පොලිස් කැදැල්ලේ වැඩුණු ස්කොෂ් කිරිල්ලිය මිහිලියා | Page 3 | සිළුමිණ

පොලිස් කැදැල්ලේ වැඩුණු ස්කොෂ් කිරිල්ලිය මිහිලියා

 

'නෙත්කලු මිහිලියා නව යොවුන් විය ඉස්මත්තේ පසුවන්නියකි. ජාතික ක්‍රීඩිකාවක ලෙසින් දිගු කලක් තම මව්බිම නියෝජනය කළ තැනැත්තියකි. කොළඹ සිරිමාවෝ බාලිකාවක වශයෙන් ඈ පෑ හපන්කම් තව නොබෝ කාලයකට බිඳ නොවැටෙනු ඇතැයි සිතිය හැකිය. 'කොවිඩ් ප්‍රවේශම' අතර මැද ඇය හා 'ක්‍රීඩා' අතර හමුවක් සිදුකෙරුණේ ය.'

දසක 4 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ස්කොෂ් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මට්ටමින් ලැබූ ජයග්‍රහණයන් අතුරින් වැඩිම ජයග්‍රහණයන් සංඛ්‍යාවකට හිමිකම් කියනු ලබන්නේ ඇය ය.

14 හැවිරිදි වියේ දී මෙරට ජාතික ස්කොෂ් කිරුළට හිමිකම් කියූ ඇය එම කිරුළ වසර 6 ක් දරා සිටියාය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන මෙරට ළාබාලම ජාතික ස්කොෂ් ශූරිය වන්නට වරම් ලැබූ ඈ මිහිලියා මෙත්සරණි. එදා පුංචි කෙල්ලක ලෙසින් ස්කොෂ් පිටියට ආ ඇය දැන් ආකර්ශණීය යෞවනියකි. කෙසේ නමුත් ඇය විසින් දේශීය ස්කොෂ් පිටියේ තබා ඇති වාර්තා නුදුරේදී බිඳ වැටෙනු ඇතැයි සිතිය නොහැකි ය.

ඇගේ ඇති සුවිශේෂත්වය වනුයේ ක්‍රීඩාව මෙන්ම තම අධ්‍යාපනය ද සමබරව කර ගෙන යමින් උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධි පාඨමාලවට සුදුසුකම් ලැබීමට සමත්වීම ය. ශිෂ්‍යත්වයක් ලද මිහිලියා මෙත්සරණි අද වන විට අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි, මවුන්ට් හෝලියොක් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාව හදාරන්නී ය.

පානදුර පදිංචි මිහිලියාට වැඩිමහල් සොහොයුරියක සිටී. ඈ ද කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. සොයුරිය පාසලේ දී බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමුවිය. පසුකලෙක ඇයගේ ආභාසය ලද මිහිලියා ද බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමුවිණි.

“අපේ පාසලේ බැඩ්මින්ටන් සහ ස්කොෂ් පුහුණුවෙන්න යොදාගත්තේ රාජකීය ක්‍රීඩා සංකීර්ණය යි. ඒ නිසා බැඩ්මින්ටන් ක්‍රීඩා කළ අයටත් අවස්ථාවක් ලැබුණා ස්කොෂ් පුහුණු වෙන්න. ඒ අවස්ථාව නිසා තමයි අක්කා ස්කොෂ් ක්‍රීඩාව තෝරා ගන්නේ. පසුව මටත් ඒ අවස්ථාවම උදාවෙනවා. ඒ 2005 වසරේ දී යි. පාසල් පුහුණුකරු ජනක සුවාරිස් මහතා තමයි මගේ මුල්ම පුහුණුකරු වෙන්නේ. 2013 දක්වා බැඩ්මින්ටන් සහ ස්කොෂ් ක්‍රීඩා දෙකම කරනවා. ඒත් වැඩියෙන් කළේ ‌ස්කොෂ් ක්‍රීඩාව තමයි. 2005 වසරේ දී සහභාගි වූ ආධුනික තරගාවලියේ අවුරුදු 9 න් පහළ අනු ශූරිය වෙනවා. 2006 සම්මේලන තරගාවලියේ දී අවුරුදු 9 න් පහළ සහ 11 න් පහළ වයස් සීමා දෙකේ දී ද්විත්ව ශූරතාවන් දිනාගන්නවා. එදා සිට මගේ ප්‍රධාන වයස් කාණ්ඩයන් හි ශූරිය බවට පත්වෙනවා. වයස අවුරුදු 14 වන විට 19 න් පහළ ශූරිය බවට පත්වෙන්නත් මට හැකියාව ලැබෙනවා. වසර 5 ක් ම 19 න් පහළ ශූරිය වෙන්න ලැබුණා.”

