ජ්‍යෙති­ෂ­යෙන් ජය­ගත් හෙළ ගොවි­තැන | සිළුමිණ

ජ්‍යෙති­ෂ­යෙන් ජය­ගත් හෙළ ගොවි­තැන

 

කෘෂිකර්මයේ නියැළෙන ශ්‍රී ලංකාව වැනි රටක අතීතයේ සිට ගොවියා තම ගොවිතැන සශ්‍රීක කරනු පිණිස ගොවිතැන සිදු කෙළේද ජ්‍යෝතිෂය හා අනුබද්ධ වීමෙනි. එහිදී අවිහිංසාවත් සමඟ ඔවුන්ගේ අරමුණ වූයේ ගොවිතැනේ සශ්‍රීකත්වයත්, තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමත්ය. පොහෝ දා ගොවිතැන් නොකිරීම මෙන්ම ජ්‍යෝතිෂයට අනුව කෘෂිකාර්මික කටයුතුවල නියැළුණු ඔවුහු වගා නැකත් මෙන්ම ගොයම් කැපීමේ නැකත ගෙට ගැනීමට පවා නැකැත් බැලූහ.

හෙළ ගොවිතැන හා කාර්මික ගොවිතැන වශයෙන් අද වන විට ගොවිතැන වර්ගීකරණයට ලක්වී ඇත. කාබනික වගාව හෙවත් දේශීය ගොවිතැනට තිබූ සියලු උරුමයන් ක්‍රමයෙන් විනාශ වී ගොස් තාක්ෂණික ක්‍රමෝපායන්ට යොමු වී මේ වනවිට විදේශ රටවලින් ගෙන්වන රසායනික පොහොර වලට ගොවිතැන යට වී තිබේ.

මේ වසරේ සිට නැවත ගොවිතැනට හා ගොවිකමට නව අරුතක් එක් කිරීමට මුල් තැන ගැනීම සුබදායකය. හෙළ ගොවිකමද 90%ක්ම ක්ම රසායන පොහොර - වසවිෂ වලින් ආක්‍රමණය කර තිබීම එම උත්සාහය අසාර්ථක වීමට ප්‍රබල හේතුවකි. වසර 30ක පමණ කාලයක් යුද්ධයක් පැවතීම හේතුවෙන් අප රටෙහි එක කොටසක් රසායනික පොහොරවලින් යම්තාක් දුරට වැළකී සශ්‍රීකව තිබුණ ද ඉතිරි සියලු බිම් කොටස් ගැන සිතීම පවා බිය ගෙනදෙන්නකි.

එකවර කාබනික පොහොර නිපදවා පසට එක්කළ නොහැකිය. එය පරිසර පද්ධතිය හා මිශ්‍ර වෙමින් ස්වාභාවිකව සිදු කරන ක්‍රියාවලියකි. ගවයාගෙන් ලබා ගන්නා ගොම හා මුත්‍රා එහි ප්‍රධාන සාධකයක් වේ.

අප කාහටත් අමතකවී ඇති කරුණක් වන්නේ ආදි අපේ මුතුන්මිත්තන් ඉරෙන් - හඳෙන් පවා ගොවිතැනට වැඩ ගත් බවයි. ඉරෙන් වැඩගත්තා කියමනට හේතුව වන්නේ සූර්ය උදාව අනුව සුභ නැකැත් වලට බෝග සිටුවීම, කුඹුරු වැඩ කිරීම ආදී කෘෂිකර්මයට අදාළ වන සියලු දේ ඉර උදාවේ සිට ඉර මුඳුන්වීම - උග්‍රවීම - අස්තවීම කොටස්වලට බෙදා වර්ෂා කාලය වෙන්කොට හඳුනාගෙන ඒ කාලයේම කෝණ මාසය ලෙස නම් තබා වෙන්කර එම මාසවලදී නිවාස - ගෙපැල් නොසෑදීම, විවාහ කටයුතු නොකිරීම, ලොකු වගා බිම් සකස් නොකිරීම, වැස්සට ඔරොත්තු දෙන වගාවන් පමණක් සිදුකිරීමට ගොවියා වගබලා ගත්තේය.

