ඇසුර | සිළුමිණ

ඇසුර

රුසියානු රජයේ තානාපති කාර්යාලය, කොළඹ රුසියානු කේන්ද්‍රය සහ රුසියානු සාහිත්‍ය කවය එක්ව දැනට වසර 15ක කාලයක් පුරා වාර්ෂිකව පවත්වන “රුසියානු සාහිත්‍ය උළෙල ” මෙවර ද ඔක්තෝබර් 27 වැනි දින ෆියදොර් දොස්තයෙව්ස්කිගේ 200 වන ජන්ම දිනය නිමිති කොට ගෙන පැවැත් වුණි. රුසියානු සාහිත්‍යය නිර්මාණ ලංකාව තුළ ප්‍රසිද්ධියටත්, ප්‍රකාශයටත් පත් කිරීම වෙනුවෙන් පිරිනැමෙන “ලියො තොල්ස්තෝයි සම්මානය” මුලින්ම හිමිවූයේ උඩකැන්දවල සරණංකර හිමියන්ට ය. පසුව එච්. ජී. එස්. රත්නවීර, දැදිගම වි. රුද්‍රිගු සහ පද්මහර්ෂ කුරණගේ යන ලේඛකයන්ට ද එම සම්මානය හිමි වූ අතර විශේෂත්වය වූයේ ඒ සම්මානය ලැබෙන විට එම ලේඛකයන් මෙලොවින් සමුගෙන සිටීම ය.

පසුව ප්‍රගති ප්‍රකාශන මන්දිරයට ද එකී සම්මානය හිමි වූ අතර සිරිල් සී. පෙරේරා, ඩබ්ලියු. ඒ. අබේසිංහ, ගුණසේන විතාන, රංජිත් ධර්මකීර්ති, ආනන්ද අමරසිරි, චූලානන්ද සමරනායක යන ලේඛකයින් ජීවතුන් අතර සිටියදීම ඒ සම්මානනීයත්වයට පත්වූහ. රුසියානු සාහිත්‍ය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් පුළුල් කාර්ය සම්පාදනයක් සිදුකරන ලේඛකයන්ට සිය ජීවිත කාලයේදී එක්වරක් පමණක් හිමිවන “ලියො තොල්ස්තෝයි සම්මානය ” හිමිකර ගැනීමට මෙවර සමත්වූ ලේඛකයන් දෙදෙනා වන්නේ, දශක හතරක පමණ කාලයක සිට රුසියානු සෝවියට් සාහිත්‍ය නිර්මාණ පරිවර්තනයෙන් ද පර්යේෂණ විෂයයිකව ද කටයුතු කරමින් සිටින ආරියරත්න විතාන ශූරින් සහ කරුණාතිලක හඳුන්පතිරණ ශූරින් ය. මේ, ඔවුන්ගේ ඒ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කරන්නට යෙදුණු සංවාදයකි.

පුෂ්කින් කවියාගේ ජීවිතය එහෙම පිටින්ම ඛේදවාචකයක්

•කරුණාතිලක හඳුන්පතිරන

•ඔබේ සාහිත්‍ය ජීවිතයේ මුල් කාලය අද ඔබ දකින්නේ කොහොම ද?

“1979 දී තමයි මම මුලින්ම ලේඛන කලාවට පිවිසෙන්නේ. කවිය තමයි මම ප්‍රියකළ විෂය වුණෙ. “සම්ප්‍රාප්තිය” නම් කාව්‍ය සංග්‍රහය මගේ මුල්ම කෘතිය බවට පත්වන්නේ ඒ අනුවයි. පරිවර්තන කෘති කෙරෙහි මගේ ඇල්ම වැඩි දියුණු වෙන්නෙ ඉංග්‍රීසි භාෂාව වගේම සමහර විට ඊටත් වඩා රුසියානු භාෂාව ගැන ඇතිවු ආසාව නිසා යැයි මා සිතනවා. එකල සෝවියට් කේන්ද්‍රයට නිතර නිතර ගිය මම එහිදි ගුරුවරුන් දෙදෙනෙකුගෙන් රුසියානු බස ඉගෙනගන්න කටයුතු කළා. ඔය විදිහට කාලය ගෙවී යද්දි මම රුසියානු බසින් කවි ලියා ඒ ගුරුවරුන්ට පෙන්නුවා. ඇත්තටම ඔවුන් මාව අගය කළා. ඔවුන් මට අවස්ථාවන් ලබා දුන්නා. ඔය විදිහට තමයි රුසියානු බසින් සාහිත්‍ය පරිවර්තනය කරන්න පසුබිම හැදුණේ.

