බොහෝ දෙනා වටිනාකමක් නැති වීදුරු කැබලිවලට රැවටෙනවා දියමන්ති කියලා | සිළුමිණ

බොහෝ දෙනා වටිනාකමක් නැති වීදුරු කැබලිවලට රැවටෙනවා දියමන්ති කියලා

ප්‍රවීණ ලේඛක නිහාල් පී. ජයතුංග

සාහිත්‍ය නිර්මාණය කියන්නෙ ම එක්තරා කැරැල්ලක ප්‍රතිඵලයකි. ඒ ගැටුම, කලහකාරීත්වය ගැන බොහෝ නිර්මාණකරුවන් දන්නේ නැත. තමන් සතු කැරලිකාරීත්වය හෝ එහි පරිමාව බොහෝ නිර්මාණකරුවන් සිය ජීවිත කාලය පුරා හෝ අවබෝධ කර ගන්නේ ද නැත. තමන් සතු ඒ කැරලිකාර මූල හඳුනා ගන්නේ නම් නිර්මාණකරුවාට තමන්ගේ ක්‍රමය, බලය හඳුනාගත හැකියි.

නිර්මාණකරුවකුට තමන් ජීවත්වන පරිසරය පුපුරවා හරින්නට හැකිය. සාමකාමී කැරැල්ලෙන් නිර්මාණකරුවන්ට කොතෙක් නම් දෑ කළ හැකිද? නිර්මාණකරුවාගේ ප්‍රබන්ධ ජීවිතය සැබෑ ජීවිතය හා ඝට්ටනය කරන අවස්ථාවක් උදා කරගත හැකි නම් නිර්මාණයේ උච්චතම තලය වන්නේ එය ය. දාර්ශනිකයකු හෝ චින්තකයකු නොවුණ ද ලේඛකයා ද නව සිතුවිලි උපද්දන්නෙකි. උපකල්පන, පරිකල්පන සඳහා ඉඩහසර පෑදෙන්නේ පවතින තත්ත්වයනට අනුගත නොවී තමාගේ ම චින්තනයක් අවදි කරගත හැකි වූ විට ය. එකී චින්තනය නිකම්ම බිහි නොවේ. එය තමා විඳි, විඳ වූ පරිසරයෙන් බිහිවන්නකි. මේ සැබෑව සියලු නිර්මාණකරුවන්ට පොදු කරුණකි. මිනිස් ජීවිතයේ විවිධ අවස්ථා, ඔහුගේ ජීවන ගැටලු, රැකියාව, විවාහය, මරණය, සංයෝගය, වියෝගය ආදිය නවකතාකරුවාට වස්තුබීජ සපයන බව සැබෑ ය. ඒ වස්තුබීජ තවකකුගේ ජීවන සුබ සිද්ධිය වෙනුවෙන් පරිකල්පනයේ දවටා ලබා දිය හැකි නම් නිර්මාණකරුවකුගේ විශේෂත්වය එයය. අද අප හා සාකච්ඡාවට එක්වෙන ලේඛකයා ද එවැන්නෙකි. ජීවන සරසවියේ අනේක විධ ගැටලු හා අත්දැකීම් ඔහුගේ ලිවිසැරිය පොහොසත් කළේ ය. ඒවා තව තවත් අයගේ ජීවන පරිඥානය පුළුල් කරනු වස් නිර්මාණ සේ සමාජයට තිළිණ වූයේය. ලේඛකයා නිහාල් පී. ජයතුංග ය. ලිපිකරුවකු සේ සිය වෘත්තීය ජීවිතය අරඹන ඔහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක ලෙස ද කටයුතු කළ අයෙකි.

නිහාල් පී. ජයතුංග 1977 දී ‘ලොව සරසන මල්’ නමැති නවකතාව රචනා කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වේ. අනතුරුව හේ යුග පෙරළිය, පවුරෙන් එහා, රුහිරු පූජා, උතුරට ගිය සෙබළකුගේ කතාවක්, සුරිඳු අබියස, මහවැලි චාරිකා, දිගාමඩුලු වත, කඳුළු සලන ප්‍රතිමාවක් වැනි කෙටිකතා, නවකතා, කාව්‍ය, ශාස්ත්‍රීය කෘති ඇතුළු ග්‍රන්ථ රාශියක් ජනගත කළේ ය. මේ වියමන ඔහුගේ නවතම නිර්මාණ කෘතිය වන සුබාවෝ පිළිබඳවත් ඔහුගේ ලිවිසැරියේ අස්වැන්න වෙනුවෙනුත් ය.