හඳ ගමන අනුව පොළොව කෙටීම සිදු කළේ පස ආශ්‍රිතව සිටින සියලු ජීවීන්ගේ ආරක්ෂාව සඳහාය. අතීතයේ ගොවියා පුරහඳට බිම් කෙටීම ගස් අතුකැපීම, ගස්කැපීම (දැව පිණිස) සිදු කිරීම සපුරා තහනම් විය. ඒ සියල්ල සිදු කළේ අවසඳ හෙවත් අවපක්ෂයේ අමාවකට අහුවෙන්නට වීම කෙතරම් කාලයට උචිතදැයි බැලීම වටී. පුරහඳ පෑයූ දින සිට දින 14ක් ඉදිරියට ගැනබලා 14/15 දින දෙකටම අසුවනසේ අමාවක පොහොය යෙදේ. අමාවක දින සිට දින 15 ගිය තැන නැවත පුරපොහොය උදාවෙයි. මෙම සඳ ගමනේ චක්‍රය මැනවින් වටහාගත් ගොවියා ඒ අනුව කටයුතු කළේය. මෙම දින 15ක කාලය දෙපැත්තට බෙදා දින 30ක් මාසයක් ලෙස ගැන ගත් කල දින 31 මාසවලදී මඳක් වෙනස්වීමක් සිදුවිය හැකිය.

තවන් දමා සිටුවන බීජ දියට දමන ලද්දේ හඳ මෝරන දිනය හා වේලාව අනුවයි. ඒ පුරහඳ පායන්නට දින 2 1/2කට පෙර දින රාත්‍රී 12ට පසුවයි. මේ සඳහා ලිත කියවා බැලීමට එකල අවබෝධයක් නොවුණු අතර එම කාලය හරියටම හොයා ගන්නේ කැලෑවේ සිටින වෘකයන් සිවලුන් මෙන්ම ගෘහාශ්‍රිත සුනාඛාදී සතුන්ගේ උඩු බිරීමත් සමඟයි. කොතරම් ඥානයක් එදා අතීතයේ අපේ මුතුන්මිත්තන්ට තිබුණාද යන්න එය ස්වභාවදහම හා ගළපාගන්නේ කෙසේද යන්න අදටත් පුදුම දනවන්නකි.

දින 30ක් ඇතුළත පෝය හතරක් උදාවන හෙයින් මේ පොහොය සතරේදී පරිසරයට හානිවන, ජීවීන්ට හානිවන කිසිදු කටයුත්තක් ගොවියා සිදුකළේ නැත. ජනජීවිතය තුළ අවිහිංසාව උපරිම ලෙස පැවතියේය. එම දිනවලදී සිදු කළේ වල්නෙළීම පමණි.

පසළොස්වක පෝය, අව අටවක පෝය, අමාවක පෝය, පුර අටවක පෝය, අව අටවක - අව් + අට + වක. යනු චන්ද්‍රයාගේ (සඳෙහි) පසළොස්වක සිට දින අටක් ගෙවෙන තැනදී සඳෙහි වම්පස සිට දකුණු පැත්තට ක්‍රමයෙන් අඳුරුවන්ට පටන් ගනී. 15 දිනක් පිරුණු කළ අමාවක ලබයි. දකුණ සිට වමට එළිය ඇති වීම ක්‍රමයෙන් දින 7/8 අතර සිදුවී පුර අටවක ලබා 14/15 දිනක් සපිරුණුවිට පසළොස්වක පුරහඳ උදාවෙයි.

කෘෂිකර්මාන්තය හෙවත් දේශීය පාරම්පරික ගොවිතැන සඳහා මෙය ඉතා තදින් බැඳී තිබුණ බව මේ තුළින් මනාවට පිළිබිඹුවේ. පෝය හඳට පක්ෂීන්ට කුසගිනි වැඩිවන අතර වගාවට ඔවුන්ගෙන් වන හානිය ද වැඩිවෙයි. එම කාලයට දුම්මල හුළු එළීම ඇල්ලීම සිදු කරනු ලබන්නේ සතුන්ට හානි කිරීමට නොව වගාවට පැමිණීම අවම කර ගැනීමටයි.

