කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

බැද්දෙන් බැද්දට

නිමිත්ත: මව, පියා, නැඟ­ණිය සහ මස්සිනා එකතු වී තරු­ණ­යෙක්ව අමා­නු­ෂි­කව ඝාත­නය කරයි. පියා විසින් අවු­රුදු එක­හ­මා­රක් වය­සැති දිය­ණිය පොළොවේ ගසා මරා දමයි.

පිනි වෙනු­වට මල් පෙති­වල ලේ මිදුනේ
මල් රැක­දෙන උල් කටු­මයි පෙති ඉරුවේ
රන් බිජු­වට බොල් වී දෝ පැල නොවුනේ
රන් අසි­පත කොතැ­නක හෝ මග හැරුනේ

ඇත් රෑනේ ඇත් බිලි­ඳුට සෙනෙ­හ­සිනේ
මව් නොවෙනා මව් කැල­ටත් කිරි එරුණේ
මහ සයුරේ දිය පර­දන දරු පෙමිනේ
ලෙහෙ­නි­ය­කට දිය හින්ද­න්නට හිතුනේ

පාසැ­ල්වල පාඩ­ම­ටයි තැන ලැබුණේ
රූ තිර­යත් සල්පි­ල්ව­ල­ටයි ඇරුනේ
දස­තින් එන බණ කන්වල නෑ වැටුණේ
උන් නොව අප බැද්දෙන් බැද්දට වැටුණේ

“මී පුප් ලදිම් දරු නොල­දිම්” ළතැ­වෙ­මිනේ
සිය­තින් මළ පුතු හොයනා කොබෙ­යි­යනේ
"රන් කැටි පුතු" පණ ආපසු නෑ එන්නේ
වැර­දුණු තැන මිනි­සු­න්ටත් කිය­පන්නේ

ජගත් ප්‍රේම­චන්ද්‍ර
 

--------------------

දුරු රටක සිට . . .

මුදු මඳ සුළඟෙ ලෙළ­දෙන පහනේ රුසිරි
දස­තින් ඇසෙන බණ පද බැති ගී මිහිරි
ලෙළ­දෙන බෝප­තින් සිත නිවෙනා අසිරි
නොමැ­තිය සඳ එළිය පම­ණකි අද ඉතිරි

ගතින් දුර නමුත් සිත නිත­රම පිය­ඹයි
දෙරණේ සිසිල සොය­මින් දින සති දිය­වෙයි
පෝ දින විහා­රයෙ සිතු­වම් මට සිහි­වෙයි
සිල් රෙදි, නොපිපි මල් සර­ද­ම­ටම හිනැ­හෙයි

සුදු වැලි මළුව මත පා සල­කුණු නැතිද
රැව් දුන් සාධු නද මුව'ගම ගොළු වුනිද
තුන් බිය අසල මිනි­සුන් අස­රණ වුනිද
සිත සන­සනා බුදු බණ අම­තක වුනිද

මංජුලා සිල්වා

----------------

පොප්ලර් ගසක හැඬුම

කුරුලු කූඩු­වක කුරු­ල්ලන්ට
ගල්ගසා එය බිදි­න්නට අයි­ලයේ
කාලෙ­කින් කොල්ලෙක් නොදුටු
පොප්ලර් ගසක හැඩු­මක් ඇසේ

ලෙනින් මිය­ගිය දවසේ පාළුව
හීතල පොර­ව­ගෙන කන්දට ඇදේ
වස­න්තය මිහි­පි­ටින් හූර­ගෙන
වෘර්ක රෑනේ උඩු­බි­රු­මක් වැයේ...
.
වයෝ­වෘද්ධ දුයි­ෂෙ­යින් එයි හති­දමා
සිග්නල් සොය­මින් යයි කන්ද මුඳුනේ
එල්ලා කළු ලෑල්ලක් පොප්ලර් බදේ
තනි­වම දොඩ­වයි එහි කිසි­වෙක් නොවේ

සූම් වුණ තුරු මුඳු­නක හිද කෙල්ලක්
නොක­ඩවා මොන­වදෝ නිත­රම අසයි
දුයි­ෂෙ­යින් නෙතග වැටෙන කඳුළක්
නොක­ඩවා මොන මොන­වදෝ කියයි

"පැහැ­දි­ලිද අකුරු ගල­පන්ට උඹ­ලට
අයි­ල­ය­නම් දිගු කල­කට වැසෙයි
සූම් වෙන­කොට බලා­ගෙ­නයි
පරි­ස්ස­මට අල්ති­නායී
උඹ ඔත­නින් වැටෙයි".