‘මාව කාලය දීර්ඝ කිරීමක් නොකර එකපාර සේවයෙන් ඉවත් කිරීමක් සිදු වුණා. මම මානව අයිතිවාසිකම් නඩුවක් ගොනු කළා ඒ වෙනුවෙන්. ඒ වෙලාවෙදි මගේ දුවලා දෙන්නෙක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් හිටියෙ. ඒ දෙන්නා අඬාපු හැටි දැක්කම තමයි මට හිතුණෙ මේ පොත ලියන්න. මේ නවකතාවට තේමාව වෙන්නෙ සමස්ත සමාජයෙන්ම වේදනා විඳින සමාජය නිසාම ඝාතකයකු වුණු දේශපාලකයකු සහ නිලධාරියකු පිළිබඳ කතාවක්. එම ඝාතකයන්ගේ පීඩනයට ගොදුරු වූ පවුලේ එකම එක ගැහැනු දරුවෙක් දිවි රැක ගන්නවා. එම දරුවාත් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වෙනවා. එහෙත් ඇය ඒ පීඩන දරාගෙන එක ඉලක්කයක් යටතේ යන ගමනක් තමයි මේ කතාවේ ඇතුළත් වෙන්නේ. අසාධාරණයට එරෙහිව සමස්ත සමාජයෙන් පළිගන්නවා වෙනුවට අසාධාරණයට වගකිවයුතු පාර්ශ්ව වෙනුවෙන් සටන් කිරීමයි මේ චරිත හරහා සිද්ධ වෙන්නෙ. මගේ කඳුළු පිට කර ගැනීමකුයි මම ඒ නිර්මාණය හරහා කළේ’.

ජීවිත වියමන් වෙන්නේ කුමන ආකාරයට ද යන්න ගැන කිසිවකුටත් කලින් කිව නොහැකිය. ඒ ගෙවන ජීවිතයේ අත්දැකීම් ද එලෙස ය. ඒවා විවිධ අය විවිධ ලෙස අර්ථකථනය කර ගනිති. අයෙක් ඒ අත්දැකීම් තමන් ලද බවක් හෝ විඳීමක් නොදැනම ජීවන ගමන නිම කරති; තවත් අයෙක් ඒ අත්දැකීම් ජීවිතයට සරසවියක් කර ගනිති. තවකෙක් එය තවත් කෙනකුගේ ජීවන පරිඥානය වෙනුවෙන් සටහන් කර තබති. කෙනකුගේ අත්දැකීමක් තවත් කෙනකුගේ ජීවන ලාලසාව වෙනුවෙන් කුමනාකාරයකට ඉවහල් වේ දැයි කිව නොහැකිය. ඒ ජීවන රටා නිසා යටගිය ජීවන අපේක්ෂා හා බලාපොරොත්තු පිළිබඳ ඉඟි ලැබෙන්නේ ඒවා නිර්මාණයක් සේ සමාජගත වුවහොත් පමණකි. ස්වකීය අත්දැකීම් හෝ සමීපතමයන්ගේ අත්දැකීම් සමාජ ඥානය පිණිස නිර්මාණය වීම වටින්නේ ඒ නිසා ය.

නිහාල් පී. ජයතුංග ලේඛකයාගේ නිර්මාණ වපසරිය හුදු සෞන්දර්යාත්මක අගයකට වඩා සමාජ දේශපාලන කියැවීමට වැඩි නැඹුරුවක් දක්වන බව නිරීක්ෂණාත්මක ව බැලූ විට පෙනේ. ඕනෑ ම නිර්මාණයකට දේශපාලනික ප්‍රවේශය කෙතරම් වැදගත් ද යන්න ගැන මා විමසුවේ එබැවිනි.