දුම්මල හුළු එළිය යනු - රියන් 21කට අඹරාගත් හණ නූලක් ගෙන එය සකස්කරගත් දිය කොහොල්ල (උණුකර දියකර ගත් පැරණි කොහොල්ල) දුම්මල තෙල් සමඟ මිශ්‍ර කර එයින් හණමුල පොඟවා හිමිදිරියේම දෙදෙනෙකු හුලේ දෙපැත්ත අල්ලා වගාවේ ගෑවෙන පරිදි 3 වරක් ඉදිරියට හා පසුපසට ඇතිල්ලීම සිදුකිරීමයි.

මේ තුළින් ඇතිවන ඇලෙන ස්වාභාවයට හා දුර්ගන්ධයට වගාවේ සිටින කෘමීන්ගේ ඇඟේ තැවරීම හේතුවෙන් උන් ගොදුරු කරගන්න පක්ෂීන්ට අපුල ගතියක් ඇතිවීමෙන් වගාව ආරක්ෂා වෙන බවත් කෘමීන්ගෙන් හා පක්ෂීන්ගෙන් ඇතිවන හානිය අවම වන බවත් අත්දැකීම් බහුල ගොවියා දනී. සමහර පළාත්වල මේ සඳහා කොහොඹ තෙල් මිශ්‍ර කර ගැනීම සිදුකරයි.

ඉවත දමන කෙසෙල් ලෙලි පොහොරක් ලෙස යොදා ගැනීම පිළිබඳව අදටත් පවතින රහසක් ඇත. කෙසෙල් ලෙලිවල ඇති අධික ප්‍රෝටීන හා කාබන් නයිට්‍රජන්, පොස්පරස්, කැල්සියම්, පොටෑසියම් යන මූලද්‍රව්‍යයන්ගෙන් සමන්විත බව නවීන විද්‍යා කෘෂිකාර්මික පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇත. අතීත ගැමියා කෙසෙල් ආහාරයක් ලෙස ගත් පසුව කෙසෙල් ලෙලි හීනියට කපා පැරණි මැටි බඳුනකට දමා ඇළකින් දොළකින් ලබාගත් ජලය ලීටර 3ක් පමණ දමා කට කොළපතකින් වසා සිසිල් වියළි ස්ථානයක රඳවා තැබීම සිදුකරයි. කහ වර්ණ හෝ බොරවතුර පැහැයට හැරුණ පසුව (දින 7කට පසුව) රෙදි කඩකින් පෙරා ගත යුතුයි. දුඹුරු සීනි මේස හැඳි 2ක් පමණ පෙරාගත් ද්‍රාවණයට මිශ්‍රකර හොඳින් දියකර ගන්න. ඉන්පසුව කිසිදු ද්‍රව්‍යයක් මිශ්‍ර කර නොගෙන මිරිස්, තක්කාලි, බටු ආදී කෙටිකාලීන බෝග සඳහා ගස තෙමෙන සේ ඉස ගත යුතුයි. මල් වර්ගවලට ද ඉතා උචිතයි.

සීනි මිශ්‍ර කරගන්නේ ගස්වල සිටින කුඩා කෘමීන් හට මෙම පැණිරසට එන කුහුඹුවන් විසින් ආහාරයට ගැනීමෙන් කෘමි උවදුර මැඬලීමට උපකාරි වෙයි. මේ ඉපැරණි ගැමියා තම ගෙවත්ත සරුකර ගැනීමට වගාව සරුකර ගැනීමට රසායනික භාවිතා ක්‍රම වලින් තොරව සීයට සීයක්ම ස්වාභාවිකව සකසා ගත් පොහොර විශේෂයකි. මේ කාර්ය තවත් විටෙක කෙසෙල් ලෙලි මැටි බඳුනකට ද දමා හොඳින් තම්බා නිවෙන්නට හැර එම ලෙලි ඇඹරුම් ගලක තබා හීනියට අඹාරා තම්බාගත් වතුර සමඟ මිශ්‍ර කර හොඳින් පෙරාගෙන එම දියර පොහොරක් ලෙස එළවළු, මල්, පලතුරු සහිත බෝගවලට යෙදීමත් පැරණි ගැමියා විසින් සිදුකළ උපක්‍රමයකි. යල, මහ, මාස් වශයෙන් කන්න 3ක් බෙදී යන කල එම කාල හේමන්ත - ගිම්හාන - වස්සන ඍතු වශයෙන් වර්ෂයක් අප්‍රියෙල් සිට ආරම්භ වී ගෙවී යන ක්‍රමයක් හා ජනවාරි සිට ආරම්භ වන ක්‍රමයක් අතීතයේ පටන් යෙදී පැවතීය. ඒ දෙක අතර ලොකු වෙනසක් නොමැත.

