මම රංග­න­යට සමු­දීලා නැහැ | සිළුමිණ

මම රංග­න­යට සමු­දීලා නැහැ

 

 

නිමන්ති පෝරගේ කලක් පුරාවට බොහෝ දෙනකුගේ ආදරය එකලෙස දිනාගත් රංගන ශිල්පිනියකි. නව සහස්‍රයේ මුල් කාර්තුවේදී වේදිකාව සහ ටෙලිනාට්‍ය ඔස්සේ නිතර දක්නට ලැබුණු ඇය, ඉඳහිට හෝ සිනමාවේද දක්නට ලැබුණි. ‘සුදෝ සුදු’, ‘සබඳ පබිලිස්’, ‘කඩුපුල් මල්’, ‘පියගැටපෙළ’ , ‘මිල්ලෑව වලව්ව’, ‘භාර්යාවෝ’ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක මතකයේ ලැගුම් ගත් ඇය මේ වන විට රංගනයෙන් දක්නට ලැබෙන්නේ බොහෝ අඩුවෙනි.

 

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් කලා ලොවට එකතු වූ නිමන්ති පෝරගේ පාසල් වියේදී නර්තනයට දැක්වූ දස්කම් ඉමහත්ය. කමලා ජයතිලකයන් ඇසුරේ භරත නාට්‍යම් හැදෑරූ ඇය සාමාන්‍ය පෙළ අවදියේම නිළි වරම් ලබන්නේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘කස්තිරම’ ටෙලිනාට්‍යයේ චරිතයක් නිරූපණය කරමිනි.

දශක තුනකට ආසන්න කලා ජීවිතයේ එදා මෙදාතුර රස මතක අවදි කරමින් ඇය රසඳුන සමඟ පිළිසඳරකට එක්වූයේ එදා මෙන්ම ළෙන්ගතුවය.

'කස්තිරම' ටෙලිනාට්‍යයේ රඟපෑමෙන් අනතුරුව මම උසස් පෙළ හදාරා පාසල් අධ්‍යාපනයට සමුදීලා බන්දුල විතානගේ මහතා යටතේ තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවකට සම්බන්ධ වුණා. මම වේදිකා නාට්‍ය සඳහා මුල්වරට සම්බන්ධ වෙන්නේ භානු ප්‍රසන්නගේ 'උත්තමාචාර' කියන නාට්‍යයට වුණත් ප්‍රසිද්ධ වේදිකාවේ මම කැපීපෙනෙන චරිතයක් මුල්වරට කළේ බන්දුල මහත්මයාගේ 'සිකුරු සැණකෙළි' නම් පරිවර්තන නාට්‍යයේ. එහි මගේ චරිතය උප චරිතයක් වුණත් ඒ වෙනුවෙන් මට ප්‍රවීණයන් රැසකගේ ඇගයීම්, සුබ පැතුම් හිමිවුණා. එයින් පසුව තමයි මම 'ඉංගම්මාරුව' ටෙලිනාට්‍ය මාලාවට ආරාධනා ලබන්නේ"

ප්‍රභාවත්, රූමත් රංගන ශිල්පිනියකගේ කලාවේ ගමන් මඟ එසේ ඇරඹෙන විට ඇය හොඳම සහාය නිළියට හිමි රාජ්‍ය නාට්‍ය සම්මානයෙන් අභිෂේක ලබන්නේ 'එව බලව' වේදිකා නාට්‍යය වෙනුවෙනි. 'කැලණි පාලම' සහ 'අහසින් වැටුණු මිනිස්සු' ප්‍රකට නාට්‍ය ද්විත්වයේ ගීතා කාන්ති ජයකොඩි නම් ප්‍රවීණ ශිල්පිනිය කළ ප්‍රබල චරිතයට දිගු කලක් පුරාවට රංගනයෙන් දායක වීමටද නිමන්ති පෝරගේ වාසනාවන්ත වූවාය. “පරාක්‍රම නිරිඇල්ලයන්ගේ 'සුදෝ සුදු' ටෙලිනාට්‍යය මට ලැබුණු හොඳම අවස්ථාවක්. කේයස් රචනා කළ 'සුදෝ සුදු' කවි කතාව සිනමාවටත් නැඟුණා. එහි සුවීනීතා වීරසිංහ කළ චරිතය, නැතිනම් ප්‍රධාන කාන්තා චරිතය වූ හීන් මැණිකාගේ චරිතය නිරූපණය වෙනුවෙන් මට නැඟී එන ටෙලිනාට්‍ය නිළිය ලෙස සුමති සම්මානය පවා හිමිවුණා. ඉන්පස්සේ මම රංගනය කළ ‘සබඳ පබිලිස්’, ‘කඩුපුල් මල්’ වැනි ටෙලිනාට්‍ය අතිශය ජනප්‍රිය වුණා. විවාහයෙන් පසුව මෑතකදී මම රඟපෑ ‘භාර්යාවෝ’, ‘මිල්ලෑව වලව්ව’ වැනි නිර්මාණත් මට යමක් කරන්න ඉඩ සැලසුණු චරිත වගේම ඒ චරිත රසිකයනුත් ආදරෙන් වැලඳගත්තා "

ටෙලිනාට්‍ය ජීවිතයේ අමතක නොවන කාල පරිචයක මතක ඇය සිහි කළේ සොඳුරු සිනහවෙනි.