නදූෂ මදු­රංග

-----------------

විරහ සිත

සුමුදු මල් පෙති මුවින් තර කර
බඹ­රි­ඳුන් නැත රොන් උරන්
නමුදු සිල් මෙන් රැකුණු ප්‍රේමය
පසක් කෙරු­මද මඟ හැරන
සිනිඳු සල් පිළි රැහැන් බිඳු­මට
ඇඟිලි එක් කර සිහි කරන්
ඉන්දු මල් පැළ පහන් කෙරු­මට
කාලේ පර­හට ඉව කරන්

සෙනෙහෙ පෙළ සිත් එක්ව බැඳු­මට
නොමැත පින් කෙත් මෝදු වීලා
කෙනෙහි කළ හිමි සඳුට අව­නත
නොවී වෙනෙ­තෙකු මුවට සිඹලා
සිතෙහි ඵල දැරු සෝක සුසු­මන්
අවදි වී අරු­ණ­ටම සිත්ලා
සෙනෙහෙ කළ පති­දම්ද රැකෙ­මින්
පති­කු­ල­යට යන දෙසට එබිලා

බිඳුණු ප්‍රේමයෙ පහන් දොර­කොඩ
ප්‍රේම ගිනි­දැල් ඇවි­ලුණා
කැඩුණු සිත් මල් කඳුලු පිනි කැට
නෙතින් හස­රැල් නික්මුණා
සැදුණු ගිනි­දැල් තුළින් නික්මෙන
විරහා ගින්නක් හිමි­වුණා
රිදුණු හද­වත් පසක් කර­මින්
නැඟෙන විර­හ­වක් නොම­වෙනා

ඉඟි­කර හැඬෙනා පාළු සැදෑවේ
ගොම්මන් කළු­වර දොම්නස ගෙන දෙනවා
සිහි­කර බලනා ඇඟේ මතක පෙළ
කඳු­ළැලි සයු­රක වෙර­ළට ඇද එනවා
තනි­කර අද මා හැඬෙන නිමේ­ෂෙක
පති­කු­ල­යට ගිය සොඳු­රිය සිහි­වෙ­නවා
දින­කර නැඟ එන නැවුම් දින­ය­කම
නුඹෙ දිවි ගම­නට පහ­නක් දැල්වේවා...

සජිත් පුෂ්ප­කු­මාර

-----------------

හුද­කලා පැතුම

නැවුම් ලොවක
අරු­ණලු දකි­න්නට පෙර
හුද­කලා වූ මිනිසා
හුද­කලා නොවේ­වායි
පතමි ....

නයන්ත ජගත් පුංචි­හේවා

-----------------

මම යන්නම් පුතේ

දරා­ගෙන නුඹ කිරුළක්ව හිස­මත
නැග්ග සෙල් කුළු නිමක් නැත
වාරු නැති අද වෙලා තුන් කුද‍
­පුතේ හෙමි­හිට යන්න බැරි­වද.

සවිය ඇති දා නුඹත් කැටු­වම
ලොවක අසි­රිය පෙන්නුවා මම
දිනෙක මෙවැ­නිම අඳුරු සව­සක
නුඹේ බර දර­මින් මෙ‘උර මත

මිහිරි කවි ගී ගයා සතො­සින්
පිනා ගිය සිත නුඹ නිසා­වෙන්
සිහ­සු­නක් නැති අඩුව විත­රයි
රජ වුණා මම නුඹේ නාමෙන්.