ප්‍රධාන ආහාර බෝග සඳහා ඉහත කාලයන් ස්ථිර වශයෙන්ම තෝරා ගන්නා ගැමියා ඊසානදිග මෝසම් වැහි, නිරිතදිග මෝසම් වැහි, බක්මහ වැහි පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කටයුතු කිරීමද ස්වාභාවික පරිසරයේ සංවේදී බව හොඳින් හඳුනාගෙන මැනවින් කටයුතු කිරීමේ තවත් එක සන්ධිස්ථානයකි.

සෑම වර්ෂයකදීම සූර්යා පහත සඳහන් රාශිවල ගෝචර කරන කාලවලදී සියලු ශුභ වැඩ අත්හලේ ය.

දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා රවි - ධනු රාශියේය.

මාර්තු 15 සිට අප්‍රියෙල් 14 දක්වා රවි - මීන රාශියේ

ජුනි 15 සිට ජූලි 16 දක්වා රවි - මිථුන රාශියේ

සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා රවි - කන්‍යා රාශියේය.

මෙම කාලයන් කෝණයන් ලෙස සලකා විශේෂ ජීවන ක්‍රම චාරිත්‍ර ඉදිකිරීම් වගාකිරීම් වලින් වැළකී සිටී. හේන් සකස් කිරීම් ආදිය - කුඹුරු සකස් කිරීම් ආදිය පමණක් සිදුකරන්නට යෙදුණහ. යම් යම් අවස්ථාවලදී බහුල වශයෙන් භාවිතා කළ කෙම්ක්‍රම හා ශුභ නැකත් සාදාගත් ආකාරය හා මීළඟ කොටසින් දැනුම බෙදාගනිමු.

වල්පොළ සද්ධාන්ද හිමි

*******************************

ඔක්තෝබර් 17 සිට 23 දක්වා

ඔක්තෝබර් 17 ඉරිදා

17 ඉරිදා 9.52 තෙක් සියාවස නැකත යි.

සුදුසු අකුරු ගො, ස, සි, සු.

ඔක්තෝබර් 18 සඳුදා

17 ඉරිදා 9.52 සිට 18 සඳුදා 10.49 තෙක්

පුවපුටුප නැකත යි.

සුදුසු අකුරු සෙ, සො, ද, දි.

ඔක්තෝබර් 19 අඟහරුවාදා

18 සඳුදා 10.49 සිට 19 අඟහරුවාදා 12.12 තෙක්

උත්‍රපුටුප නැකත යි.

සුදුසු අකුර දු.

ඔක්තෝබර් 20 බදාදා

19 අඟහරුවාදා 12.12 සිට 20 බදාදා 14.01 තෙක්

රේවතී නැකත යි.

සුදුසු අකුරු දෙ, දො, ච, චි.

ඔක්තෝබර් 21 බ්‍රහස්පතින්දා

20 බදාදා 14.01 සිට 21 බ්‍රහස්පතින්දා 16.16 තෙක්

අස්විද නැකත යි.

සුදුසු අකුරු චු, චෙ, චො, ල.

ඔක්තෝබර් 22 සිකුරාදා

21 බ්‍රහස්පතින්දා 16.16 සිට 22 සිකුරාදා 18.55 තෙක්

බෙරණ නැකත යි.

සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.

ඔක්තෝබර් 23 සෙනසුරාදා

22 සිකුරාදා 18.55 සිට 23 සෙනසුරාදා 21.52 තෙක්

කැති නැකත යි.

