දුෂ්කර සේවය නිර්මාණ ඉල්ලමක් කරගත් බැංකු නිලධාරියා | සිළුමිණ

දුෂ්කර සේවය නිර්මාණ ඉල්ලමක් කරගත් බැංකු නිලධාරියා

 

මහගමසේකරයන් කියන්නේ මගේ කවියෙන් මා නොසොයන් කියා ය. නිර්මාණකරුවාට සිය නිර්මාණයෙන් මුළුමනින් ම වියුක්ත විය හැකි ද; නිර්මාණය ඵලකයක තියා එයින් මුළුමනින්ම බැහැර ව කරන නිර්මාණ අව්‍යාජත්වය ස්පර්ශ කරන්නේ ද? එසේනම් ඔබට සැකයක් ඒවි මායා යථාර්ථවාදී නිර්මාණ එසේ නොවේ ද කියා. මායා යථාර්ථවාදයේ පවා තිබෙන්නේ අපේ ම සෙවණැලි යැයි සිතේ. අපි කෙදිනක හෝ කරන්නට හෝ කරන්නට ආසාවෙන් සිටින යම්කිසි දෙයක් පරිකල්පනීයමය මායාමය ස්වරූපයකින් එහි ඇතුළත් වී ඇතැයි දැනේ. මීට කලකට පෙර මායා යථාර්ථවාදී යැයි කියූ බොහෝ දෑ කලක් ගතවෙද්දී සැබෑ වූ අවස්ථා ද නැත්තේ නොවේ.

අත්දැකීම් විසින් රිදවනු ලැබ, ඒ රිදුමෙන් කලක් තිස්සේ විඳවා ඒ වේදනාව අකුරු බවට පෙරළා හදවත සැහැල්ලු කරගත් ලේඛකයෙක් වෙයි. හේ නමින් චම්මින්ද වෙලගෙදර ය. කීර්තිමත් බැංකු නිලධාරියකු සේ පතළ චම්මින්ද රැකියාව නිසා නිපන් විවිධ හේතු නිසාම විවිධ පළාත්වල සේවය කරන්නට සිදු වූවෙකි.

1977දී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ලෙස සක්‍රිය මැදිහත් වීම් කරමින් සිටි චම්මින්ද වෙලගෙදර රැකියා අත්හිටුවීම් කළ 791ක් වෙනුවෙන් පෙනී සිටීම නිසා දඬුවම් මාරු ලෙස විවිධ ප්‍රදේශවලට මාරු කරනු ලබයි. හේ එලෙස ලැබූ වෙනස් ජීවන අක්දැකීම් ගැන මේ වනවිට බෙහෙවින් සන්තුෂ්ටියෙන් යුතු ව කතා කරයි.

‘මාව වැඩිහරියක් මාරු කළේ නුවර කලාවියට. මම අද ඒක දකින්නෙ ජංගම ගිණුමක නොවෙයි; වැඩි පොලී දෙන ස්ථාවර ගිණුමක මම ඒ කාලෙ ආයෝජනය සඳහා මුදල් තැන්පත් කළා වගේ. මට හරියට බැංකුවක පොලී එකතු වෙනවා වගේ විවිධ අත්දැකීම් එකතු වුණා.

මට යන්න වෙනවා ගල්නෑව, බුල්නෑව හා දෙහිඅත්තකණ්ඩියට. නුවරකලාවියේ මිනිස්සු මට ගොඩක් ඇසුරු කරන්නට ලැබුණා එහෙදි. මේ පළාත් හරි ම දුෂ්කරයි. අපි හිටියෙත් පොල් අතු පැළවල් වල. මට දෙහිඅත්තකණ්ඩියෙන් හමුවුණා අම්මා කෙනෙක්. මේ අම්මා දෙහිඅත්තකණ්ඩියෙ හිටියට කොත්මලේ මැණිකෙ කෙනෙක්. මහවැලිය හරවලා කොත්මලේ ඉඩම් නැතිවෙන කොට එයාටත් යන්න වුණා දෙහිඅත්තකණ්ඩියට. ඒ කටුක පොළොවෙ හැප්පිලා ඇය අනන්තවත් දුක් විඳල තිබුණා. ඇගේ කතාව ඒ කතාවටත් වඩා ශෝචනීය කතාවක්.