වැඩත් ඇති නැති වෙද නුඹට යහ­මින්
කොහොම යන්නද නොවී ඉක්මන්
ගමේ නඩ­යක් යන අත­රෙ­වත්
අපිත් යන්නම් නුඹ ගෙදර පලයං.

ඒ. ඒ. බදු­ර්නිශා

------------------

වරද කාගෙද

ගසක් අස­ලම වැලක් ලිය­ලයි
ගස වටා එය කෙමෙන් දලුලයි
වැලට ස්නෙහෙන් උර­යි­සැ­මදේ...

ගසත් ලියලා මහා ගසක් වෙයි
‍වැලඳ ඔහු අස­ලම සිටි
මහා ගසක්වී අතු­ප­තර විහිදේ
තවත් වැල­කට සෙවණ දී
වැලට නොකියූ රහස එහෙ­මයි
වරද වැල­මද?...

වැලට පෙර ගස
ස්නේහයේ පෙළ­පොත උගත් දා...

කුමු­දුනී බටේ­පොල

--------------------

රතු­පාට කටු­වක්

මල් සුපිපි උයන් වැදැ
වසත් සම­යෙකැ
විහඟ ගී පෙරළි පෙරළි
මුතු පිනි පළස මත
කෙළියි දඟ දිදී...

ළහිරු මිණි­කැන් දහර
ආලිං­ග­නය...

පිනි­බර මල් පිය­ල්ලක්
තෙර­පුනි මා වුවන මතැ...

පිපුණි වෙරළු තුරු අඳුරේ
කොර­සැඩි ගලෙකැ අද
අමා­වක පියැස යට සිටැ
ඇඟිලි තුඩු යවමි
ලව­නත...

ගැටුණි තියුණු තුඩක්
තෙර­පුණු තැනැ
රතු­පාට කටු­වක්
තෙත බරිත..

අබ්දුල් කේ. සාදි­කීන්

----------------

පංති සග­ය­කුගේ ඉර­ණම

නොර­ටක සැඟව නුඹ සිටි­තැයි සිතා­ගෙන
මෙතු­වක් කලක් උන්නෙමි සිත හදා­ගෙන
එන­මුදු තිස් වසක් ගිය තැන කණ වැකුණ
ඇද­හිය නොහෙන පුව­තින් හද සසල විණ

මහ උළු ගෙදර අප කොටු කළ තුඟු පවුරු
බිඳ දා පලා යන්නට මං සෙවූ මිතුරු
සැඟවී වෙසෙන වන ගැබ වෙඩි කෑ අයුරු
රුපු සෙන් අතින් වී නම් උහු­ලමි මිතුරු

තිස්ස නිහාල් වික්‍ර­ම­සිංහ

-------------------

මව­කගේ සිතු­විලි

දරු­වන් සිව්දෙ­නෙක් මිනි­සත් කමට ළැදී
ලොව කිසි­වෙ­කුට වර­දක් සිදු වෙන්න නොදී‍‍
­අ­පගේ සෙනෙහෙ මැද යහ­පත් හැඟුම් දිදී
ඇති දැඩි කළා ‍නොමඟට යොමු වන්න නොදී

ගත­කළ දිවිය දහ­සක් කම්ක­ටොලු මැද
සිහි­වන විටදි ‍ලොකු සතු­ටක් දැනෙයි අද
අහ­වර බව සිතමි දිවි­යෙහි සැපත ලද
තව තව ගත නොහැක රෝ දුක් සුසුම් විඳ

ගතවී ඇත වයස හැත්තෑ­න­වය පිරී
ජීවත් වන්න අපි තව­මත් දරමු දිරී
සිරු­රින් දැනෙන අප­හ­සුතා කොහොම හරී
මැඬ­ගෙන සිටී­මයි දැන් මට නොකර බැරී

අත්වා­රු­වක් නොමැ­තිව ගෙයි ඇවි­දින්න
කෙනෙ­කුගෙ පිහිට නොමැ­තිව වැඩ කර ගන්න
හොඳ සිහි­යක් ඇතිව නිති සතු­ටින් ඉන්න
බැරි­විට මගේ පැතු­මයි මෙලො­වින් යන්න

සුසීලා මුද­න්නා­යක

------------------

නුඹ රිද­වන මා

කම්මාර කම්මාර ලෝකුරු
හෙට ලොවයි ඔබ තනන්නේ
උදළු තල­යට පණ පොවා
මයින හම පණ පොවයි ඔබ
කඹුරු දණ්ඩට බය­වෙලා..