සුදුසු අකුරු අ, ඉ, උ, එ. එතැන් සිට 24 ඉරිදා දිනය පුරාම රෙහෙන නැකත යි. සුදුසු අකුරු ඔ, ව, වි, වු.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)

 

*************************

රාහු කාලය

17 ඉරිදා සවස 04.25 - 05.55 දක්වා

අලුයම 04.27 - 05.57 දක්වා

18 සඳුදා උදේ 07.26 - 08.55 දක්වා

රාත්‍රි 07.24- 08.54 දක්වා

19 අඟහරුවාදා දහවල් 02.55 - 04.25 දක්වා අලුයම 02.56 - 04.26 දක්වා

20 බදාදා දහවල් 11.55 - 01.25 දක්වා රාත්‍රි 11.55 - 01.25 දක්වා

21 බ්‍රහස්පතින්දා දහවල් 01.25 - 02.54 දක්වා අලුයම 01.26 - 02.56 දක්වා

22 සිකුරාදා උදේ 10.25 - 11.54 දක්වා රාත්‍රි 10.24 - 11.54 දක්වා

23 සෙනසුරාදා උදේ 08.56 - 10.25 දක්වා රාත්‍රි 20.51 - 10.24 දක්වා

 

සතියේ වගා නැකැත්

18 සඳුදා උදේ 06.47 සිට 07.02 දක්වා දකුණ බලා

20 බදාදා උදේ 09.14 සිට 09.42 දක්වා උතුර බලා

22 සිකුරාදා උදේ 06.27 සිට 06.47 දක්වා උතුර බලා

23 සෙනසුරාදා උදේ 07.21 සිට 07.37 දක්වා නැඟෙනහිර බලා

 

 

දිව්‍යමය සුබ මුහුර්ථ

17 ඉරිදා උදේ 09.09 සිට උදේ 09.27 දක්වා දකුණ බලා

18 සඳුදා උදේ 06.57 සිට උදේ 07.09 දක්වා දකුණ බලා

19 අඟහරුවාදා උදේ 09.02 සිට උදේ 09.27 දක්වා නැඟෙනහිර බලා

20 බදාදා උදේ 09.57 සිට උදේ 10.27 දක්වා උතුර බලා

21 බ්‍රහස්පතින්දා උදේ 10.27 සිට උදේ 10.59 දක්වා උතුර බලා

22 සිකුරාදා උදේ 06.57 සිට උදේ 07.09 දක්වා උතුර බලා

23 සෙනසුරාදා උදේ 09.07 සිට උදේ 09.21 දක්වා නැඟෙනහිර බලා

***************

මේෂ • නව ආයෝජනයකට ඉඩකඩ

 

මේෂ ලග්නයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 11, 12, 01, 02 යන ස්ථානවල ගමන් කිරීමේදි එදිනෙදා දිවියේ සුබ ප්‍රාර්ථනා රැසක් සපල වනු පෙනේ. ඒ අනුව උසස් ආර්ථික ලැබීමකට හේතු වන අතර පිටරට යෝග හා සිතේ සතුටුදායක ලෙස කාලය ගත කිරීමට හේතුයි. චන්ද්‍රයාගේ බලය ලග්නයට හොඳින් වැටෙන නිසා කිසිවකුගේ සහායක් හවුහරණක් නැතිව වුවද දියුණුව කරා යාහැකි ගමන් ආරම්භ කිරීමට සමත් වෙයි. හිසේ සෙම දැඩිව දැනෙන කාලයකි.

 

වෘෂභ • ආදායම් තත්ත්වය උසස්වේ

 

වෘෂභ ලග්නයට අනුව මෙම සතියේ චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයේ 10, 11, 12 , 01 යන ස්ථානවල ගැවසීම රැකියාගත යහපතක් අභිවෘද්ධියක් සමඟ අනාගතයට මුහුණ දිය හැකි සතියකි. විශේෂයෙන් තමාට තම කටයුතු නිසි පරිදි කරගෙන යාමට බොහෝ දෙනෙකු වෙතින් සහාය හිමි වනු ඇත. වාහන පල, නිවාස පල හිමි වන අතර ආදායම් තත්ත්වය උසස් වන සතියකි. දණහිසට අපලයි. පපුවේ සෙම වඩයි. සීතල ආහාර පානාදියෙන් ප්‍රවේශම් වන්න.