‘නවකතාව දේශපාලනික නවකතාවක් නොවුණත් කලා නිර්මාණය දේශපාලන කියැවීමකින් ගලවලා අරගන්න බෑ. සාහිත්‍යය ඇතුළත දේශපාලනය සාකච්ඡා කෙරෙන්නේ නිර්මාණය ඇතුළෙන්මයි. සාහිත්‍යයේ මූලිකම අරමුණ වෙන්නෙ කෙනකුට සතුටක් වින්දනයක් ලබාදීම. ඒක කරන ගමන් යම් දැනුමක්, අවබෝධයක්, ප්‍රඥාවක් ලබාදීම කරන්න පුළුවන් නම් ඒක වටිනවා.

කලාකරුවාගේ සාහිත්‍යකරුවාගේ දේශපාලනය මානව දයාවයි. කිසිම පොතක් අව්‍යාජව දේශපාලනයෙන් තොර වෙන්නෙ නෑ. ඉන්දියානු, රුසියන් ලේඛකයන්ගේ බොහෝ පොත්වලිනුත් මේ අදහස තහවුරු වෙනවා. අවසානයේ ඔවුන් මානව දයාවයි ප්‍රකට කරවන්නේ.

රබී්ද්‍රනාත් තාගෝර් කියන විදිහට ලෝකයේ වැඩිපුරම තියෙන්නෙ වීදුරු කැබලි. ඒවා බාහිරට පේන්නෙ දියමන්ති වගේ. හැබැයි සැබෑ දියමන්තිත් මේ ලෝකෙ තියෙනවා. ඒවා ඉතාම අල්පයි. හොඳ කලා නිර්මාණත් එහෙම තමයි. හොඳ කලා නිර්මාණත් දියමන්ති වගේ. වැඩි හරියක් තියෙන්නෙ බොල් හරසුන් කලා නිර්මාණ. ඒවා හරියට වීදුරු කැබලි වගේ. බොහෝදෙනා ඒ වටිනාකමක් නැති වීදුරු කැබලිවලට රැවටෙනවා දියමන්ති කියලා’.

ජීවත්වීමෙන්, මිනිසුන් ඇසුරු කිරීමෙන් මම දැනගත් රහසක් ඔබට කියන්නම්. පැසුණු හැම මිනිහකු ළඟම රන් හා සමාන වාක්කෝෂයක් තිබේ. එය හරියට මිය යන මොහොතේ පවා පොළොව සරු කරන්නට තම පත්‍ර දානය කරන ගසක් සේ ය. ඔවුහු ජීවිතය ගැන බොහෝ දේ දන්නෝ වෙති. එවන් බොහෝ දේ ඇසුරු කිරීමෙන් හා සොයා යෑමෙන් දත් අපූර්ව ලේඛකයකු වන නිහාල් පී. ජයතුංගගේ නිර්මාණ දිවිය සූක්ෂ්ම කියැවීමකට ලක් කළහොත් යුද්ධය හා වාර්ගික අර්බුදයට එහිදී විශේෂ වටිනාකමක් හිමි වී ඇති සෙයක් පෙනේ. මේ ඒ ගැන ඔහුගේ අදහසයි.

‘2016 ලියූ රුහිරු පූජා නවකතාව සන්නද්ධ ගැටුම ගැන ලියැවුණක්. 1988 මා ලියූ ‘උතුරට ගිය සෙබළෙකුගේ කතාව’ යුද සාහිත්‍යයට අයත් වෙන්නේ නෑ. කමලාදේවි නවකතාවත් එවැනි නිර්මාණයක් මිසක්, යුද සාහිත්‍යයට අයත් නෑ. ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍ය ඉතිහාසය දෙස ගවේෂණාත්මකව බැලීමේ දී, එහෙම දෙයක් සිදුවෙලා තියෙන්නෙ කලාතුරකින්.