පොළොව පෙරළි නිල්ල මතුවී
හෙට ලොවක අරු­ණළු පිපේ
ජීවිතේ ඒ දිගේ දිගේ­ළිව දිවෙයි
හැම­දාම රිදි රිදී හඬයි
කිණි­හි­රිය ලෝකුරු පැලේ...

පණ පෙවී යන ආයු­දෙන්
ජීවිතේ දුක දිනා දෙද්දෙන්
මම තවම ඔබ පහර කන
රිදී තුළුම් කා පෙළී පෙළී
උණු­වෙන
කිණි­හි­රය මම­මයි හැම­දාම...

චම්මින්ද වෙල­ගෙ­දර

----------------

 

තාත්තා

පියා­පත් දිග හැර
බදා වෙර බොහො කොට
පිය­ඹන්න ඉඩ හැර
රැක ගත්ත අහස නුඹ
හැපී තුරු මුඳු­න්වල
සැඩ සුළං විය­රුව
මල් පෙතිත් තැළෙ­න­කොට
යළිත් හෙට හිනැ­හෙන්න
සිසිල දුන් තුෂර නුඹ
පැටලිලා පා යුග
වැටෙ­න­කොට ජීවිත මඟ
සෙමෙන් දිගු කර දෑත්
නැඟී සිට වූ
නොවෙ­නස්ම ප්‍රේම­යයි නුඹ

අයේෂා සේනා­නා­යක

-------------------

 

දුරු රටක තනිවූ ඔබ සිහිවී

අපි නම්
කැලෑ කොළ කාලා­වත්
ඉන්නවා
දුරු රටක තනි­වුණ
ඇය මතක් වුණාම දුකයි...

කුස්සියේ දොර ඇනේ
එල්ලු ගමන්
ඔබ සුවඳ රැඳි
හාල් පොත­වන් රෑ ගවුම
අස­නවා නිතර
නුඹ එන්නේ කව­දා­දැයි...

අහල පහළ
ඉඟි බිඟි පාන
ඔබේම යෙහෙ­ළි­යන්
කරන ආරා­ධනා
දැනෙන්නේ නැහැ
වකුටු වී වියළි ගිය
මගෙ කයට....

සියලු දුක් දරා­ගෙන
හිතලේ හරි­කඩේ
එන දවස
කව­දා­ක­දැයි නොදැන
බලා­ගෙන ඉන්නවා
මගෙ දෑස...

ජගත් දම්ප­හල

-----------------------


තුන්ද­ඩය

ඩන්කා ගහපු කාලෙ (ජිල් බෝල)
පැරණි මිතු­රාය
මීට ස්වල්ප මොහො­ත­කට පෙර
දුම්රි­ය­ ප­ළේදී හමු වූ
ඔහුගෙ බිරිඳ හා දෙද­රු­වන් සමඟ...

ඔහු හා ඈ හිටියේ
ළමයි දෙන්න වඩා­ගෙන
පුංචි කෙල්ලයි කොල්ලයි
නිමුන්නො කියල තමයි කිව්වෙ මට...

අතීතෙ පුරු­ද්දට
ඈගේ දෑස බැලුණු පසුය
බොහෝ රහස් හංගා­ගෙන
ඈ සිනා සී දුම්රි­යට ගොඩ වූයෙ...

මිතු­රාත් සිනා­සුණු මුහු­ණෙනි
මා දෙස බලා ඉක්බි­තිව ගොඩ වූයෙ
අතී­ත­යෙන් ගඟ ගලා බසින තැන
එතැ­න­දියි සිහි කැඳ­වූයෙ ඔහු මට..