 

මිථුන • ආගමික කටයුත්තකට මුල් තැන

 

මිථුන ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයට අනුව 09, 10, 11, 12 යන ස්ථානවල ගමන් කිරීම තුළ ඉතා පුන්‍යවන්ත සතියක ආරම්භයකි. විශේෂයෙන් නිවසේ සුවිශේෂි ආගමික කටයුත්තකට මුල් තැන ලැබේ. තම දේපළක් උරුමයක් සම්බන්ධ ලැබීමක් පෙන්වනු ඇත. දෙමාපිය ඥාති හිතවත් බොහෝ අයගෙන් සහාය හිමි වන අතර සිතේ සතුට අභිවෘද්ධිය මතු කෙරෙනු ඇත. තම උරහිසට අගුණ පල කෙරෙනු ඇත.

 

කටක • සැලසුම් සාර්ථකවේ

කටක ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 08, 09, 10 , 11 යන ස්ථාන පසුකර යද්දි සතිය ආරම්භක දින දෙක තුන අසුබ මතු කළද සතිය මැද සිට ඉතා සුබ වෙයි. තමා සැලසුම් කරගෙන ආ කටයුත්තක සාර්ථක නිමාවක් දකින්නට තිබේ. අඹුදරු සහයෝගය නිවසේ එකමුතු ගතිය නිසා සාර්ථක අනාගතයකට මූලාරම්භය වැටෙනු ඇත. කෙසේ හෝ තුනටිය ආශ්‍රිත අපල මතු කෙරෙන නිසා උඩ නැගීම්, බිම පැනීම් ආදියෙන් ප්‍රවේශම් වන්න.

 

සිංහ • මංගල උත්සව

 

සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 07, 08, 09, 10 යන ස්ථාන පසුකර යද්දි සතිය ආරම්භ වන්නේ කිසියම් මංගල උත්සවයක් ද සමගිනි. තම සිතැඟි පරිදි කටයුතු සාර්ථකවේ. තම ආදරවන්තයා - ආදරවන්තිය පිළිබඳ විශ්වාසය තහවුරු කෙරෙන සතියක් වන අතර බොහෝ දුර පළාතකට යෑමට සිදුවීමෙන් අතමිට හිඟ වන වියදම් අධික කරන සතියක් ද වනු ඇත. හිසේ කැක්කුම් වේදනා මතු කෙරෙන සතියකි.

 

කන්‍යා • අධ්‍යාපන කටයුතු අඩාළවේ

 

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා ගමන් කරනුයේ 06, 07, 08, 09 යන ස්ථානවල නිසා සතිය මුලත් සතිය අගත් ඉතා අප්‍රසන්න සිදුවීම් කීපයකට මුහුණදෙන සතියකි. තම අධ්‍යාපනික කටයුතු අඩාළ කෙරෙන සිදුවීමකට මුහුණ දීමට සිදුවන අතර එය තම මවුපාර්ශ­්වයේ කෙනෙකුට සිදුවන විපතක් පිළිබඳ සිදුවන්නකි. තම යටිබඩ හා තුනටිය ආශ්‍රිත උවදුරු පෙන්වයි. ශරීර සෞඛ්‍යය අතින් පිරිහෙන ලකුණු පෙන්වයි.

 

තුලා • කාර්ය බහුල සතියකි

 

තුලා ලග්නයට අනුව චන්ද්‍රයා 05, 06, 07, 08 යන ස්ථානවල ගමන් කිරීමේදී දරුවන් අපේක්ෂා කරමින් සිටින අයට වාසනාවන්ත දරු සම්පත් ද ආර්ථික ප්‍රතිලාභ - පිටරට යෝග මෙන්ම තම දූ දරුවන්ගේ කටයුතු නිසා කාර්ය බහුල වන සතියකි. තම සිතැඟි ඉටුවන අතරමඟ නතරකර දමා තිබූ ව්‍යාපාර කටයුත්තක් නව පණකින් යළි ක්‍රියාවට නැංවෙනු ඇත. මුදල් අතින් පිරිස් බලය තහවුරු කෙරෙන සතියක් ද නිසා තම අදහස් කීපයක් මුඳුන්පත් කර ගැනීමට හැකිවේ.