ලෝකයේ හැම ගැටලුවක්ම ඇති වුණේ දේශප්‍රේමය, ජාතිවාදය නිසයි. මේවා හරියට වීදුරු කැබැලි වගෙයි. වීදුරු කැබැලි දිලිසෙනවා. හැමතැනම තිබෙනවා. ඒත් මානවවාදය ඊට වෙනස්. හරි ම දුලබයි. බුදු දහම පැත්තෙන් කිව්වොත් මානව ප්‍රේමය කියන්නේ ‘මෛත්‍රියටයි’. එය හරි ම දුලබයි. හරියට දියමන්ති වගෙයි. මානව ප්‍රේමයෙන් තමයි ගැටුම්වලින් තොර සමාජයක් නිර්මාණය කළ හැකි වෙන්නෙ. මේ අදහස ඉදිරිපත් කරලා තිබුණේ මහා කවි තාගෝර්තුමයි. එතුමා මහත්මා ගාන්ධිතුමා සමඟ ඇතිකරගත්තු සංවාදයක් මඟිනුයි මේ අදහස් මතු වුණේ. ගාන්ධිතුමා දේශප්‍රේමියෙක්. එතුමා ඉන්දියානු නිදහස උදෙසා විවිධ ක්‍රියාකාරකම් සිදු කළා. ඒත් තාගෝර්තුමා තර්ක කළේ දේශප්‍රේමීත්වය ගැටුම්වලට මඟ පාදන බවයි. සමාජයේ ගැටුමට මඟපාදන දේශප්‍රේමය වෙනුවට මානව ප්‍රේමය ජන හදවත් තුළ රෝපණය කළ හැකිවන්නේ සාහිත්‍ය කලාවන්ටයි. එනිසා සාහිත්‍ය කලාවේ මැදිහත්වීම මේ සන්දර්භය උදෙසා ඉතා ම වැදගත්.

එසේ කරන්නේ, ජාතික සමගිය, එහෙම නැත්නම් සංහිඳියාව උදෙසායි’.

ඔහු සිය අවට පරිසරයේ ඇති දෑ හා තමා අත්විඳින දෑ නිසා කම්පනයට පත්වෙන්නේ ය. ඒ කම්පනය විසින් නිර්මාණය කරන දෑ එකල සමාජ, ආර්ථික හා සංස්කෘතික ජීවිතයේ කැඩපතකි. එහෙත් පොදුවේ ගත් කල නිහාල් ලේඛකයා මතු කරන සමාජ වගකීම ගැන පොදුවේ කලාකරුවා සවිඥානික ද යන්න ගැන ගැටලුවක් තිබේ. මේ ඒ ගැන ඔහුගේ අදහසයි.

‘එහෙම අය අඩුයි. හරියට අර දියමන්ති අඩුයි වගේ. බොහෝ දෙනා කලා නිර්මාණ හරහා පවතින සමාජය ප්‍රශ්න කරන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. එබඳු ප්‍රබල ප්‍රශ්න කිරීමක් කලා නිර්මාණ හරහා සිදු වුණොත් පාලකයන්ගේ වගේම ජනතාවගේත් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒත් මතවාදයක් කලා නිර්මාණයක් හරහා වෙනස් කරනවාය කියන එක දවසින් දෙකෙන් කරන්න අමාරුයි. ඔබ අසා ඇති ඔගස්ට් ස්ට්‍රින්බර්ග් නමැති ලේඛකයා ගැන. ඔහු ‘ජනතාවගේ කතාව’ නමින් පොතක් ලිව්වා. ජනතාවගේ පීඩනය, පවතින සමාජය ආදිය ප්‍රශ්න කරමින් ඔහු ලියූ මේ පොත සාමාන්‍ය ජනතාව අතර පවා බෙහෙවින් ජනප්‍රිය වුණා. සාමාන්‍ය මිනිස්සු මේ පොත ලාම්පු, ඉටිපන්දම් එළියෙන් පවා කියවන්න පටන් ගත්තා. මේ පොත හඬ නඟා කියවද්දි ජනතාව ඒ වටා ඒකරාශී වෙලා අහගෙන ඉන්න පටන් ගත්තා. ඒත් මේ පොතේ කතා කරන දේශපාලනයේ ගැඹුර පාලකයන්ට තේරුණේ නෑ. ඔහු ලේඛකයාගේ වගකීම ඉටු කරමින් සිටියා. එයින් ජනතාවගේ පෙලඹවීම දුටු ඔහු තවත් පොතක් ලිව්වා. ඒකෙ නම ‘රතු ලාම්පුව’. මේකත් ජනතාව අතර අර වගේම ජනප්‍රිය වුණා. අන්තිමේදි ජනතාව උසිගන්වනවාය යන වරදට ඔහුට සිදුවුණා අත්අඩංගුවට පත් වෙන්න. හැබැයි මේක ආරංචි වුණාම දහස් ගණනින් ජනතාව ඔහු වෙනුවෙන් හඬ නඟන්න පටන් ගත්තා. අන්තිමට මේ ජනතා උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් හැටියට ස්ට්‍රින්බර්ග් ව නිදහස් කරන්න රජයට සිදු වුණා. ලේඛකයාට තිබෙන ආත්ම ශක්තියත්, ආත්ම ගෞරවයත් නිර්මාණ ශක්තියත් ඔහු වළලා දැමිය යුතු නෑ. නිහඬ විය යුතු නෑ.’

