ශ්‍රී ලංකාවට සම්මාන තුනක් ගෙනා ‘ආවා දේව­දූ­ත­යෙක්‘! | සිළුමිණ

ශ්‍රී ලංකාවට සම්මාන තුනක් ගෙනා ‘ආවා දේව­දූ­ත­යෙක්‘!

අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්‍යක්ෂිකා ජානකී හිල් විසින් නිෂ්පාදනය කළ නාට්‍ය ආචාර්ය සමන්ත විජේසිංහ විසින් අධ්‍යක්ෂණය කළ අතුල එදිරිසිංහ විසින් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ආවා දේවදූතයෙක්‘ ළමා චිත්‍රපටය භූතානයේ DRUK ජාත්‍යන්තර සිනමා උලෙළේ (DIFF) 24 වන මාසික සිනමා උලෙළ නියෝජනය කරමින් ‘හොඳම ළමා චිත්‍රපටය‘ , ‘හොඳම සංගීතය‘ සහ ‘උලෙළේ විශේෂ ජූරි සම්මානය‘ යන සම්මාන තුන දිනා ගැනීමට සමත්විය.

මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ADTF හි නාට්‍ය හා නර්තන කලාව හදාරන සිසු සිසුවියන්, ශිල්පීන්, ගුරු භවතුන් වන අතර මෙහි කලා අධ්‍යක්ෂණය, ඇඳුම් පැලැඳුම්, නිෂ්පාදන කළමනාකරණය, සහය ශිල්පීන් හා අනෙකුත් පරිබාහිර කටයුතු ද පදනමේ සිසු සිසුවියන් විසින් සිදුකිරීම විශේෂය. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ අරමුණු අතර ප්‍රධාන කාරණයක් වූයේ ද සිසු සිසුවියන්ට සිනමාපටයක් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්දැකීම් ලබා දෙන්නටත් එහි වන අභියෝග තමන් විසින් ස්වයං අධ්‍යයනයකට භාජනය කිරීමය.

දිනෙන් දින පිරිහෙමින් පවතින මනුෂ්‍යත්වය නඟා සිටුවමින් සුබවාදී ආකල්ප, මිනිස් සංවේදනා, ඉවසීම, එකමුතුකම, ධෛර්යය, ඇතිකරගත් තැන සුන්දර ලොවක් බිහි කළ හැකිය යන පණිවිඩය රැගෙන ‘ආවා දේවදූතයෙක් ‘ අපේ දරුවන් වෙනුවෙන් පමණක් නොව පවුලේ සැම වෙනුවෙන් නිමවුණු සිනමා පටයකි.

‘ආවා දේවදූතයෙක්‘ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සිදු කළේ අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ සිසුවෙක් වන මලිත් මධුරංග ය. ඔහු ඉතාම අපූරු ලෙස වෘත්තීය මට්ටමේ සිටින ප්‍රවීණ ශිල්පියෙකු හා සමානව ඒ කටයුත්ත සිදුකළ වග මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය කළ ජානකී හිල් පවසයි.

“අපිට අවශ්‍ය ඕනෑම අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් කණ්ඩායමත් සමඟ වැඩකරත්දි ඉතා යහපත් ආකල්පවලින් යුතුව පසුබිම තේරුම් ගනිමින් වැඩ කළ හැකි පරපුරක් බිහි කිරීමයි. සිනමාව ඉගෙනගන්න මිලියන ගණන් වියදම් කර ඩෙස් පුටුවල වාඩි වී කරන හැදෑරීමට වඩා මෙය කදිම ප්‍රායෝගික උත්තේජනයක් වු බව ඇගේ අදහසයි.

‘ආවා දේවදූතයෙක්‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිරපිටපත සමන්ත විජේසිංහය. සංගීත අධ්‍යක්ෂණය අතුල එදිරිසිංහ, කැමරා අධ්‍යක්ෂණය ඉෂාර සහ දිනේෂ්, අංග රචනයෙන් එමිල් ඇතුළු රංගනයෙන් දායක වූ රංජිත් දිසා සහ පදනමේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ටත් තම කෘතවේදීත්වය පුදකරන බව ජානකී හිල් පැවසුවාය..

Comments