ජංගම දුරකතනයෙන් කෝවිඩ් පරික්ෂාවට ඇප් එකක් | Page 2 | සිළුමිණ

ජංගම දුරකතනයෙන් කෝවිඩ් පරික්ෂාවට ඇප් එකක්

 

තමන්ට කොරෝනා අසාදනය වී ඇත්දැයි සැක හැර දැන ගැනීමට තමාටම හැකි නම් එය උපයෝගීතාවට කරුණකි. පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවකින් තොරව එය සිදු කර ගැනීමට සෙල්ෆ් ෂීල්ඩ් (self-shield) හෙවත් "කෝවිඩ් 19 එරෙහි ස්මාර්ට් පළිහ" යෙදවුම මගින් ඔබට අවස්ථාව හිමිව තිබේ.

 

මේ සඳහා ඔබ කළ යුත්තේ, මෙම යෙදවුම ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් බාගත කර ගැනීම පමණි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කෙරෙන කෝඩිඩ් ප්‍රතිකාර සේවා පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය ( HISSL) සහ ඩිජිටල් සෞඛ්‍යය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය ( CWCDH ) එක්ව මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.

මෙම යෙදවුම බාගත කරගන්නා අයකුට කිසිදු මුදලක් වැය නොකර තමන්ගේ සෞඛ්‍යය පරීක්ෂාව සිදු කර ගැනීමට අවස්ථාව හිමි වන අතර කෝවිඩ් 19 සම්බන්ධව සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් සිදු කෙරෙන විමර්ශන ක්‍රියාවලියට ද සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වේ.

සෙල්ෆ් ෂීල්ඩ් යෙදවුම නිර්මාණය කර ඇත්තේ, ඩිජිටල් සෞඛ්‍යය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානයට සම්බන්ධ වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව සහ කළමණාකරණය යන ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥයන් පිරිසක් විසිනි. මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය පණ්ඩුල සිරිබද්දන යි. ඔහු ප්‍රකාශ කරන පරිදි සෙල්ෆ් ෂීල්ඩ් යෙදවුම නිර්මාණය කරනු ලබන්නේ, කොවිඩ් වසංගතය මෙරටට පැමිණි මුල් අවදියේ දී ය. මෙය නිර්මාණය කිරීමේ දී මූලික වූ ප්‍රධාන කරුණක් වන්නේ, වසංගතය දරුණු තත්ත්වයක ට පත් වුවහොත්, එයට ගොදුරු වන්නන්ට පහසු මාර්ගයක් මඟින් තමන් ආසාදිතයෙක් ද නැති ද යන්න දැන ගැනීම සඳහා උපකාරයක් ලෙසයි. එහිදී නිවසේ සිට රෝගී තත්ත්ව පිළිබඳ විමසා බලා අවශ්‍ය අවස්ථාවක පමණක් රෝහල්ගත කිරීමේ කාර්යය ලෙසත් අවධානය යොමු කර ඇති බව වෛද්‍ය පණ්ඩුල සිරිබද්දන පවසයි.

යෙදවුම නිර්මාණය කිරීමේ දී මූලික උපදෙස් ලබා දීමට ඩිජිටල් සෞඛ්‍යය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මහාචාර්ය වජිර දිසානායකගේ ද සහය නිර්මාණ කණ්ඩායම ට ලැබී ඇත.

මෙය නිර්මාණය කළ මුල් අවදියේ දී නිරෝධායන මධ්‍යස්ථාන තුළ භාවිත කර ඇති අතර ඇතැම් ආයතන ද තම සේවකයන්ගේ කොවිඩ් රෝගී ලක්ෂණ පරීක්ෂණ සඳහා යොදාගෙන ඇත.

වෛද්‍ය පණ්ඩුල සිරිබද්දන පෙන්වා දෙන පරිදි මෙම යෙදවුම හරහා එය භාවිත කරන්නකුට තමන්ගේ රෝගී ලක්ෂණ තමන්ගේ ම දැනුම අනුව ඇතුළත් කිරීමේ හැකියාවක් ද පවතී. සුළු රෝගී තත්ත්වයන්

(ගඳ , සුවඳ , උණ) මෙන් ම බරපතළ රෝගී තත්ත්වයන් ද ( හුස්ම ගැනීමේ අපහසුව, පපුව වේදනාව, අප්‍රාණික වීම) යෙදවුම ට ඇතුළත් කළ හැකිය. ඒ සඳහා පින්තූර මාර්ගයෙන් රෝගී ලක්ෂණ ලකුණු කිරීමේ පහසුකම් ද සෙල්ෆ් ෂීල්ඩ් යෙදවුම සතු ය.

මෙහි ඇති සුව්ශේෂත්වයක් වන්නේ, ශබ්දය හරහා කෙනෙකුගේ හුස්ම ගැනීමේ කාර්යය සාධනය ඇගයීමට ඇති හැකියාවයි. මෙය බාගත කරගන්නා කෙනකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කොවිඩ් සම්බන්ධයෙන් සිදු කෙරෙන වෛද්‍ය පරික්ෂණ ජාලයට ද ඇතුළත් වීමේ පහසුකම ද හිමි වන අතර එසේ ඇතුළත් වන අය විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මඟින් නිරීක්ෂණය කරයි. එහිදී, ප්‍රස්ථාර මඟින් රෝගී තත්ත්වයන් නිරීක්ෂණයට ලක් වන අතර යම් බරපතළ තත්ත්වයක දී රතු නිවේදනයක් නිකුත් කරනු ලබයි. එවැනි අවස්ථාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරයෙකු රෝගියා අමතා අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබීම සෙල්ෆ් ෂීල්ඩ් යෙදවුම මඟින් කෙරෙන තවත් විශේෂ කාර්යයකි.

මේ වන විට මෙම යෙදවුම 25000 ක ට අධික පිරිසක් බාගත කිරීම් සිදු කර ඇති අතර ඕනෑම කෙනකුට තමන් කැමති අවස්ථාවක එයින් ඉවත් වීමේ අවස්ථාව ද සලසා දී තිබේ. තමන්ට කොරෝනා වැලඳී ඇත්දැයි සැකෙන් බියෙන් පෙළෙනවා වෙනුවට සෙල්ෆ් ෂීල්ඩ් යෙදවුම බාගත කර ගනිමින් පරීක්ෂණය තමන් විසින් ම සිදු කර ගැනීමට මේ සුදුසු කාලයයි.

Comments