සැබෑ මිනිසකුගේ කතාවක් | සිළුමිණ

සැබෑ මිනිසකුගේ කතාවක්

 

“ඔස්කා ෂින්ඩිලර්” (1908-1974) මීට වසර 80 කට පමණ පෙර, ලෝක යුද සමයේ, සිටි ජර්මන් ජාතික කර්මාන්තකරුවෙකි. තවද, ඔහු සුපිරි ජාතියක් බිහි කිරීමේ උමතු නාසි දෘෂ්ටිවාදයේ අරමුණු උදෙසා ක්‍රියා කළ ඇඩොල්ප් හිට්ලර් නමැති කුරිරු ඝාතකයා ගේ රහස් ඔත්තු සේවාවේ කටයුතු කළ අයෙකි.

“ගෙස්ටාපෝ” නමැති මෙම යුද රහස් ඔත්තු සේවාව, හිට්ලර් ට පමණක් දෙවැනි වූ “හර්මන් ගෝරිං” විසින් නිර්මාණය කරන ලද්දකි.

ඒ වන විට “ෂින්ඩ්ලර්” පෝලන්තයේ, බොහිම්යාවේ හා මොරාවියාහි හි පිහිටි එනැමල් භාණ්ඩ හා වෙඩි බෙහෙත් කර්මාන්තශාලා කිහිපයක හිමිකරුවෙකි.

එසේම ජර්මනියේ “හොලොකාස්ට්” වධකාගාර වල යුදෙව් ජාතිකයින් සමූහ ඝාතන වලට ගොදුරු වෙත්දී, 1200 ක් පමණ යුදෙව් ජාතිකයින් තම කර්මාන්තශාලාවල සේවය සඳහා යොදවා ගනිමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කළ උදාර මිනිසෙකි.

ඔස්කා ෂින්ඩිලර් ජර්මන් ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කරමින්, යුදෙව්වන් දහසක් පමණක් නොව එකම අයකුවත් ආරක්‍ෂා කරන බව හිට්ලර් වැනි කුරිරු ඝාතකයකු දැන ගත්තේ නම්, ඔහුට හා ඔහුගේ පවුලේ සියලු දෙනාටම අත්වන්නේ ඛේදජනක ඉරණමකි.

එහෙත් ඔහු හා ඔහුගේ පවුල එක් පසකත්, යුදෙව් ජාතිකයින් 1200 ක් අනෙක් පසකත් දමා සැලකූ විට යුදෙව්වන්ගේ පැත්ත බර වැඩි වූ හෙයින්, ෂින්ඩ්ලර් මෙම අතිශය අවදානම් තීරණයට එළඹියැයි උපකල්පනය කළ යුතුව ඇත.

කෙනෙකුගේ හදවත කම්පනය කරන මෙම උත්තරීතර මානුෂික පරිත්‍යාගය පිළිබඳව 1982 දි පළ වු ෂින්ඩ්ලර් ආර්ක (Schindlers Ark) නමැති නවකතාව පාදක කරගෙන, කීර්තිමත් සිනමාකරුවකු වූ ස්ටීවන් ස්පිල්බර්ග් (Stephen Spliburg) විසින් 1993 දී Schindlers List නමැති අගනා සිනමා පටය නිර්මාණය කරන ලදී.

1936 දී නාසි ජර්මනියේ පිහිට වූ යුද හමුදා බුද්ධි අංශයේ ඇබිවර් (Abwehr) චරපුරුෂ ඛණ්ඩයට එක්වීමට පෙර, ෂින්ඩ්ර්ල ඔස්ට්‍රියාවේ හා හංගේරියාවේ දැනට චෙක් ජනරජය- විවිධ ව්‍යාපාරවල නිරත විය.

1939 දී ඔහුට ජර්මනියේ නාසි පක්‍ෂයේ සාමාජිකත්වය ද පිරිනැමුණි. ඔහු චෙකොස්ලොවේකියාවේ රැඳි සිට හමුදා සේනාංක රැගත් දුම්රිය ගමනාගමන කටයුතු නිරීක්‍ෂණය කර ඒ පිළිබඳ තොරතුරු නාසි ජර්මනිය වෙත සපයා ඇත. විදේශ රටක් වෙනුවෙන් ඔත්තු බැලීමට එරෙහිව එවකට චෙක් රජය ඔහු අත්අඩංගුවට ගනු ලැබුවද, 1938 මියුනිචි ගිවිසුම ප්‍රකාර නිදහස් කරන ලදී.