" මගේ සැමියා ප්‍රභාත් රෝෂන්. ඔහු සම්මානනීය කැමරා අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් වගේම වර්තමානයේ ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක්.'සබඳ පබිලිස්' නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ වුණේ මගේ සැමියා ප්‍රභාත් රෝෂන්. අපි දෙන්නා දැන හඳුනගෙන සබඳකමක් පටන් ගත්තේ මේ නාට්‍යය රූගත කෙරුණු කාලයේ. ඒත් එදා මෙදාතුර මම කිසිම ටෙලිනාට්‍යයක කැමරා අධ්‍යක්ෂවරයෙක් සමඟ ප්‍රභාත් එක්ක තරම් රණ්ඩු වෙලා නෑ.

'සබඳ පබිලිස්' දර්ශන තලයේදී ඔහු මමත් රණ්ඩු නොවුණු වෙලාවක් නැති තරම්. ඒ කාලේ මම දකින්න ආසම නැති කැමරා ශිල්පියා වුණේ ප්‍රභාත්. අපි දෙන්නගේ එකම පුතා මෞලි මතීෂ. ඔහුත් කුඩා කාලයේ ඉඳලම ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් සහ චිත්‍රපටවලට එක්වුණා. දියණිය සන්සා. ඇය නම් කලාවට යොමු කරන්න මගේ ලොකු අදහසක් නෑ.” විවාහයත් සමඟ පවුල් සංස්ථාවේ වගකීම් වෙනුවෙන් නිමන්ති රංගනයෙන් දුරස් වුණත් ඇය සිය සැමියා සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වූවාය.‘ගඟ අද්දර’, ‘පූජා’ වැනි ටෙලිනාට්‍ය සම නිෂ්පාදනය කළ ඔවුන් ‘වස්සානයේ ප්‍රේමය’, ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ වගේම මේ දිනවලත් විකාශය වන ‘අහස් මාළිගා’ වැනි ටෙලිනාට්‍යද නිෂ්පාදනය කළහ. "අද ක්ෂේත්‍රය තියෙන්නේ නාලිකා සහ නිර්මාණකරුවන් අතර ලොකු තරගයක. එදා නිර්මාණ සඳහා පිටපත් රචකයා හෝ අධ්‍යක්ෂවරයාගේ සිතේ මැවෙන රූපයට ඔවුන් විසින්ම නිසි ප්‍රමිතියක් සහිත ශිල්පීන් යොදාගත්තා. නමුත් අද ඒ ක්‍රියාවලියට ඍජුවම මැදිහත් වෙන්නේ මාධ්‍ය නාළිකා සහ එහි පරිපාලනය වීම කනගාටුවක් "

වියපත් නොවූ ඇගේ සුන්දරත්වය අනාගතයේ හෝ ඇයව සිනමාවේ දකින්නට බලා සිටින රසිකයන්ට සොඳුරු බලාපොරොත්තුවකි.

"ටෙලිනාට්‍ය එක්ක කාර්යබහුල වුණ කාලයේ සිටම මට සිනමා නිර්මාණ වෙනුවෙන් ගොඩක් ආරාධනා ලැබුණත් ඒ අවස්ථා මගහැරුණා. මෑතකාලයේ මම සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘ස්පන්ධන’ චිත්‍රපටයේ ශලනි තාරකාගේ මව ලෙස රංගනය කළා. දැන් මම රංගනයේ නියැළෙන්නේ බොහොම කලාතුරකින් නිසා සිනමාවේ වුණත් මට ගැළපෙන චරිතයකට ඇරයුම් කළොත් ඒ චරිතය බාර ගන්නවා. රසිකයන්ගේ ආදරය අපිට ලොකු ශක්තියක්. ඒ ආදරය ලබන්න අපි හරිම වාසනාවන්තයි. ඒ නිසාම මම තවමත් රංගනයෙන් සමුඅරන් නැහැ කියන පණිවිඩය මගේ රසිකයන්ට දෙන්න කැමතියි "

Comments