මුල් වරට කල්අඩිය දුෂ්කර පාසලට ගුරු පත්වීමක් ලැබූ මම එතැන ඉඳලා දිගටම දුෂ්කර සේවා ගුරු සේවයේ යෙදීම නිසා ලිවීමේ කටයුතු එක දිගටම කරගෙන යන්නට බැරි වුණත්. නමුත් මම කෙටි කතා, කවි, ගුවන් විදුලි නාට්‍ය ලිවීමට කාලය හොයා ගත්තා. ගුරු වෘත්තියේ සිටීම නිසා අධ්‍යාපන පොත පත වලට පිටපත් ලියන්නටත් මට අවස්ථාව ලැබුණා. එහිදි, අයිසෙක් නිව්ටන්ගේ හිසට ඇපල් ගෙඩියක් වැටුණ ඒ ගුරුත්වාකර්ෂණයේ කතාව වෙනස් විදිහකට ලියන්න මම උත්සාහ කළා. ඒ අනුව එක නියන් කාලයක කොළ හැලුන ඇපල් ගහක තිබුණු එකම ඇපල් ගෙඩිය තමයි නිව්ටන්ගේ හිසට වැටුණේ. ඒ විදිහට ඉතිරි වී තිබූ එකම ඇපල් ගෙඩිය තමාගේ හිසට වැටීම ගැන නිව්ටන් කල්පනා කරන්න ගන්නවා.“

 

•සෝවියට් සාහිත්‍ය ගැන විශේෂයෙන් ඇල්මක් දක්වන්නට ඔබට විශේෂ හේතුවක් තිබුණ ද?

“සෝවියට් දේශයේ පළවූ බොහෝ සඟරා වගේම ප්‍රව්දා පුවත්පතේ ඉංග්‍රීසි පිටපත ද මම ගෙන්වා ගත්තා. ඒවා කියෙව්වා. ඒ වෙනුවෙන් මට වැය වුණේ සුළු මුදලක්. සෝවියට් සාහිත්‍ය සමඟ නොබිඳෙන සම්බන්ධයක් ඇති කර ගත්තාට වඩා ඇති වුණා යැයි කියන්න පුළුවන්. ඈත ප්‍රදේශවල ගුරු වෘත්තියේ යෙදී සිටි ඒ කාලයේ මම අවිවාහකයෙක්. ඒ නිසා ජීවිත ප්‍රශ්න අඩුයි. බොහෝ රාත්‍රී කාලවල් ගෙවී ගියේ රුසියානු කතා කවි සිංහලට පරිවර්තනය කිරීමේ කටයුතු සමඟයි. මම ඒවා පුවත් පත්වලටත් යැව්වා.

ගුණසේන විතාන, කේ. ජයතිලක යන අය සමඟ පැවැති ජනතා ලේඛක පෙරමුණේ ඇසුර නිසා මට බල්ගේරියානු කෙටි කතා සහ කවි හඳුනාගන්නටත් අවස්ථාව ලැබෙනවා. ඔය අතර කාලයේදි රටවල් 60ක පමණ කවීන්ගේ කාව්‍ය එකතුවක් “හෙට මනමාලිය” නමින් පළකරන්න මම කටයුතු කළා. විශේෂයෙන්ම 88 - 89 කාලවල පැවැති ජරාජීර්ණ දේශපාලන වාතාවරණය නිසා තමයි මෙවැනි උත්සාහයක් ගන්න මම කල්පනා කළේ. එතනදී මුල් වුණේ වඩා හොඳ හෙට දවසක් කියන හැඟීමයි. මේ කාව්‍ය සංග්‍රහය පටන් ගන්නේ දකුණු කොරියානු කවියෙකු වූ කින්චිස්ක් ගේ හෙට මනමාලිය නම් කවියෙනුයි. එය අවසන් වන්නේ ලෙනින් සමයේ විසූ ව්ලැදිමිර් මායාකොව්ස්කි ගේ හෙට මනමාලිය නම් කවියෙනුයි. එකම නමින් පළවුණාට මේ අත්දැකීම් දෙක වෙනස්. කොරියානු කවියා හෙට මනමාලිය දකින්නේ අප වැනිම දුෂ්කරම දේශපාලන වාතාවරණයක් තුළිනුයි. එහෙත් සෝවියට් කවියා එය දකින්නේ ජහග්‍රාහි දේශයක නව බලාපොරොත්තු අතරිනුයි.