ඇය ලොකු අසාධාරණයකට මූණ දෙනවා; ඇයගේ ස්වාමිපුරුෂයාගේ මරණයත් සමඟ. මහවැලි ඉඩම්වල තියෙන නීතිය තමයි අයිතිකරුවා මැරුණම ඒ ඉඩම අයිති වෙන්නෙ ඔහුගේ මල්ලීට. ඉතින් මේ කාන්තාව සැමියාගේ මරණින් පස්සෙ අසරණ වෙනවා. එයා ආයෙත් ගම්බිම් බලා කොත්මලේට එනවා. ඒත් ඒ එද්දි එයාලගෙ ඉඩකඩම් වෙනුවට තියෙන්නෙ මහවැලි ගඟ. මම මේක මුලින් ලිව්වෙ කෙටිකතාවක් විදියට. ඒත් මට ඒවගේ සීමිත ඉඩක ලියලා මගේ අත්දැකීම, වේදනාව දියකරලා හරින්න බැරි වුණා. හිතේ පුපුරු ගසන ඒ වේදනාවත් එක්ක මම ගොඩක් කල් ජීවත් වුණා. ඒ වේදනාවයි ‘යාය තුන‘ නමින් නවකතාවක් වෙන්නෙ‘

රාජ්‍ය බැංකු නිලධාරියකු ලෙස සේවයට ගිය ද චම්මින්ද වෙලගෙදරගේ සිත සංවේදී වන්නේ ය. තමා අවට ජීවත් වන මිනිසුන්ගේ දුක තමාගේ දුක බවට පත්කර ගන්නා ඔහු වසර කිහිපයක් ඉක්ම ගිය ද ඒ අත්දැකීමේ වේදනාවෙන් ගැලවී ගත නොහැකි ව ළත වෙන්නේ ය. අවසන ඒ අත්දැකීම පසුකලෙක ලියා තබන්නේ ය.

මහවැලිය එක්තරා පිරිසක් සුඛිත මුදිත කරන අතර තවත් පිරිසක් අන්ත අසරණ කළේය. ඕනෑම ව්‍යාපෘතියක ස්වරූපය එපරිදි ය. ගම් නියම්ගම් අහිමිව ඉපැදුණු ගම්රටවල් දමා රජය ලබාදුන් ඉඩකඩම්වල වැවිල්ලට එන බහුතරයක් ගැමි ගොවියන්ට විඳින්නට වෙන්නේ නිජබිම අහිමි වීමේ දුක පමණක් නොවේ. පාරිසරික වෙනස්කම් නිසා ඔවුහු බොහෝ පිඩා විඳිති. මේ දුක් කතන්දරය ඇසට කඳුළු නංවමින් චම්මින්ද ලියන්නේ සංවර්ධනය කොයිබටද කියා පාඨකයන්ගෙන් කෙලින්ම නොඅසා හදවතින් අසමිනි.

ඉතිහාසය විසින් අකෘතඥ වූ බොහෝ මිනිසුන්ට කල්ගත වී හෝ සාධාරණය ඉෂ්ට වෙන්නේ නිර්මාණකරුවන් අතිනි.

‘සක්කාරං කියන්නෙත් ‘ආවා යහපත‘ කෙටිකතා සංග්‍රහයේ අඩංගු කෙටිකතාවක්. ඉස්සර නුවර පෙරහරේ ගැහැනු අයත් නර්තනයේ යෙදුණා. ඒ අයට කිව්වෙ දේවදාසීන් කියලා. ඒ එක දේවදාසියක් තමයි රතී වෙන්නෙ. රතී එන්නෙ ලග්ගලින්. රතී කියන චරිතය ඉන්නෙ අභිමානයෙන්; මොකද දේශීය නිජබිම් වැසියො කියලා. මේ මම අවුරුදු හයක් තිස්සේ කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක්.