“2012 වසරේ දී මට අවුරුදු 14 දී ජාතික කණිෂ්ඨ ශූරිය වගේම ජාතික ශූරිය වෙනවා. මම තමයි ළාබාලතම ජාතික ශූරිය. 2012, 2013, 2014 සහ 2016 අවුරුදු 4 ක් ම ජාතික ශූරිය සහ ජාතික කණිෂ්ඨ ශූරිය වෙන්නෙත් මමයි. 2016 දී උසස් පෙළ විභාගයෙන් තර්ක ශාස්ත්‍රය (බී), ව්‍යාපාර සංඛ්‍යානය (සී) සහ ආර්ථික විද්‍යාව (බී) යන විෂයයන් සමත්වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමණාකරණ උපාධි පාඨමාලාවට තේරුණා. මාස 6 ක පමණ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.”

“2018 අගෝස්තු මාසයේ දී මට අමෙරිකාවට යන්න පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවෙනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි, මවුන්ට් හෝලියොක් විශ්ව විද්‍යාලයෙන්. මම තෝරාගන්නේ මනෝවිද්‍යා විෂය. ඒක තමයි මගේ උපාධි විෂය මාලාව වෙන්නේ. 2019 ජාතික තරගාවලියේ දී 2012 සිට මගේ ප්‍රතිවාදිනිය වූ ෆුතුම් ඉසඩීන් ශූරිය බවට පත්වුණා. මම අනු ශූරිය වුණා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා නැවත ශ්‍රී ලංකාවට ආවා 2020 අප්‍රේල් වල. දැන් විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර අවසන් වෙලා ඉන්නේ. ශ්‍රී ලංකාවට ආවාට පසුව මාර්ගගත ක්‍රමයට තමයි ඉගෙනගත්තේ.”

“2007 මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර මයිලෝ ජූනියර් ස්ටාර්ස් ශූරතාවට සහභාගි වුණා. එතකොට මට අවුරුදු 8 යි. එය තමයි මගේ ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය ලෙස සැලකෙන්නේ. එහිදී පළඟ අනු ශූරිය වුණා. ”

“2013 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ කේවල ලෝකඩ පදක්කම දිනාගත්තා, 2014 ස්කොට්ලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළා. 2015 සැමෝවාහි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකාව ලෙස කටයුතු කළා. එහිදී කේවල ලෝකඩ පදක්කම දිනාගත්තා. 2016 වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී කේවල අංශයේ ලෝකඩ පදක්කම සහ කණ්ඩායම් ලෝකඩ පදක්කම දිනාගත්තා.

2016 ආසියානු කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානය හිමිකරගත්තා. 2018 ගෝල්ඩ්කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් පළඟ අනු ශූරිය වුණා.2018 ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. 2019 නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කණ්ඩායම් ලෝකඩ පදක්කම දිනාගත් කණ්ඩායම නියෝජනය කළා. ”

“මා ස්කොෂ් ක්‍රීඩාවෙන් මේ දක්වා දක්වන ලද දස්කම් අනුව, අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි, මවුන්ට් හෝලියොක් විශ්ව විද්‍යාලයේ අංක 1 ස්කොෂ් ක්‍රීඩිකාව වෙන්න පුළුවන් වුණා. ඒ වගේම විශ්ව විද්‍යාලයේ 2018-19 සහ 2019-20 වසර 2 දී ම සමස්ත දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් මා තෝරා ගත්තා. අමෙරිකාවේ අන්තර් විශ්ව විද්‍යාල ස්කොෂ් කාන්තා කේවල තරගාවලියේ 'බී' කාණ්ඩයේ අනූ ශූරිය වෙන්නත් මට පුළුවන් වුණා. ”

“තාත්තා කේ.ඒ.එස්. ඩබ්ලිව්. කුමාරජීව පොලිස් නිලධාරියෙක්. අම්මා කිංකිණි තානාපති ගෘහණියක්. තාත්තා පිට පළාත්වල සේවය කරද්දී අම්මා තමයි මගේ සහ අක්කාගේ අධ්‍යාපනය සහ ක්‍රීඩා සියල්ල පිළිබඳව බැලුවේ. තාත්තා දැනට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරනවා. මගේ එකම අක්කා, මගේ මුල්ම පුහුණුකරු ජනක සුවාරිස් මහතා, 2009 සිට මගේ පෞද්ගලික පුහුණුකාරිණිය යස්මින් සාරුක් මහත්මිය, අභ්‍යාසක වශයෙන් කටයුතු කළ චන්ද්‍රශාන් පෙරේරා මහතා, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි පුෂ්පා කළුබෝවිල මහත්මිය සහ වත්මන් විදුහල්පතිනි මාලනී හේරත් මහත්මිය මගේ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් උදව් කළා. ‌මාගේ ක්‍රීඩා දිවියේ සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ රශන්තා සෙනෙවිරත්න මහත්මිය සහ කපිල ගුණවර්ධන මහතා ඇතුළු සියලු දෙනාට ස්තූතියි පළ කරනවා.”

ඉෂානි යද්දෙහි

Comments