පසු කාලයකදී සෝවියට් දේශයේ රටවල් 15කට අයත් කවීන්ගේ කවි එකතුවක් පළ කරන්නත් මම කටයුතු කළා. කවීන් 60කගේ කවි 132 ක් ඔවුන්ගේ විස්තරත් සමඟ එහි ඇතුළත් වෙනවා.“

 

•අලෙක්සන්දාර් පුෂ්කින් කවියා ගැන ඔබට විශේෂ හැඟීමක් තිබෙනවා ද?

“සොවියට් දේශය බිඳවැටී එය රුසියාව වුණාට පසු ලංකාවේ රුසියානු කේන්ද්‍රයත් සමඟ “අලෙක්සන්දාර් පුෂ්කින් - ජීවිතය නිර්මාණ සහ කෙටි කතා සරණිය” කෘතිය පළකරන්න මම කටයුතු කළා. පුෂ්කින්ගේ ජීවිතය පුරාම වේදනාකාරී ඛේදවාචකයක් අපට දකින්න ලැබෙනවා. එහෙත් කල්පිත පුරාවෘත්ත අතර පැවැති රුසියානු කවිය යථාර්ථවාදී මඟට ගෙන ආ ජාතික කවියා හැටියට අලෙක්සන්දාර් පුෂ්කින්ව හඳුන්වා දෙන්න නිකලොයි ගොගොල් වැනි ප්‍රවීිණයන් කටයුතු කොට තිබෙනවා.

ඒ වගේම ගොගොල් ගේ “මළ මිනිස්සු” නම් ප්‍රකට නවකතාවේ වස්තු බීජය පුෂ්කින්ගේ බව බොහෝ අය දන්නෙ නෑ. පුෂ්කින් තමයි ගොගොල්ට ආරාධනා කරන්නේ එය නවකතාවක් වශයෙන් ලියන්න කියලා. ගොගොල් එය මුල්වරට ලියාගෙන ගොස් පුෂ්කින් හමුවේ කියවූ විට පුෂ්කින් කවියා මළ මිනිසකු මෙන් ගොගොල් දෙස බලා සිටියේ යැයි පැවසෙනවා. ඒ මන්දැයි විමසූ විට ඔහු පවසන්නේ කතාවේ ඇති පරාජිත ස්වභාවයට තමන් අකමැති බවයි. අපේ ජාතිය හමුවේ එවන් පරාජිත මානසිකත්වයක් ඇති කිරීම සුදුසු නැති බවයි ඔහුගේ අදහස වුණේ. ඒ නිසා කතාව නැවත ලියන්නට ගොගොල්ට සිදුවෙනවා. අද අපි කියවන මළ මිනිස්සු නව කතාව හාස්‍යෝත්පාදක ස්වභාවයකින් දකින්න ලැබෙන්නේ පුෂ්කින් එහි මුලින් ආ පරාජිත ස්වභාවයට අකමැති වූ නිසායි.

 

•කවියාගේ මරණය නමින් මිහයිල් ලෙර්මන්තොව් ලියූ ඒ කවිය ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

“මිහයිල් ලෙර්මන්තොව් ලියූ “කවියාගේ මරණය” ඒක හරිම සංවේදී කවියක්. මා මුලින් කීවා වගේ පුෂ්කින්ගේ ජීවිතය වේදනාකාරී ඛේදවාචකයන්ගෙන් තොර නොවූ එකක්. ඔහුගේ අකල් මරණය එයත් ඛේදවාචකයක්. ලෙර්මන්තොව් පුෂ්කින්ගේ මරණය නිසා උපන් කම්පනයකින් මේ කවිය ලියා ඇති බව පැහැදිලියි. මා ඒ කවිය අලෙක්සන්දාර් පුෂ්කින් කෘතියට ඇතුළත් කොට තිබෙනවා.