මට මේ කතාව ලියන්න ආසන්නතම හේතුව වුණේ කණ්ඩලම වැවේ හදපු හෝටලය. ඒකට දඹුල්ල පන්සලේ ඉනාමලුවේ සුමංගල හාමුදුරුවො විරුද්ධ වුණා. මමත් විරෝධය පාන්න ගිය කෙනෙක් විදියට ඒ හාමුදුරුවො එක්ක සම්බන්ධතාවක් ඇති වුණා. 89 ද්‍රවිඩ ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිරෙන් සිංහල මිනිස්සු පැන්නුවා. ත්‍රිකුණාමලේ ඉදපු මිනිස්සු ඔක්කොම දඹුල්ලෙ තමයි නැවතුණේ. මේ මිනිසුන්ට ඉන්න තැනක් නැති වුණාම ඉනාමලුවෙ සුමංගල හාමුදුරුවො පන්සලේ තියෙන නින්දගම් ඉඩම් දුන්නා ඒ මිනිසුන්ට පදිංචි වෙන්න කියලා. හාමුදුරුවො පන්සලේ නින්දගම් හිතුමතේ දුන්න කියලා නිකායෙන් ඉවත් කරනවා. අනතුරුව හාමුදුරුවො රංගිරි දඹුලු නිකාය කියලා අලුත් නිකායක් පිහිටුවා ගන්නවා.

මේ කාරණා නිසා මට මේ හාමුදුරුවො වාරියපොල සුමංගල හාමුදුරුවො වගේ පේන්න පටන් ගන්නවා. මම රතනපාල හාමුදුරුවො සුද්දට විරුද්ධව රට මෙහෙයවලා ඉඩම් අයිතිය ලබා දුන්න සිද්ධියට අනුප්‍රාණය ලබන්නෙ එතැනින්.

තම සිත සසල වීම හරහා චම්මින්ද වෙලගෙදර ලේඛකයා නිර්මාණාවබෝධය ලබයි. ඒ චරිත හා ජීවත්වෙන ඔහු ඒවා හඬන වෙලාවට හඬමින්, සිනාසෙන වෙලාවට සිනාසෙමින් ඒවායේ ජීවත් වීමට පටන් ගනී. ඔහුත් නිර්මාණ චරිතයත් අපට එකක් සේ දැනෙන්නේ ඒ නිසා ය.

තම ජීවිතය ද ඒ චරිත සමඟ ම දියවීම හේතුවෙන් එය ලියා තබන තෙක් නිර්මාණකරුවකුගේ සිතට නිදහසක් ලැබෙන්නේ නැත. ඒ චරිත මෙතරම් අපට දැනෙන්නේ ඒ අව්‍යාජ බව හේතුවෙන් ඇති කරන සමීප බව නිසා ය. චරිතවල හුස්ම තම හුස්ම හා සමපාත වෙන තැන අපූරු නිර්මාණයක් බවට පත්වෙයි.