නිර්මාණකරුවන්ගේ අත්දැකීම් අළු යට ගිනි පුපුරු සේ වැළලී තිබෙන ඒවා ය. එක්වරම මතුවන නිර්මාණකරුවෝ සිටිති. තවත් සමහරු කාලයක් තිස්සේ තම අත්දැකීම් වැඩෙන්නට ආරලු බීරලු එක්වී හැඩවන්නට දී බලා සිටිති. එවිට සිදුවන්නේ තමා ඇතුළත එතෙක් සැඟවී තිබුණු ශක්තියට නව මානයක්, නැඟිටීමක් එක් වීම ය. එවිට බොහෝ දෙනකුගේ ජීවන පරිඥානය වෙනුවෙන් ඒ අත්දැකීම් පරිකල්පනය හා කැලතී නිර්මාණ බවට පත්වෙන්නේ ය. දේශපාලන, ආර්ථික, සමාජයීය විඳීම්වලින් කම්පනයට පත්නොවන්නේ නම් ලේඛකයකුට සමාජයක් ඥානනය කිරීමට නොලැබෙන්නේය.

පුද්ගල මනෝභාව හැසිරෙන ආකාරය ගැන පෙර තියා අපට අර්ථකතන දිය නොහැකිය. ඒවා හැසිරෙන්නේ ජීවිතයේ ඒවා ඉල්ලා සිටින පරිද්දෙන් ය. ලේඛකයා ද ස්වකීය නිර්මාණ ඔස්සේ විදාරණය කරන්නේ පුද්ගල චරිත ඒ ඒ අවස්ථාවන්හි ඒ අවස්ථාවට අනුකූලව ජීවත් වෙන ආකාරය ගැන ය. නිහාල් ලේඛකයා ද තමා සසල කළ, එමෙන්ම තමාට අත් විඳින්නට ලැබුණු බොහෝ දෑ ගැන සවිඥානික ය. හේ ඒ සියල්ල තමාගේ නිර්මාණ හරහා පාඨක ලෝකයට දෙන්නේ තම හදවත ද ඒ ඔස්සේ ගැහුණු රාවය තවරා ය. කමලා දේවී ඔස්සේ වර්ගවාදයට එරෙහිව ගොඩනඟන හුදෙකලා කැරැල්ලක් බඳු යැයි මා පළ කළ අදහසට හේ සම්පාදිත පිළිතුර මෙසේ ය.

‘ඔව්. ඔබ වගේම තවත් සමහරු එහෙම කියනවා. ඒක එහෙම හිතෙනවා නම් ඒක මගේ අරමුණ සාධනය වීමක්. ලේඛකයා මනුෂ්‍ය සංහතියට ආදරය කරන්නෙක්. වර්ගවාදය නැති කරන්න, සංහිඳියාව ඇති කරන්න කලා නිර්මාණවලට සියුම් හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් වගකීමක් තියෙනවා.’