 

•රුසියානු සාහිත්‍යයේ සුරංගනා කතා හා කෙටිකතා ගැන ඔබ සිතන්නේ කුමක් ද?

“රුසියානු සාහිත්‍යයේ සුරංගනා කතා ඒ වගේම ජන කතාවල විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි රුසියානු කලාපයට අයත් විවිධ රටවල්, විවිධ සමාජ ගෝත්‍රවලට අයත් අත්දැකීම් ඒවා තුළින් ප්‍රකාශයට පත්වීම. රුසියානු ළමා කතා සාහිත්‍ය තුළත් එවැනි තත්වයක් දකින්න පුළුවන්. “ආදරය නොදැනෙන ළමයා” නමින් මා පරිවර්තනය කළ රුසියානු කතා සංග්‍රහයට අයත් වන්නේ රුසියාවේ ළමයින් වෙනුවෙන්ම පළකරන “නීෂා” සඟරාවෙන් උපුටා ගත් ජනකතා බව කියන්න ඕනේ. එහි එන චිත්‍ර සටහන්ද මුල්ම චිත්‍රවලින් ලබාගත් ඒවා යි.

“ප්‍රථම ප්‍රේමයේ ස්වප්නය” කෙටි කතා පරිවර්තනය ගත්තම එය විශේෂයි. ඊට හේතුව තමයි දෙවැනි ලෝක යුද්ධයට සහභාගි වූ සොල්දාදුවන් ආපසු ගම් රටවල් කරා පැමිණ තමන්ගේ අත්දැකීම් කතා වශයෙන් ලියා තිබීම. උදාහරණයක් හැටියට එහි එන එක් කතාවක මෙවැනි අත්දැකීමක් හමුවෙනවා. ජර්මන් නාසි හමුදා රුසියාව ආක්‍රමණය කළ අවස්ථාවේ දී ඔවුන්ගෙන් බේරෙන්න දැඩි හිම පතනය නොතකා තම දරුවාද රැගෙන එක් මවක් පලා යන අවස්ථාවේදී හිම කුණාටුවකට අසු වෙනවා. තව දුරටත් යාගත නොහැකි වූ විට, කොළ හැලී ගිය ගසක් පාමුල දී සිය ඇඳුම් ගලවා දරුවා උණුසුම් වනසේ ඒවායින් ඔතා හිම කුණාටුව තුළ සීතලෙන් ගල්වී ඇය මිය යනවා.

පසුව රතු හමුදා නාසීන් පරාජය කොට මේ ප්‍රදේශය හරහා එන විට නිරුවත් ගැහැනියක් හිම මත වැටී සිටින බව දකිනවා. ඒ අසල වූ රෙදි පොදිය තුළ සිටි දරුවා ඒ වන විටත් හුස්ම ගනිමින් සිටින අයුරු ද ඔවුන් දකිනවා. එවැනි මානුෂීය අත්දැකීම් සමූහයක් ඒ කෙටි කතා සංග්‍රහයට ඇතුළත් වෙනවා. මක්සීම් ගෝර්කි ලියූ “ගේ කුරුලු පැටියා” ඇතුළු රුසියානු සාහිත්‍යයට අයත් ළමා කතා රැසක් ද මේ වන විට මම සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. ඒවායේ ඇති විශේෂත්වය තමයි ජීවත්වීම යන්න කොතරම් සංවේදී දෙයක් ද කියලා අවධාරණය කිරීම. ඒ වගේම ජීවිතයට මුහුණ දීමේ වටිනාකම ඉස්මතු කිරීම.

 

•ඔබට ලැබුණු මෙම සම්මානනීය තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

“මෙතනදී වැදගත් වෙන්නේ මා කළ කටයුතු කාර්යභාරයක් හැටියට ගෙන සැලකිල්ලට ලක්කිරීමයි. එය සම්මානයෙන් ඔසවා තැබීමයි. මිනිසුන් සම්මානනීය වීමට නම් ඔවුන් ජිීවිතය පුරා කළ කාර්යභාරයක් තිබිය යුතුයි. ඒ ගැන මා සතුටු වෙනවා.“

--------------------------------

චෙකොෆ්ගේ නාට්‍ය ගැන මම විශේෂ හැදෑරීමක් කළා

•ආරියරත්න විතාන

•සිංහල සාහිත්‍යයට රුසියානු සාහිත්‍ය කෘති පරිවර්තනය වූ ආකාරය ඔබ දකින්නේ කෙසේ ද?

“එක්දාස් නවසිය පනස් ගණන්වලදී විශ්ව විද්‍යාලය මුල් කොට ගෙන රුසියානු නාට්‍ය අනුවර්තන වේදිකා ගත වුණා වගේම මහාචාර්ය සරත්චන්ද්‍ර, ඒ. පි. ගුණරත්න වැනි ප්‍රවීණ ලේඛකයින් අතින් රුසියානු සාහිත්‍ය නිර්මාණ සිංහලට පරිවර්තනය වී තිබෙනවා.

ඒත් ඒ කෘති සිංහලට පරිවර්තනය වුණේ රුසියන් භාෂාවෙන්ම නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවෙනුයි. ඒ නිසාම ඒවායේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් විවේචනයක් ද තිබුණා.

නමුත් පසුව රුසියානු විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා ගිය අයට රුසියානු බස ඉගෙන ගැනීමට සිදුවීම නිසා රුසියානු බසින්ම ඒ සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය වීමක් සිදුවුණා. ඒ නිසා රුසියානු සාහිත්‍ය නිර්මාණ ගැන වගේම ඒ සමාජ ජීවිතය ගැන අපට වඩාත් සමීපව දැනුණා යැයි මා සිතනවා. දැදිගම රුද්රිගු, පද්මහර්ෂ කුරණගේ වැනි ලේඛකයින් අතින් රුසියානු බසින්ම පරිවර්තනය වූ කෘති අපට වඩාත් සමීීපව දැනුණා. ප්‍රගති, රාදුගා වැනි ප්‍රකාශන ආයතන හරහා සෝවියට් දේශයේදීම මුද්‍රණය කළ මේ කෘති සිංහල පාඨකයන්ට අඩු මිලට ලබාගන්න පුළුවන්කමක් තිබුණා. සෝවියට් රුසියානු සාහිත්‍ය ප්‍රබෝධයක් ලංකාවේ ඇති වුණේ එහෙමයි.“

 

•පරිවර්තන සාහිත්‍යකරණය ගැන ඔබේ අත්දැකීම් ෙමානවද?

“අපේ සාහිත්‍ය තුළ මාර්ටින් වික්‍රමසිංහ ශූරින් රුසියානු සාහිත්‍ය නිර්මාණ සිංහලට පරිවර්තනය කළ ලේඛකයෙක් නෙවෙයි. ඒ වුණාට මෙරට පාඨකයන් හමුවේ රුසියානු සාහිත්‍ය හඳුන්වා දෙන්න ඔහුගෙන් ලැබුණු දායකත්වය ඉතාම ඉහළ යි. විශේෂයෙන්ම ජාතක කතාව සහ රුසියානු නව කතාව පිළිබඳව ඔහු කළ අධ්‍යයනය නිසා ජාතක කතා සාහිත්‍ය වගේම රුසියානු සාහිත්‍ය ගැනත් නව මානයකින් බැලීමේ ප්‍රවනතාවක් ඇති වුණා.

ඒ ගැන විවාදයක් නෑ. ඇන්ටන් චෙකොෆ් ගැන ඔහු ලියූ රචනා කිහිපය තුළ වුණත් මානව දයාව අපූරු ලෙසත් සියුම් ලෙසත් දකින්න පුළුවන්.

ඒ අවබෝධය වගේම ප්‍රබන්ධ පරිවර්තන ගැනත් නිවැරැදි වැටහීමක් අපට තියෙන්න ඕනෙ. ප්‍රබන්ධ පරිවර්තනය කියන්නේ ශාස්ත්‍රීය කටයුත්තක් නෙවෙයි. ඒ වගේම ශබ්ද කෝෂයක් තමන් අසල තබාගත් පමණින් නිවැරැදි පරිවර්තන කටයුත්තක් සිදුවන්නේ නෑ. ප්‍රබන්ධ පරිවර්තන යනු නිර්මාණාත්මක කලාවක් බව වටහා ගත යුතුයි.