‘සන්තිපරං ලියැවෙන්නෙත් මුලින් ම කෙටිකතාවක් විදියට කියලා. දඬුවම් මාරුවේ ප්‍රතිඵලයක් විදියට ලැබුණ තෑග්ගක් තමයි එයත්. මේ ගම්වල මිනිස්සුන්ට රාජ්‍ය නිලධාරීන් ගැන තියෙන්නෙ පුදුම ගෞරවයක්. දවසක් හොරව්පතාන ගමේ මනුස්සයෙක් මාව හමුවෙන්න ආවා. ඇවිත් ආරාධනයක් කෙරුවා. ඒ වාක් කෝෂය අප දැනගත යුතු නිසා ම මම ඒ මනුස්සයා කියපු වචන වලින් ම ආරාධනය කළ ආකාරය කියන්නම්. ‘මගෙ කෙලීගේ පුක පීදිලා; මහත්තයා කට්ටිය එක්ක ඇවිත් බත් කටක් කාලා යන්න එන්න ඕන‘ කියලා කිව්වා. හරි ලස්සන යෙදුමක්නෙ ඒක. අපි කොටහලු වුණා හරි, ලොකු ළමයෙක් වුණා හරි කියනවට වඩා ඒක කොච්චර අර්ථවත් ද බලන්න. පීදෙනවා කියන්නෙ බීජයක් ලබන්න සුදුසු තත්ත්වයට පත් වුණා කියන එකනෙ. නැත්නම් ඇය මෙයින් පස්සෙ ප්‍රජනනයට ලෑස්තියි කියන එකනෙ ඒ කියන්නෙ. නාන්න යනවට කියන්නෙ ‘වක්කොරන්න යනවා‘කියලා. හරි ම සුන්දර බස් වහරක් ඒ පළාතෙ තියෙන්නෙ. හරි ලයාන්විත හුරතල් ගතියක් උච්ඡාරණයේ තියෙනවා. මම අවුරුදු 20ක් විතර මේ භාෂාව හැදෑරුවා; වචන එකතු කළා. මට ඇත්තට ම ඕන වුණේ භාෂාවට යානයක් හදා ගන්න.

වතුර නැති නිසා ඒ මිනිස්සු හරියට දුක් විඳිනවා. සුද්දන්ගෙ කටු සටහන් තියෙනවා කච්චේරියෙ. ඒවයෙ තියෙනවා කතා ලියන්න ඕන තරම් වස්තුබීජ. එයාලා හැම දෙයක්ම ලියලා තියෙනවා. මම ඒව අධ්‍යයනය කළා‘

නිර්මාණකරුවා තමන් අවට සිදුවෙන සියලු දේ පිළිබඳ සවිඥානික ය. හේ ඒවා විඳීමෙන් ඉනික්බිති සංරක්ෂණය හා ජීවන පරිඥානය වෙනුවෙන් පාඨක ප්‍රජාව වෙත ද ඉතිරි කරන්නේ ය; සංරක්ෂණය කරන්නේ ය. ඒවා හුදු සිද්ධිවලින් ඔබ්බට ගොස් සමාජයේ විවිධ පැතිකඩ හරහා ජීවත් වීමට ද පටන් ගන්නේ ය. චම්මින්ද වෙලගෙදර ලේඛකයා දඬුවම් මාරුවීම් ස්ථාවර තැන්පතු ලෙස දකින්නේ මේ අත්දැකීම් කන්දරාව ලබන්නට ඔහුට ඉඩකඩ විවර වීම නිසා ය. තවත් රාජ්‍ය නිලධාරීන් අනන්තවත් මෙසේ දඬුවම් මාරුවීම් නිසා දුෂ්කර සේවයට යන්නට ඇත. එහෙත් සියල්ලෝ ඒ ගැන කම්පා වෙමින් හෝ තරහ ගනිමින් එකී මාරුව ඇත්තටම දඬුවමක් කර ගනිති.

චම්මින්ද වැනි අතිශයින් දුලබ එක්කෙනෙක් හෝ දෙන්නෙක් මේවා මතු පරම්පරාවේ ඥානනය වෙනුවෙන් ලියා තබති. අත්සන, පෙත්සම හා හොරොව්පතානේ ඩීආර්ඕ කියෙව්වාට පසුව අප ඒ පළාතේ ජීවත් කරවන්නට සමත් වූ ලේඛකයා චම්මින්ද වෙලගෙදර බව කියන්නට නොපැකිළෙන්නෙමි.

Comments