පසුව ඔහු පෝලන්තයේ රැඳී සිට ෂෂ ලෝක යුධය ඇරඹීමත් සමඟ නාසිවරුන් වෙනුවෙන් තොරතුරු සපයා ඇත. නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කළේ ඉන් පසුවයි.

ෂින්ඩ්ලර් පෝලන්තයේ කරකොවි (Karakov) හි එනැමල් භාණ්ඩ කම්හලක් අත්පත් කරගන්නා ලදී. මෙම කම්හලේ දියුණුව උපරිම තත්වයට පත් 1944 වර්ෂය වනවිට එහි සේවය කළ 1750 ක් වූ සේවකයින් අතරින් 1000 ක් පමණ පිරිස යුදෙව් ජාතිකයින්ය. මුල් අවධියේ ඔහුගේ කම්හල් වලින් ඔහු බලාපොරොත්තු වූයේ ආදායම් උපයාගැනීමයි.

එහෙත් පසුව ඔහුගේ පූර්ණ ශක්තියත්, දිරියත් කැපවීමත් කම්හලේ සම්පූර්ණ ආදායමත් වැය කළේ මර බියෙන් පසුවන අසරණ යුදෙව් ජාතිකයින්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙනි. ඔහු ඔත්තු සේවා නිලධාරියෙකු වූ හෙයින්, යුදෙව් ජාතිකයින් සමූහ ලෙස ඝාතනය වෙත්දීත්, මෙම කම්හලේ යුදෙව් ජාතිකයින් ආරක්‍ෂා කර ගැනීමට ඔහු සමත් විය. මෙහිදී ඔහුට නාසි හමුදා නිලධාරින්ට විශාල ලෙස අල්ලස් දීමටත්, ඔවුනට තෑගි වශයෙන් සුඛෝපභෝගි භාණ්ඩ පිරිනැමීමටත් සිදු විය.

මෙම භාණ්ඩ ඔහුට මිලට ගන්නට සිදු වූයේ අධික මිලගණන් (Black Market) වලටය.

1944 දී පරාජය ලබමින් සිටි ජර්මන් නාසි හමුදාව, බොහෝ වධකාගාර වසා දමන ලද්දේ ඒවායේ රැඳි සිටි රැඳවියන් බටහිර දෙසට යොමු කරමිනි. මින් බොහොමයක් දෙනා අවුෂ්විටිස් (Auschwits) ග්‍රොස් රෝසන් (Gross Rosan) වධකාගාර වලදී ඝාතනය කරන ලදී.

ෂෂ ලෝක යුද සමයේදී අල්ලාගත් රුසියානු යුද සිරකරුවන් දස ලක්‍ෂ 05 න්, යුධය නිමාවට පත්වන විට ඉතුරු වූයේ දසලක්‍ෂ 02 ක් පමණක් බව සිතන විට, ඝාතනය කළ සමස්ත මනුෂ්‍ය සංඛ්‍යාව ගැන සිතාගත හැකි වේ. පෝලන්තයේ පිහිටි ඔහුගේ කම්හල් මොරවියා හා බොහිමියා වෙත ගෙන යාමට අවසර ලැබුණි. මෙහිදී ඔහුගේ කර්මාන්තශාලාවල සේවය කළ යුදෙව් ජාතිකයින් ඝාතනය වීමෙන් වළක්වා ගැනීමට ඔහුට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

1944 දී බෲන්ලිස්ට් (Brunnlist) වෙත යාමට ඉඩදුන් යුදෙව් ජාතිකයින්ගේ ටයිප් කරන ලද නම් ලැයිස්තුවක් යුදෙව් ගෙටෝ පොලීසියේ මාර්සල් ගෝල්ඩිබර්ස් (Marcel Goldbers) විසින් සකස් කරන ලදී. එහි නම් 1200 ක් විය.

1945 මැයි මස වන විට යුරෝප කලාපයේ ජර්මන් යුද බලය මුළුමනින්ම බිඳ වැටෙන තෙක්ම ඔස්කා ෂින්ඩ්ලර් නමැති මේ උතුම් මිනිසා ජර්මන් නිලධාරින්ට තව තවත් අල්ලස් දීමට තම කර්මාන්තශාලාවලින් උපයාගත් හැම සතයක්ම වැය කරන ලදී. ඒ නිසාම ඔහු මුහුණ දුන්නේ දැඩි ආර්ථික පරිහානියකටය.

