ආනන්ද විද්‍යාලය අපේ ක්‍රිකට් වංශ කතාවට ම කප් රුකක් | සිළුමිණ

ආනන්ද විද්‍යාලය අපේ ක්‍රිකට් වංශ කතාවට ම කප් රුකක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ පාසල් අතර කොළඹ ආනන්ද විද්‍යාලයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකී. ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 35 දෙනෙකු දායද කර ඇති ආනන්ද විද්‍යාලය ජාතික කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයන් පස්දෙනෙකු බිහි කර තිබේ. පාකිස්තානයේ ලාහෝර් නුවරදි 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගාය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේද සුජාත ආනන්ද පුත නුවකී. ඒ මෙරට කීර්තිමත් ආනන්දියෙකු වන අර්ජුන රණතුංගයි. ලෝක කුසලානය ජයගත් කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස සිට පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩාමේ නායකත්වයට පත් මාවන් අතපත්තු ද පසුව අනන්දිය පුත්‍ර රත්නයකී. 

පසුගිය වසර කිහිපයක කාලයක් තුළ මඳ පසුබැමක ලක්ව තිබුණු ආනන්ද විද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාව යළි ස්වර්ණමය යුගයක් කරා රැගෙන යැමේ වගකීම ආනන්දයෙන් බිහිවු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සංජීව රණතුංගයන් ප්‍රමුඛ කණ්ඩායමක් බාරගