රිදුමෙන් උපන් ශක්තියෙන් නිර්මාණ උපද්දවන | සිළුමිණ

රිදුමෙන් උපන් ශක්තියෙන් නිර්මාණ උපද්දවන

 

නිර්මාණකරණයට කුමක් හේතුපාදක වන්නේ ද යන්න ගැන කිසිදු පර්යේෂකයෙක් හෝ විශ්ලේෂකයෙක් ගේ මිනුම් දඬුවලට මෙතෙක් හසු වී නැත. මිනිස් සිත ගැන පර්යේෂණ කරන සිග්මන් ෆොයිඩ් පවා නිර්මාණ චිත්තය ඇති වන්නේ කවර අවස්ථාවකදී ද යන්න ගැන පර්යේෂණ කර නැත. ඒවා ඇත්තේ විද්‍යාවට ඔබ්බෙනි.

නිර්මාණ උපදින්නේ ස්වකීය ආධ්‍යාත්මයේ ය. දකින, විඳින දැයක් ඔස්සේ පරිකල්පනය මෙහෙය වී තව බොහෝ පාඨකයන් වෙනුවෙන් එය සටහන් කෙරෙන්නේ ය. ඒ සඳහා තමා දකින දෑ හි වෙන අපූර්වත්වය නිර්මාණකරුවාට ආවේණික වන්නකි. නැත්නම් නිර්මාණකරුවා සේ ම අප ද ඒ සියලු දෑ දකින්නේ ය; විඳින්නේ ය.

එහෙත් ඒවා තව තවත් පාඨක ප්‍රේක්ෂක වින්දනය වෙනුවෙන් ලියන්නට නිමවන්නට නම් පරිකල්පනීය නිමැවුමක් කිරීමට අවැසි අපූර්වත්වය නිර්මාණකරුවාට තිබිය යුතුය. එය පොදු සාමාන්‍ය අපට නැති වුවත් නිර්මාණකරුවා තමා දකින විඳින දෑ ග්‍රහණය කර ගන්නේ අපූර්වත්වයෙන් යුතු ව ය.

දර්ශනපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ යතිවර සම්ප්‍රදායේ නව්‍ය එළැඹුම සටහන් කරමින් සක්‍රිය ව ශාස්ත්‍ර සේවාවේ මෙන්ම නිර්මාණ සාහිත්‍යයේ ද එකසේ නිරත වන හිමි නමකි.

උන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙරට සාහිත්‍ය පෝෂණය කිරීමේ ලා නන් විධ අයුරින් ස්වකීය දායකත්වය ලබා දුන්හ. ගීත සාහිත්‍යය, කාව්‍යකරණය, පර්යේෂණ සාහිත්‍යය ඇතුළු නන්විධ ක්ෂේත්‍ර ගණනාවක නිරත උන්වහන්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලදහ. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධූරන්දර උන් වහන්සේ ස්වකීය නිර්මාණ අනුභුතීන් ගැන වදාළේ මේ ලෙස ය.

‘මම ලියපු ගීත අතර කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන එච්. එච්. ජයවර්ධන සංගීතවත් කළ ‘ රන්කරල්‘ කියන ගීතයට පසුබිම් වුණු අත්දැකීම ගැන මම කතා කරන්න කැමතියි. මම ඉපදුණේ දකුණු පළාතේ වැලිගම ජඹුරගොඩ. ඒ ගමේ ඉන්නෙ වී ගොවිතැනෙන් ජීවත් වෙන අය. ගමෙන් වැඩි ප්‍රමාණයක් කුඹුරු ඉඩම්.

කොච්චර කුඹුරු තිබුණත් අස්වැන්න පිළිබඳ ප්‍රශ්නයක් හැම පාරම එනවා. එක්කො වතුර වැඩිකම; නැත්නම් වතුර නැතිකම. මේ කුඹුරු යායටම වතුර දෙන්නෙ පොල්අතුමෝදර ගඟෙන්. පොල්අතුමෝදර ගඟට කනංකෙ හරියෙන් පාලමක් හදන්න ඕන.

නමුත් මේකට කිසිවෙක් මැදිහත් වෙන්නෙ නෑ. ජනතා නියෝජිතයො ඡන්දෙ ගන්නවා එච්චරයි. පොඩි කාලෙ ඉඳල මම දැක්ක දෙයක් තමයි, මිනිස්සු කුඹුරු වගා කළාට එක්කො පැළ කාලෙදි ගංවතුර ඇවිත් පැළ තැම්බිලා යනවා; නැත්නම් ගොයම් කපන්න ළං වෙද්දි මොනව හරි වතුර ප්‍රශ්නයක් එනවා. ගොවියට මහන්සියේ හැටියට අස්වැන්නක් ලැබෙන්නෙ නෑ. මම ටිකක් ලොකු මහත් වෙලා පොත් කියවන්න පටන් ගත්තම රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොත කියෙව්වා.