යුධය නිම වීමත් සමග ෂින්ඩ්ලර් බටහිර ජර්මනියට සංක්‍රමණය විය. බලවත් ධන හානියකට ලක්ව සිටි ඔහුට මෙහිදී යුදෙව් ජාතික සහන සංවිධාන වලින් ඔහු තුළ තිබූ පරිත්‍යාගශීලි, කැපවීම අගය කරමින් ආධාර වශයෙන් සාධාරණ මුදලක් පරිත්‍යාග කරන ලදී.

මෙම මුදල අතැතිව ඔහු තම පවුලේ අය සමඟ ආර්ජන්ටිනාවට සංක්‍රමණය විය. එහිදී වගා කටයුතු වල නියැළුණු මුත්, 1958 වන විට ඔහු මුළුමනින්ම බංකොලොත් භාවයට පත් විය. පසුව ඔහු නැවත ජර්මනියට පැමිණ ව්‍යාපාර කිහිපයකම නිරත වුනත්, ඒවාද අසාර්ථක විය.

එහිදී ඔහුට කෘතවේදී ආධාර පිරිනැමුවේ ඔහු ජීවිත බේරාගත් යුදෙව් ජාතිකයින්ද ඇතුළුව පිහිටුවා ගත්, Shindler Jews පදනම මඟිනි. ඔස්කා ෂින්ඩ්ලර් හා මේ සියලු කටයුතු වලදී ඔහු සමඟ සිටි ඔහුගේ භාර්යාව වූ එමිලි වෙත ඊශ්‍රායල් රජය මඟින් “ජාතීන් අතර දිරිමත් මිනිසා” (Righteous Among The Nation) ගරු නාමය ප්‍රදානය කරන ලදී.

1974.10.09 දින ජර්මනියේ හිල්ඩර් ෂෙයිමි (Hildersheim) හිදී ඔහු අවුරුදු 66 ක් ආයු වලඳා සමස්ත යුදෙව් ජාතියම හඬවමින් දිවි ගමන නිමා කරන ලදී. මට මෙහිදී රොබින් ෂර්මාගේ අගනා කියමනක් සිහි වේ.

“ඔබ ඉපදුන වෙලාවේ ලොවම සතුටු වෙත්දි ඔබ මහ හඬින් හැඩුවා. ඒත් ඔබ මිය යන දවසේදී ලොවම හඬද්දි ඔබට සතුටු වෙන්න පුළුවන් විදියේ ජීවිතයක් ගත කරන්න.”

මිනිසකු තම ජීවිත කාලයේදී ධනය රැස්කර ගැනීමට වඩා මෙවැනි උතුම් මානව ගුණයන් දසත පතුරුවන්නේ නම් අප ජීවත්වන ලෝකය කොතරම් සුන්දර සුවඳවත් එකක් විය හැකිද?

ඔස්කා ෂින්ඩ්ලර් ගේ දේහය ජර්මනියෙන් ගෙන්වා ගත් ඊශ්‍රායල් රජය, ඊශ්‍රායලයේ, ජෙරුසලම් හි පිහිටි මවුන්ට් සියොන් (Mount Zion) කතෝලික සුසාන භූමියේ ගෞරවාන්විතව මිහිදන් කරන ලදී. ඒ යුදෙව් ජාතිකයින් ලක්‍ෂ ගණන් ක්‍රෑර ලෙස ඝාතනය කළ පක්‍ෂයක සාමාජිකයකු වුවත් ඔහු අති විශිෂ්ට දුර්ලභ ගණයේ මානව ගුණයෙන් සපිරි උතුම් ජර්මන් ජාතිකකු ලෙස සලකමින්.

යුදෙව් ජාතිකයින් ගැන නොසලකා ඔවුන් මකබෑවුනාවේ කියා සිතමින්, ජර්මන් ඔත්තුකරුවකු ලෙස රැඳෙමින්ම එම බලයද උපයෝගී කර ගනිමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගත්තේ නම්, ජීවිත කාලයටම පමණක් නොව පරම්පරා ගණනකට - අප රටේ ඇතැම් දේශපාලකයින් මෙන්-ධනය රැස්කර ගත හැකිව තිබුණි.

එහෙත් ඔහු උතුම් මානව ගුණය පිළිබිඹු කරමින්, යුදෙව් ජාතිකයින්ගේ ජීවිත රැක ගැනීමට තම හදවතින්ම කැපවී, තමා ඉපයූ සියලු ධනය ඒ සඳහා වැය කරමින් කළ උදාර මානව ගුණ සුවඳ වාතලයට මුසු කිරීමට ඔහු සමත් විය.

 

Comments