උයන් මල් දෙස බලා
ඔට්ටු අල්ලන විට එද­වස
තුන්දඩ ගසා ජය ලැබූ
පැරණි මිතු­රාය ඔහු මගේ...

ඉරි­සි­යා­වෙන් පෙළුණු දව­සක
මමත් ජිල් බෝල­යක් අර­ගෙන
අත දිග­හැ­රලා ගැහුව හින්ද­මයි
ඔහුගේ ඇසක් අන්ධ වූයෙ...

මලක් වෙනු­වෙන් අන්ති­මේට මට
සිද්ධ වූයේ පරි­වා­සෙක ඉන්නට
ඒ වුනත් තර­හක් තිබු­ණෙම නෑ
අපි දෙන්නට මිතු­රු­කමේ අරු­මෙට...

ඩන්කා ගහපු කාලෙ
පැරණි මිතු­රාය
මීට ස්වල්ප මොහො­ත­කට පෙර
දුම්රි­ය­ප­ළේදී හමු වූ
ඔහුගෙ බිරිඳ හා දෙද­රු­වන් සමඟ..

එදත් ඔහු පළමු පංතියේ ගම­නක
අදත් මම තෙවන පංතියේ ගම­නක...

ධනං­ජය බණ්ඩාර

---------------------

නොමි­යෙමි

දෙකො­පු­ලෙහි ඇඳෙන
රැලි ගැන නො සිත­න්නෙමි
හිස මත පිපෙන නර කෙස
කවර නම් වෙන­සක්ද මට...

පරණ වූ ආහාර ස්වල්පය
කුසෙහි රැලි ඇති කරත්
විලුම් ඇට ඉදි­මු­ණත්
මගෙ අඳුරු මොළයේ
කිසිම වෙන­සක් නො මැත...

මම පරණ කොළුවා මය
අම්මා ට හාදු­වක් දෙන...

Mark Strand
(මාක් ස්ට්‍රෑන්ඩ්) 1934- 2014

මාක් ස්ට්‍රෑන්ඩ් කැනේ­ඩා­වේදී ඉපදී අමෙ­රි­කාවේ ජීවත් වූ කවි­යෙකි. ඔහු අමෙ­රි­කාවේ බොහෝ සාහි­ත්‍යය සම්මාන මෙන්ම දෙස් විදෙස් සාහි­ත්‍යය සම්මාන රැසක් දිනා ඇති නව කවියේ සුවි­ශේෂී කාව්‍ය­ක­ර­ණය ක යෙදුණු කවි­යෙකි.

අනු­වා­දය; සමන් ගුණ­හේ­රත්

------------------------------

නිම වූ කාර්තු

නුඹ නික්ම ගිය පසුව
උදා වූ නිම් නැති සිස­රය
නිම වූ කාර්තු ද රැගෙන
අන­න්තය තෙක් දිගු විය...

ශ්වේත පැහැ තුහින අත­රින්
නික්ම ගිය වස්සා­න­යක
මල් සුවද මතු විය
නික්ම ගිය සරත් සම­යක
උණු­හුම මතු විය
නික්ම ගිය ගිම්හා­න­යක
මතක පත් මතු විය...

මඟ හැරුණු මල් සුවද තබනු වස්
වස­න්තය සොයමි
අහිමි වූ උණු­සුම තබනු වස්
සරත් සමය සොයමි
අම­තක මතක පත් තබනු වස්
ගිම්හා­නය සොයමි...

ස්වේත පැහැ සිස­ර­යක,
සීතල තුහින අත­රින්,
චණ්ඩ හිම කුණාටු අත­රින්,
අන­න්තය තෙක් සැරි­ස­රමි
සොයමි නිම වූ කාර්තු...

අනු­ත්තරා කොඩි­කාර
 

-----------------------------
නිමක් නැති කඳුළ

නුඹ ඇවිත් ගිය පසු
සැදුනු හිස්තැ­නට
සොරා ගත්තා ඇවිත් හනි­කට
පාළුව වෙළා­ගෙන ...