ඒ අනුව මුල් කෘතියේ එන අරුත දැක්ම පැහැදිලිවත්, නිවැරැදිවත් පාඨකයාට ඒත්තු ගැන්වීමට උචිත පද හා බස්වහර දෙවැනි බසින් තෝරා ගැනීමේ හැකියාවක් පරිවර්තකයාට තිබිය යුතුයි. ඒ විතරක්ම නෙවෙයි පාඨකයා තුළ තියුණු පරිකල්පනයක්, රසභාව ඇති කිරීමේ කුසලතාවක් නැතිව සාර්ථක පරිවර්තනයක් සිදු කරන්න බැහැ. භාෂා දෙකෙහිම ප්‍රයෝග හඳුනාගැනීමට ද ඔහු සමත් විය යුතුයි.

ඒ වගේම මුල් කෘතියෙහි එන වචනයකට සමාන අරුත් දෙන වචනයක් දෙවැනි භාෂාවේ නැත්නම් වචන කිහිපයක් යොදා ගෙන හෝ ඒ අරුත නිර්මාණය කිරීමේ හැකියාවක් ද පරිවර්තකයකුට අවශ්‍යයි.

ප්‍රබන්ධ පරිවර්තනයේදී වියත් බස වගේම අවියත් බස යොදා ගත යුතු අවස්ථා තිබෙනවා. මුල් කෘතියේ අරුත දැක්ම අනුව නූගත් දෙදෙනකු අතර සිදුවන සංවාදයකට වියත් බස යොදා ගැනීම සුදුසු වන්නේ නැහැ. වියත්, සාහිත්‍ය හා අවියත් යන තෙවැදෑරුම් ජනවහර ගැන පරිවර්තකයකුගේ අවබෝධය සාර්ථක පරිවර්තන කටයුත්තකට අවශ්‍යම වෙනවා.“

 

•ඔබේ පරිවර්තන කටයුතු සම්බන්ධයෙන් ඔබ සිතන්නේ කුමක් ද?

“දශක හතරක පමණ කාලයක සිට මම මේ කටයුත්තේ නිරත වී සිටිනවා.

ඇත්තටම ඒක දිග කාලයක්. ඒ කාලය පුරාම මම පරිවර්තනය කළේ මට දැනීමක් ඇති මම විඳගත් කෘති පමණයි. ප්‍රකාශකයින්ගේ වුවමනාවට මම පොත් පරිවර්තනය කරල නැහැ.

සෝවියට් දේශය බිහිවන්න කලින් එනම් පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍ය කෘති මෙන්ම සෝවියට් සාහිත්‍ය කෘති ද මම සිංහලට පරිවර්තනය කරල තියෙනවා. ඒ අතරට සාහිත්‍ය ලිපි, ළමා සාහිත්‍ය කෘති ද අයත් වෙනවා.

අපේ තරුණ වයසේදී රුසියානු සාහිත්‍ය නිර්මාණ වගේම මාක්ස්වාදි පොත පත කියවන්න ලැබුණු අවස්ථාව මම හිතනවා හරිම විශේෂයි කියලා.

රුසියානු සමාජය වගේම විප්ලවීය දේශපාලනය ගැන ලොකු හැඟිමක් ඒ නිසා අපි ලැබුවා.

 

•නමුත් අද සෝවියට් සමාජවාදය තවදුරටත් එදා ඒ තත්ත්වයෙන්ම පවතිනවා යැයි ඔබ සිතනවා ද?

“අද වනවිට ඒ සමාජවාදි කඳවුර බිඳවැටී තිබෙනවා.

නමුත් මා ඒ ගැන සතුටු වන්නේ නැහැ. මම එය දකින්නේ ලෝක දේශපාලනය තුළ සිදු වු ඛේදවාචකයක් හැටියටයි. නව දේශපාලන ප්‍රවණතා සමඟ සමාජවාදයේ වෙනස්කම් අවශ්‍ය නම් විය යුතුව තිබුණා.

ඒත් එය විය යුතුව තිබුණේ සමාජවාදි කඳවුර බිඳ වැටීම තුළ නොවෙයි. පරිවර්තනයන් අපි පිළිගන්න ඕනෙ.

