන්සි වී පවුල් බර සිය උර මතට ගෙන කැපවීමෙන් කටයුතු කරන කාන්තාව මෙම තැනැත්තියයි.

8. මාතෘ බිරිඳ

අම්මා කෙනෙකු මෙන් නිතර ළඟ සිට දුක සැප සොයා හදවතින්ම ආදරයෙන් කටයුතු කරන රසවත් ආහාර පාන සකසාදෙන ගේ දොර අලංකාර ලෙස තබා ගන්නා තැනැත්තියයි.

මේ වර්ග 8 ඇතුළත් නොවන කාන්තාවක්, බිරිඳක් ස්ත්‍රියක් නොමැත. විවාහයේදී මින් සුදුසු අයෙකුමැ තෝරා ගැනීම වැඩියෙන් ම දෙමාපියන්ට මෙන් ම පුරුෂයාට ද වගකීමක් හා අයිතියක් ඇත.

මෙසේ පුරුෂයන්ට සේ ම කාන්තාවන්ට ද ඇති අයිතිය සුරකිමින් කාන්තාවන්ට ගැළපෙන හා දැන හඳුනාගත යුතු පුරුෂයන් ද වර්ග සතරකි.

1. සස ස්වාමියා

සිල්වත් ගති ඇති ආගමට දහමට ලැඳි කිසිවෙකුට බාධා නැති, සැක නොකරන වැඩිහිටියන්ට සලකා ගරු කරන අහිංසක ගති ඇති උසත් නැති මිටිත් නැති මධ්‍යම ප්‍රමාණයට වැඩුණ සිරුරක් ඇති තැනැත්තා.

2. මුව ස්වාමියා

කඩිසර කාර්ය ශූර නැටුම් ගැයුම් කලාවට ලැඳි රස ආහාරයට කැමැති අමුත්තන්ට නිතර සලකන කම්මැළි නැති තැනැත්තා.

3. වෘෂභ ස්වාමියා

මිටි සිරුර ඇති තරබාරු කාමාධික නිතර කෑමට කැමති මනමාල ගති ඇති කාන්තාවන්ට කැමති බොහෝ දරුවන් ලබන තැනැත්තා.

4. තුරඟ ස්වාමියා

විටින් විට නිදාගන්නා, මාන්නාධික, තරබාරු අලස ගති ඇති, බොරු කියා රවටන, කාමාධික අහංකාර අදහස් ඇති තැනැත්තා

සරණ මංගල්ලය, කසාද බැඳීම, කරකාර බැඳීම, හිරයක් ගැනීම, පවුල් වීම, පෙළවහක් කරගැනීම, කටයුත්තක් කර ගැනීම, මඟුල් පරස්ථාව, මඟුල් කන්තුව, සහේට ගැනීම, පවුල් පන්සල් වීම, දීගකෑම, මගුල් තුලා ව, හිර හිදලංකාර ගැනීම

මේ සියලු ආකාරයෙන් ම හඳුන්වන්නේ සුදුසු කලට පැමිණ තරුණ ස්ත්‍රියක් හා පුරුෂයෙක් නියමානුකූලව නීත්‍යානුකූලව සංසාර්ගික ක්‍රියාවලියකට අවසර ගැනීමයි.

මෙයට ගැළපෙන නොගැළපෙන හේතු බොහෝ ඇත. පොරොන්දම් බැලීම තුළින් සිදු කරන්නේ එම කාර්යයයි.

ප්‍රධාන පොරොන්දම් 21 කි. මෙයින් 21 න් අවම වශයෙන් 15 ගැළපීම අනිවාර්ය වෙයි. තව ද ඉන් සෑහීමකට පත්වී විවාහය සිදු නොකළ යුතු යැයි මාගේ මතය වෙයි.

එකොළොස් පොරොන්දම - (11 පොරොන්දම්), අෂ්ඨකූඨ පොරොන්දම (8 පොරොන්දම) ගැළපීම හා 36 කට වර්ග කොට සුබ අසුබ බැලීම සිදු කළ යුතුයි. මෙයින් සියල්ල එකතු කළ අගය සියට 55 ක අවමය නොමැති නම් එම විවාහය සිදු නොකළ යුතුයි. ඊට අඩු වුවහොත් එය වසර 5 කට පමණක් සීමා වුණ විවාහයකි. දරුඵල - ශාරීරික ගැලපීම් - මානසික ගැළපීම් - ලිංගික ගැළපීම් මේවා අනිවාර්ය ගැළපීම් වේ. කිසිදු පිළිවෙතක් කොට මඟහැරිය නොහැකි කර්ම දෝෂ මෙතුළ ගැබ්වී ඇති හෙයින් එම කර්ම දෝෂ බහුල දෙදෙනෙකු විවාපත්වීම අතිශය අන්තරාකාරීවේ.

විවාහයට අදාළ විශේෂ කරුණු හා මෙම දෝෂ වළකාගන්නා අයුරු මීළඟ ලිපිවලින් බලාපොරොත්තුවන්න.

ආචාර්ය වල්පොළ සද්ධානන්ද හිමි

Comments