වැහි නැති ගිම්හා­න­යට
පිනිත් ඇති සැන­සෙන්න
සඳ ගුලි­වෙලා සීතලේ
කළු සුදු වලා යට...

සඟ­ව­න්නට සැදුව මුත් රත්
දෙතොල් මත ඇති සල­කුණ
සිනා­සෙ­නවා ලොවට වසන් කර
ඉකි­බි­ඳින හද­වත...

ප්‍රේම සල්ලා­පයේ මතක
කඳුළු කැට වී වැටී කුසු­මට
කඳුළ වේළු­නත් ඉක්ම­නට
ඉවර වෙන්නෙ කව­දාද ...

නදිෂා දිල්හානි
 

--------------------

වැස්ස

කළු වලා­කුළු එකට හැපි හැපි
මරා­ගන්නා පෙලක් දව­සට
එක වලා­වක් ගහපු පාරට
අනිකා අඩ­නවා ඌයි කිය කිය...

සුදු සේද සඳ දුරට විසි­කර
එල්ලාන කළු පැහැති ඉටි රෙදි
පුංචි කහ එළි දෙක තුනක් මැද
නාන­වලු සිල්ගන්න අටි­යෙන...
.
ඇවිද ඇවිදා ඇගේ හැප්පෙන
වහල ගස් අතු රන්ඩු­ක­ර­වන
හසු­වෙද්දි සඳ සුලං රොද­කට
විසි­වෙලා රෙදි පෙනෙයි සඳ­වත...

බුලත් කොටු වෙත ගුවන් ගත කළ
එළිය විහි­දන රොකට් රථ පෙළ
රකි­න්නට අඹ ගහේ මුලු වල
අදත් නෑ නැත වවුල් මුර පොළ...

කන් දෙමින් වැහි ගයන ගීයට
ළං වුණා උං අහන පැන­යට
අපට තර­මට අහිමි වීමක්
කිසිම දව­සක උබට තිබුණා ද..?

අසේල ලක්ෂාන්
 

**********************************

කෘතිය - රේල් පීලි ආදරයක්

කර්තෘ - යනුෂා ලක්මාලි

මිල රුපියල් - 250/= පිටු - 50

ප්‍රකාශක - ග්‍රැෆිකෙයා

විමසීම් - 017 9444514

යනුෂා විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන්නේ රේල් පීලි ආදරයක් කාව්‍ය සංග්‍රහයයි. ඇය මීට පෙර බිඳ වැටුණු කැණි මඩල (2010), පාට නැති හීනයක් (2011), වරා මලක් ගිනි අරගෙන (2016) ආදී වශයෙන් ලියා පළකර ඇත. කැලණිය විශ්ව විද්‍යායේ ඉගෙනුම ලබන අවදියේ සිටම පුවත්පත්වලට කවි ලියූ ඇය අද වන විට දිගු ගමනක් පැමිණ ඇත.

රේල්පීලි ආදරයක් කාව්‍ය සංග්‍රහයේ එන බීම වෙළෙන්දා කවිය අපූරුයයි හැගේ.

බීම විකිණිමේ යෙදෙන වෙළෙන්දෙකුගේ ජීවිත ගැන කතා කරන්නේ බොහෝ සීරුවෙනි. සෑම දවසකම බීම විකුණන ඔහු අවසානයේ ජීවිත ගැන සිතා බලන්නේය.

 

මාතෘකාව බීම වෙළෙන්දා.

සුවඳ මිරිකලා අහසට විසිකරක

කඳව මුහුවෙලා දිවගට රස බෙදන

කහට තවරලා ද්වල හිනාවෙන

පද්මෙ හොඳ එකා හන්දිය ළඟ පිපුණ..