ඒත් ප්‍රතික්ෂේප කිරීම් ගැන අපි වඩාත් කල්පනාකාරි වෙන්න ඕනෙ. සමාජවාදය යල් පිනූ දෙයක් යැයි කෙරෙන විවේචනය මම නම් පිළිගන්නේ නෑ. ඒක හොඳ විවේචනයක් නෙවෙයි.

 

•ඔබ රුසියානු නාට්‍යකරු චෙකොෆ් ගැන විශේෂ හැදෑරීමක් සිදු කොට තිබෙනවා. ඒ ගැන පැහැදිලි කළ හැකි ද?

 

“පූර්ව විප්ලවීය යුගයට අයත් චෙකොෆ් වගේම ඉන් පසු යුගයට අයත් පව්ස්තොව්ස්කි, ලිබින්, යූරි නගිබින් යන ලේඛකයින්ගේ නිර්මාණ ද මම පරිවර්තනය කොට තිබෙනවා. ඒ වගේම ගොගොල්ගේ “මැරේජ්” නාට්‍ය මම “සිකුරු යුද්දෙ” කියල වේදිකාවට ගෙනාව. එය ජනප්‍රිය වුණා. ඒ විතරක් නෙමෙයි “වලසා සහ පරස්තාව” නාට්‍යයත් පාසල් මට්ටමින් රඟ දක්වන්න කටයුතු කළා.

ඒ අතරම කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන්ගේ ඉල්ලීමක් තිබුණා චෙකොෆ්ගේ නාට්‍ය විධි ක්‍රම ගැන හදාරන්න අවශ්‍ය පොත පතවල අඩුපාඩුවක් තියෙනවා, එය සම්පූර්ණ කරන්නය කියලා. “චෙකොෆ්ගේ නාට්‍ය අනන්‍යකරණය” යන කෘතිය මා අතින් ලියවෙන්නේ එවැනි පසුබිමකයි.

චෙකොෆ්ගේ ප්‍රධාන නාට්‍ය නිර්මාණ හතරක් අපිට දකින්න පුළුවන්.

මුහුදු ලිහිණියා, වන්යා මාමා, සහෝදරියන් තිදෙනා සහ චෙරි වත්ත යනුවෙන් ඒවා හඳුනාගන්න පුළුවන්.

එහෙත් මේ අතර ඔහුගේ අර තරම් ප්‍රචලිත නැති තවත් නාට්‍යයක් ද තියෙනවා. පහුගිය කාලයේදී මම එය “ඉවානොෆ්” නමින් සිංහලට පරිවර්තනය කළා.

මේ නාට්‍යයම අනුවර්තනයක් විදිහට එක්දාස් නවසිය පනස් ගණන්වලදී ලංකා විශ්ව විද්‍යාලයේ මැදිහත් වීමෙන් සිංහල නාට්‍ය කලාවට එකතුවෙලා තියෙනවා. නමුත් මා හිතනවා ඉවානොෆ් සම්පූර්ණ සිංහල පරිවර්තනයක් විදිහට ඉදිරිපත් වන පළමු කෘතිය වන්නේ මගේ පරිවර්තනයෙන්ය කියලා.

“ඇන්ටන් චෙකොෆ් ජීවිතය සහ නිර්මාණ” නමින් ද මම කෘතියක් පළකොට තිබෙනවා. ඔහු සම්බන්ධව පළවුණ මුල්ම විමර්ශන කෘතිය හැටියට එය හඳුන්වන්න පුළුවන්. චෙකොෆ් කෙටි නාට්‍ය අටක් ලියා තිබෙනවා.

මම ඒ නාට්‍ය අටම සිංහලට පරිවර්තනය කොට ඒ නාට්‍ය ගැන විශේෂ හැඳින්වීමක් ද සහිතව “කෙටි නාට්‍ය අටක්” නමින් ප්‍රකාශයට පත් කළා.

 

•ඔබේ කාර්යභාරය සම්මානයට පාත්‍ර වීම ගැන සිතෙන්නේ කුමක් ද?

“මා හිතනවා මගේ කටයුතු ගැන සිදු කළ විමර්ශනයකින් පසුව මේ සම්මානය මට ලැබෙන්න ඇති කියලා.

ඒ ගැන මම සතුටු වෙනවා.

Comments