සුපර් ස්ටාර් වේදිකාවෙන් මතු වී ජනතා සුසුම් මැද නික්ම ගිය ගාමිණී සුසිරිවර්ධන | සිළුමිණ

සුපර් ස්ටාර් වේදිකාවෙන් මතු වී ජනතා සුසුම් මැද නික්ම ගිය ගාමිණී සුසිරිවර්ධන

“ජීවිතය රඟ මඬලකි.අපි එහි රඟන නළු නිළියෝ වෙමු " යන්න ප්‍රකට කියමනකි. තනිව උපත ලබන අප සියල්ලෝ ම දිනෙක ලොව හැර දා තනිව ම යා යුතු ම ය. එය ලෝක ධර්මතාවයි. සැමට උරුම වන එම සත්‍යයට ගරු කරමින් පසුගිය දිනවල කලා ලොව සැමගේ ආදරය දිනාගත් ශිල්පීන් කිහිප දෙනෙකු ම මෙලොව හැරගියහ. සිළුමිණ රසඳුන මේ සටහන වෙන් වන්නේ එවැනි කලාකරුවන් දෙදෙනෙකු වෙනුවෙනි.

 

සිරස සුපර් ස්ටාර් සීසන් 02 තරඟාවලිය හරහා ජනතා ආකර්ශණයක් දිනමින් කලා ලොවට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වූයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.පිළිකා රෝගයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණ ඔහු රසිකයන් සහ හිතවතුන් අතර ජනප්‍රසාදයට පත් ව සිටියේ අව්‍යාජ කලාකරුවෙකු සහ මිනිසෙකු ලෙස ය.

 

ගාමිණි සුසිරිවර්ධන සිරස සුපර් ස්ටාර් තරගාවලියේ 2වන අදියරයෙහි සිවු වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

2007 වර්ෂයේ සිට මේ වන තෙක් වසර 14 කට ආසන්න කාලයක් පුරාවට ස්වතන්ත්‍ර නිර්මාණ රාශියක් සමඟින් ප්‍රසංග වේදිකාව හැඩ කළ , රසික ආදරය බොහෝ සෙයින් දිනාගත් ඔහු සැබැවින් තරු ගුණය දැරූවෙකි. නිතර සිනහවකින් මුව සරසාගත් ඔහු එවක වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ප්‍රහසන ගීත ගායනා කිරීමෙනි.

ගාමිණී සුසිරිවර්ධන ගැයූ දන්නවද මම දුකින්, රතු මැණිකේ, ඔබට කඳුළක් වෙලා ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතරේ ජනප්‍රිය විය.ඔහු ' රතු මැණිකේ ' හා ' නීල ආකාස තාරුකා ' යනුවෙන් ඇල්බම දෙකක් ද නිකුත් කළේ ය.එමෙන් ම රංගන ශිල්පියකු ලෙස ගාමිණී සුසිරිවර්ධන ටෙලි නාට්‍ය කිහිපයක ද රංගනයේ නිරත වීම හරහා ද සිය ප්‍රේක්ෂකයන් පිනවීමට සමත් විය.

ගාමිණී සුසිරිවර්ධන නම් වන අව්‍යාජ නිරහංකාර කලාකරුවා කායිකව සමුගෙන ගිය ද ඔහුගේ නිර්මාණ හරහා ජීවමාන වනු ඇත.

 

 

Comments