නාරං දොඩං හිනැහෙන මේසයක් මත

තාලම් මතක් කර හැන්දක් පනියි උඩ

මායම් නැතත් පැය දොළහක් නගයි හඞ

කෝලම් වලට නම් කරදර නොදෙයි ඉඩ

 

දවස තිස්සේම බීම හඳන ඔහු හැන්දෑවට ගෙදරට එන්නේ හෙම්බත් වීය. ජීවිතේ බොහෝ දුක් මහන්සියෙන් හරි හම්බකරන ඔහුට මේ ජීවිතය අසීරුය. එහෙත් ජීවිතයේ ඇති අසීරු බව, දවස ගතකිරීම අසීරුය. නාරං දොඩම් වල ඇති පැඟිරි ඇඹුල් බවට වඩා ජීවිතේ ඇති අසීරු ​බව ගැන කියැවෙයි.

අඳුර පොරෝගන රෑ ඇඟපත රිදෙන

කෙඳිරිලි කඳුළු පිරිමැද්දේ

හඳ එළිය

දුක ලෙලි අරින ජීවිත

ගැන හිතන කොට

නාරම් දොඩං වල නම්

මොන ඇඹුලක් ද?

ආදරයෙන් බැඳීම ලේසී නැත. එමෙන්ම ඒ බැඳුුණු ආදරය පවත්වාගෙන යාම ද පහසු නැත. ආදරයෙන් බැදෙන්නෝ ආදරයෙන් පැරදෙන්නෝද මෙළොව බොහෝ සිටිති.

ආදරය තිබුණත් , හිත රිඳුන විට හැරයන යළිත් හමුවන ඇයෝද මේ ලොව බොහෝය. කෙසේ වෙතත් ආදරය කරන කාලයේදී හැර ගිය, යළිත් කෙටි කලකින් හමුවන සියලු දුක් කතන්දර අතීතයට එක්කරන අයද මේ අතර වේ. කොහොම වුණත් යළි හමුවෙමු ද මේ කතාවටම අදාළ යැයි සිතේ.

ළඟ හිටියටත් වඩා ඔබ ගැන

දුරස් වුණාමයි ආදරේ වැඩියෙන් දැනුනේ

හෙලන හෙලන වර ඇසිපිය

ඔය රුවමයි ඉඟි කරමින් මා හද පෙළුවේ

ඉරිතැළුණ අහස අඬනවා අදත්

බැහැ හිතට බොරු කරන්න නම් තවත්

අතීතයෙන් මිදී දිව එමි යළිත්

ඒ මඟ හමු වී හිනැහෙමු තව එක වරක

යනුෂා යනු ජීවිතයෙ දුක් විදි ගැහැනියකැයි කීමේ වරදක් නැත. දැන් කාලය ගෙවී ඇත. ජීවිතයේ එ යුගය ගැන අදත් ඇයට කදුළක් ඇතුවාට සැකයක් නැත. පොඩි දරුවන් සමඟ බක්මහේ ගෙවුණ දවස් ගැන ඇය ලියන්නේ මෙසේය.

මාතෘකාව කෑගලු අහස යට සීතල දැනෙනවද?...

ඈ මෙසේ ලියන්නීය.

 

කොහා තමයි අවුරුදු ගැන මතක් කළේ

එරබඳු මලුත් දුක දැනිලයි හිනාවුණේ

කිරිබත් නැතිව ලිප ඇඬුවයි බඩ ගින්නේ

රතින්ඤා කරල් ගිනි ගත්තයි හිත ඇතුලේ....

ඒ ඇය ලියන්නේ ඇය ලැබු ජීවිතයයි. ඇගේ දරුවන් විදි ජීවිතයයි.

මේ කොහොම වුණත් යනුෂා ලක්මාලි කිවිදය විසින් ඇගේ කවි මගෙහිදි තව තවත් ඉවසිලි වන්නත වන්නේ නම්, කවිය ගැන හැදෑරිම් කරන්නේ නම් ඇයට යා හැකි දුර බොහෝ වනු ඇත.

 

 

ඔබේ කවි නිර්මාණ
පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
විද්යුත් තැපෑල - [email protected]

Comments