සිංහලයා හෑල්ලු කිරීමේ අරමුණින් ලිව්වත් මම හරිම කැමති පොතක් තමයි එදා හෙළදිව. ඒකෙ ගොවියට තිබුණු සමාජ තත්ත්වය ගැන ලියැවිලා තියෙනවා. මඬ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු ය කියලා කියන්න තරම් සමාජ, ආර්ථික වත්පොහොසත්කමක්, මහජන කැමැත්තක් එකල ගොවියට තිබිල තියෙනවා. අද එහෙම එකක් නෑනෙ. මේ සිද්ධි පසුබිම් වෙලා තමයි මට මේ ගීතය ලියැවුණේ.

රන්කරල් පැහේ

ඇල් පවණෙ සැලේ

ගොවිබිසවු මුවෙත්

හසරැල් විසිරේ...

මම කලින් ඒක ලියල තිබුණෙ රජ බිසවු මුවෙත් හසරැල් විසිරේ... කියලා. ඒක රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ තමයි ගොවි බිසවු මුවෙත් කියලා හැදුවෙ. ඒකෙන් ගීතයට එළියක් ආවා.

වී ගොවියාගේ කඳුළ ඇස් දෙකට දැකලා විඳලා තමයි මට මේ ගීය ලියැවුණේ‘

නිර්මාණකරුවා අතිශය සංවේදී ය. තමා අවට ජීවත් වෙන මිනිසුන්ගේ කඳුළ තමාගේ කඳුළක් තරම් දැනෙන්නේ ඒ නිසා ය. ඒ දුක තව බොහෝ දෙනකුගේ ජීවන පරිඥානය වෙනුවෙන් පාතේගම ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියා තබන්නේ ය.

අදත් ගොවි බිමක අස්වැන්න වෙනුවෙන් ජීවිතය දිය කරන දිරිය ගෙවිලියන් දකින මොහොතක් පාසා අපට එකී ගීතය ඇසී නොඇසී හදවතේ නින්නාද වෙන්නේ ඒ නිසා ය.

‘ මං පුංචි කාලෙ ඉඳන් ම හිතපු දෙයක් තමයි ඇයි මිනිස්සු වැරදි කරන්නෙ;. ඇයි මේ තරම් මිනිස්සු බොරුවට කැමති; බොරුව ඇත්ත විදියට කියන්නෙ කියලා. වැරදි කරන මිනිස්සුන්ට පොලිසියෙන් ගහ ගහ අරන් යනවා මං දැකලා තියෙනවා. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගෙ දේශන ඇසීමත්, අපරාධ විද්‍යාවේ මූලධර්ම පොත කියැවීමත් නිසා අපරාධකාරී මානසිකත්වය ගැන සෙවීමේ ආශාවක් මට ආවා. උපාධිය හැටියට අපරාධ විද්‍යාව කිරීමේ ආශාවක් මට තිබුණා. මහාචාර්ය රත්නපාලයන් හමුවෙලා මම ඇහුවා ‘ මම අපරාධ විද්‍යාව කරන්න කැමැතියි, හාමුදුරුනමක් අපරාධ විද්‍යාව විෂයය කළාට කමක් නැද්ද‘ කියලා. මොකද මට ආශාව තිබුණා අපරාධවලට සම්බන්ධ මිනිස්සු ඇයි එහෙම කළේ කියලා කතා බහ කරල බලන්න.

ලංකාවෙ ඒ විෂයය තිබුණෙ නෑ. මගේ අවුරුද්දෙ තමයි ඒ විෂයය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හඳුන්වා දුන්නෙ. රත්නපාලයන් ඇහුවා හාමුදුරුවන්ට පාලි පුළුවන්ද කියලා. මම කිව්වා ඔව් කියලා. එහෙනම් පුළුවන්; ඔබ වහන්සේ ඒකට හොඳ සුදුස්සෙක් කියලා මහාචාර්යතුමා කිව්වා. ඒත් මම අධ්‍යයනාංශයට ගිහින් ඇහුවා. අධ්‍යයනාංශ ප්‍රධානියා ඒකට කැමති වුණේ නෑ; මම ඇහුවා මං උගන්වන වෙලාවට පන්ති කාමරයට ඇවිත් අහගෙන හිටියට කමක් නැද්ද කියලා. ඒකට කැමති වුණෙත් නෑ. ඉතින් මම තේරුම් ගත්තා මම මේ විෂයය ඉගෙන ගන්නවට මෙයා කැමති නෑ කියලා. ඒ නිසා උපාධියට අපරාධ විද්‍යාව කරන්න මට බැරි වුණා. හැබැයි මම දර්ශනශූරී උපාධි පර්යේෂණයට කළේ බුදු දහම සහ අපරාධ විද්‍යාව. මම මගේ කැමැත්ත ඉටු කර ගත්තේ ඒ විදියටයි‘ බොහෝ ලේඛකයන්, නිර්මාණකරුවන් බිහි වෙන්නේ තද රිදුමෙනි. විමලරත්න කුමාරගම කවියා කියන්නේ ලස්සන බිහි වෙන්නේ තද රිදුමෙන් බව ය. එය ඇත්තකි. සමහර නිර්මාණ බිහි වෙන්නේ රිදුමෙනි; තවත් නිර්මාණ බිහිවෙන්නේ සොඳුරු බවෙනි. රිදෙන තැන බිහිවෙන නිර්මාණ ගැඹුරු ය. කොහොම නිමැවුණත් නිර්මාණය විහ්මය ජනකය. පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ ද සිය රිදුම නිර්මාණයක් බවට පත් කරන්නේ ය. ඒ බිහිවෙන කෘතියට රාජ්‍ය සාහිත්‍යය සම්මානය ද හිමි වෙන්නේ ය. විශ්වවිද්‍යාලයෙන් ලද රිදුම මහා පර්යේෂණයකට මඟ පෑදුවේය. බුදු සමය සහ අපරාධ විද්‍යාව කෘතිය නිර්මාණය වන්නේ ඒ රිදුමෙන් උපන් ශක්තියෙනි.

‘මගේ නිර්මාණ අතර මම තවත් කැමැති ක්ෂේත්‍රයක් වෙන්නේ තීරු ලිපි රචනයයි. ඒකත් මම ගොඩක් කැමැත්තෙන් නිරත වෙන ක්ෂේත්‍රයක්. දකින විඳින දෑ ලියන්න මට තැනක් ඕන වුණා. සුනිල් මාධව ප්‍රේමතිලක, තිඹිරියාගම බණ්ඩාර වගේ අය ලියපු තීරු ලිපි මම කාලයක් පුරා ඉතා කැමැත්තෙන් කියෙව්වා.

ඒ විදියේ ප්‍රකාශනයක අවශ්‍යතාවක්, ආශාවක් මට ඇති වුණා. නමුත් හාමුදුරු නමක් ඒ වෙනකොට තීරු ලිපියක් ලිව්වෙ නෑ. මම ලංකාදීපෙ සමන්ත යහම්පත් සමඟ කතා කළා මට තීරු ලිපියක් ලිවීමේ අවශ්‍යතාව ගැන. ඒ අනුවයි යතිවරයකුගේ කටු සටහන් ලිපි මාලාව ලියැවෙන්නේ. මේ ලිපි සඳහා පාඨක සමාජයෙන් බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ අනුවයි මේ ලිපි සංග්‍රහ පොත් වශයෙන් පළ වූයේ. මා ඇසු දුටු විඳි දෑ සමාජගත කිරීමේ අවශ්‍යතාවක් මට එදා ඉඳලම තිබුණා. සෞන්දර්ය සංවාද කෘතියත් එහෙමයි. යම්කිසි යතිවර සම්ප්‍රදායක් හදන්න මම මූලික වුණා. මේ සඳහා මා බොහෝදුරට යොමු වුණේ මා විඳි දෑ අන් අය වෙනුවෙන් සටහන් කිරීමේ අවශ්‍යතාව මතයි. ඒ ලිවීම නිසා මට බොහෝ කරදර, අපහාස විඳින්නට සිදු වුණා. නමුත් මා ඒවාට සැලෙන්නේ නෑ‘ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍යය ඇතුළත යතිවර සම්ප්‍රදාය අපේ සාහිත්‍යයට එල්ල කළ ආලෝකය අතිමහත් ය. ඒ සම්ප්‍රදායේ නව්‍යකරණ ප්‍රවේශයේදී ‘හේ සිද්ධාර්ථ නම් වෙයි‘ ලියමින් කෝ. ආනන්ද හිමියෝ රාජ්‍ය සම්මානිත වූහ. යතිවරයාණ වහන්සේ නමක් නවකතාවක් වෙනුවෙන් රාජ්‍ය සම්මාන දිනාගත් ප්‍රථම අවස්ථාව එයයි. ඒ සම්ප්‍රදායේ දිගු ගමන ඇතුළත විවිධ විවිධ විෂයය ක්ෂේත්‍ර සඳහා වරින්වර ස්වාමීන් වහන්සේලා සම්මානිත වූහ. සම්මාන, ප්‍රශංසා ලැබුණ ද නොලැබුණ ද යතිවරයාණන් වහන්සේලා ස්වකීය නිර්මාණ කෞශල්‍යයෙන් පාඨක සමාජය ඥානණය කරන්නට නිරන්තර වෙහෙස වූහ.

දර්ශනශූරී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ ද මෙකී සම්ප්‍රදානය ඉදිරියට රැගෙන යෑම වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉටු කරන ලද ස්වාමීන් වහන්සේ නමකි. පොදු පාඨක ප්‍රජාව දැනුමෙන් මෙන්ම සවිඥානිකත්වයෙන් ද පෝෂණය කිරීම සඳහා ස්වකීය නිර්මාණ කෞෂල්‍යය භාවිත කිරීම ස්වකීය වගකීමක් තරමට උන්වහන්සේ සලකන්නේ එබැවිණි.

Comments