 

වෘශ්චික • රැකියා අභිවෘද්ධිය

 

වෘශ්චික ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 04, 05 , 06, 07 යන ස්ථාන පසුකර යාම ඉතා සුබවාදී වෙයි. වාහන ලාභ, නිවාස ලාභ මෙන්ම රැකියා ස්ථානගත අභිවෘද්ධිය ද හිමි වෙනු ඇත. තම නිවසේ උත්සවශ්‍රීයක් උසුලන නිසා කාර්ය බහුල සතියකි. තමාගේ නිවසට පැමිණෙන ආගන්තුක අයෙකු තමාගේ ඕනෑ එපාකම් සොයා බලා අඩුපාඩු රැසක් සපුරාලීමට සමත් වෙයි. තම මවු පාර්ශ්වයේ අයෙකුට සතිය අග බාගයේදී ගැටලුවකට මුහුණ දීමට සිදුවේ.්‍

 

ධනු • නීති ගැටලු ඉවතට

 

ධනු ලග්නයට අනුව සතිය ආරම්භ වන්නේ 03, 04, 05, 06 යන ස්ථානවල නිසා තමාට හිමි වන්නට තිබී අහිමි වූ නිවසක් ඉඩමක් තමාට හිමි වෙයි. කලක් පැවති නීති ගැටලු නිරාකරණය වේ. තම නිවාස අලුත්වැඩියා කටයුත්තකට නැඹුරුවේ. වියදම ඉහළ යන අතර ආදායම ඉතා සුළු මට්ටමෙන් සිදුවේ. එදිනෙදා තම කටයුතු තමාගේ රුචි අරුචිකම් අනුව කරගෙන යාමට හැකිවේ. උරහිස හා යටිබඩ ආශ්‍රිත අසනීප තත්ත්වයක් තිබේ.

 

මකර • ලොතරැයි ජය

මකර ලග්නයට අදාළව මෙම සතියේ ඔබ කේන්ද්‍රයට අනුව 02, 03, 04, 05 යන ස්ථානවල ගමන් කිරීම හදිසි ධන හිමිකම් පෙන්වයි. ලොතරැයි ජයග්‍රහණ පවා හිමිවෙනු ඇත. උගුරේ, පපුවේ සීතල හා එබඳු ආසාදිත මතුවේ. තම සතියේ ඇරඹුම ඉතා සාර්ථක එකක්. කලක් තිස්සේ සැලසුම් කරගෙන ආ ව්‍යාපාර අංශයේ උසස් සාර්ථකත්වයක් දැක ගන්නට හැකිවේ. තම මවට ඒරාෂ්ඨක හිමි විය හැකි නිසා කල්පනාකාරී වන්න.

 

කුම්භ • දේපළ ඉඩකඩම් ලාභ

කුම්භ ලග්නයට අදාළව ඔබට මෙම සතියේ ඉතා සුබයි. චන්ද්‍රයා 01, 02 , 03, 04 යන ස්ථානවල ගමන ඒ තරමටම වාසනාවන්තයි. විශේෂයෙන් සිතේ පැවති අවුල් මානසිකත්වයට විසඳුම් ලැබෙනු ඇත. හදිසි ධනය දේපළ ඉඩකඩම් - හදිසි ලැබීම් රැකියා ස්ථානගත අභිවෘද්ධිය හිමිවේ. කෙසේ නමුදු කලා කටයුතුවල නිරතවන අය සිටී නම් ඔවුනොවුන්ට බැබළෙන තරු ලෙස සමාජයේ කැපී පෙනෙන්නට අවස්ථාව උදාවේ.

 

 

මීන • වගකීම් රැසක්

මීන ලග්නයට අනුව මෙම සතියේ චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අදාළව පිහිටන්නේ 12, 01, 02, 03 යන ස්ථානවල නිසා සතිය ආරම්භය වගකීම් රැසකට මුහුණ දීමට සිදුවේ. පැරණි දේ නිසි පැවැත්මකට අනුව අලුත්වැඩියා කටයුත්තක නියැ­‍ෙළන සතියකි. තම ඥාති සබඳතා පුළුල් වන තමාගේ ජීවනෝපාය සරිකෙරෙන තත්ත්වයක කොයි කාගේත් සහාය හිමිවන නිසා කාගේත් ප්‍රසාදය හිමිවේ. පාදයේ වළළුකර, යටිබඩේ දෝෂ මතුවන නිසා කල්පනාකාරී වන්න.

 

Comments