බොහෝ නිර්මාණකරුවන්ට සිය නිර්මාණ අනුභූතිය පහළ වෙන්නේ තද රිදුමෙනි. තමාට මෙන්ම තමා අවට සිටින්නන්ගේ ද වේදනාව අකුරු බවට පෙරළීමෙන් ලැබෙන සංවේදනාවෙන් ඔවුහු යම් සැනසීමකට පත් වෙති. සෑම කෙනකුට ම කිව යුතු කතාවක් තිබේ. එහෙත් තම සිතේ ඇති හා පෙළන කතාව හැමෝට ම ලියන්නට නොහැකි ය. ප්‍රකාශනයේ යම් හැකියාවක් ඇත්තෝ මේ කතා කියති; ලිවීමේ හැකියාව ඇත්තෝ මේ කතා ලියති. ප්‍රකාශන මාධ්‍යයක් හෝ කියන්නට ලියන්නට හැකියාව තිබූ පමණින් ද මේ කාර්යය ඉටු වූවා යැයි සිතිය නොහැකිය. එය කියවන පාඨකයාට හා අහන ශ්‍රාවකයාට වැදගත් විය යුතුය. ජීවන පරිඥානයක් එකතු කළ යුතුය. එසේ නැතිනම් සංහිඳියාවක් ඇති විය යුතුය. ස්වකීය නිර්මාණ දිවිය ඇතුළත ම හේ පර්යේෂණාත්මක එළැඹුම් ද මඟ හරින්නේ නැත. මාතර යුගයේ මාතර උගත්හු සහ මාතර වංශය ඒ අතරෙන් ප්‍රධාන ය. ඒ කෘති සම්පාදනයේදී මෙන්ම ප්‍රකාශනයේදීත් ඇති වූ ගැටලු පිළිබඳ මම යම් ලේඛනවල කියවා ඇත්තෙමි. ඒ කුතූහලය සංසිඳුවා ගනු වස් මම ඒ පිළිබඳ ඔහුගෙන් විමැසුවෙමි.

‘මම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ලෙස කටයුතු කළා. 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙල පැවැත් වුණේ මාතර කඹුරුපිටියේ. ඒ උත්සවය වෙනුවෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කරමු කියලා එවකට සිටි සංස්කෘතික ඇමැතිතුමාට යෝජනා කළා. ඔහුගේ අනුමැතිය ඇතිව, එවකට අමාත්‍යාංශ ලේකම්වරයා සංස්කාරක මණ්ඩලයක් පත් කර කළා. ලේඛක සුගත් වටගෙදර, මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම, ලේඛක නන්දසේන පලිහක්කාර යන මහත්වරු මේ පොතට විෂය පථය හදලා, මඟ පෙන්නුවා. මෙහි ප්‍රතිඵලයක් වූණේ, ‘මාතර වංශය’ නමින් කාණ්ඩ දෙකකින්, පිටු 1342කින් සමන්විත ශාස්ත්‍රීය ග්‍රන්ථයක් නිර්මාණය වීමයි. විවිධ විද්වතුන් 85 දෙනෙක් ඊට ලිපි සැපයූවා.

මාතර වංශය සම්පාදනය කරන කාලයේ මම කරුණු සොයන්න මාතර පරිපාලන දිස්ත්‍රික්කය පුරා මාස හයක් පමණ මම සංචාරය කළා. මේ අතරතුරදී තමයි මාතර පුරවරයෙන් බිහි වුණු උගත්තු ගැන පොතක් සම්පාදනය කරන්න යැයි මට ඉල්ලීමක් ආවෙ. ඒ අනුවයි 2008 රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙන් ‘මාතර වංශය’ ට අමතරව ‘මාතර යුගයේ මාතර උගත්හු’ කෘතියත් රචනා වුණේ. බොහෝ අභියෝග මැද මේ කෘතිය ප්‍රකාශයට පත් කරන්න අවුරුදු 10ක් විතර ගත වුණා. ශාස්ත්‍රීය පර්යේෂණ සහ ග්‍රන්ථ සම්බන්ධයෙන් තත්ත්වය බොහෝ දුරට ඔහොමයි’.

සිය නිර්මාණකරණය ගැන සේම ජීවිතය ගැන ද නව හා වෙනස් මාන සහිත නිර්මාණකරුවකුගේ නිර්මාණ කියවන, බලන, අසන පාඨකයාට ජීවන පරිඥානය ඇති වෙන්නේ ය. එය හැමෝටම කළ හැක්කක් නොවේ. ඒ සඳහා ඉවසීම, සතතාභ්‍යාසය, ඇසූපිරූ තැන් බහුල වීම සේම සම සිතක් ද තිබිය යුතුය. 71 කැරැල්ලේ විත්තිකරුවකු වූ ඔහු සිපිරි ගෙය සරසවියක් කර ගන්නේ ය. ඒ ඉතිහාසය මා ඔහුගෙන් විමැසුවේ සිය ජීවන පරිඥානය කොතරම් නිර්මාණකරණයට පිටුබලයක් සපයන්නේ ද යන්න ඔබට කියන්නට ය.

‘එහි මට සිරගත වෙන්න වුණේ 71 කැරැල්ල නිසා. එහෙදි මම දැක්කා, තිර පිටපත් ඉල්ලා දාපු පත්තර දැන්වීමක්. මම ඒකට තිර පිටපතක් ලිව්වා. මගේ තිරපිටපත හොඳ ම තිරපිටපත බවට පත්වුණා. ඒත් මම කැරැල්ලෙ සිරකරුවකු වීම නිසා ම, ඒක ඒ මොහොතෙ ප්‍රශ්නයක් වුණා. එවකට විනිසුරු මඬුල්ලේ ප්‍රධානත්වය දැරුවේ ආචාර්ය සරත් අමුණුගම. ඔවුන් ඒ ගැටලුව යොමු කළා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට. මැතිනිය කියලා තිබුණා පුද්ගලයා වැඩක් නෑ. වැඩේ හොඳ නම් දෙන්න කියලා. ඒ තිරපිටපත රජයේ චිත්‍රපට අංශයෙන් වාර්තා චිත්‍රපටයක් බවට පත් කළා. අධ්‍යක්ෂණය කළේ තිස්ස අබේසේකර. ඒ කතාව කුඹුරු පනත සම්බන්ධ එකක්. මම එය නම් කළේ ‘විජය ධජ’ කියලයි. චිත්‍රපටය විනාඩි තිහකට නිර්මාණය කරලා තිබුණා. එය නම් කර තිබුණේ ‘මට තාම මතකයි’ කියන නමිනුයි. ඒ කාලෙ රජයේ චිත්‍රපට අංශයේ තිර පිටපත් බැංකුවක් තිබුණා. මම තවත් පිටපත් කතා ඒකට යොමු කළා. ඉන්පසුව මගේ මුල්ම නවකතාව ‘ලොව සරසන මල්’ ප්‍රකාශයට පත් කෙරුණේ 1976 දී. ඊට පස්සෙ තව පොත් දෙකක් කරන්න බැංකුව මට ණය දුන්නා. ‘යුග‍පෙරළිය’ සහ ‘සදාතන සෙනෙහස’ ඒ නවකතා දෙකයි.

ප්‍රතිභාව විසින් අපූර්ව කරන ලද සමහර සාහිත්‍ය කෘති කියවන විට මට දැනෙන්නේ; මතක් වෙන්නේ දෙහි මලේ සුවඳ ය. ඒවා විඳිය යුත්තේ ද මඳක් ඈතින් සිටගෙනය; සරලව ම කියන්නේ නම් කාලයේ විනිශ්චයට ඉඩදීමෙන් අනතුරුව ය. කලා කෘතියකට නිසි වටිනාකම, ඇගයීම, විනිශ්චය ලැබෙන්නේත් එය නිවැරදි ව පොළෝතලයේ ස්පර්ශ වන්නේත් කාලයාගේ ඇවෑමෙන් ය. නිහාල් පී. ජයතුංග ලිවිසැරිය අප කියවා ගත යුත්තේත් පරම්පරා ගණනක කතා මෙන් ම ඔබ මා පෙළු බොහෝ දෑහි සෙවණැල්ල ද සොයමින් බව අවසාන වශයෙන් සටහන් කර තබමි.

Comments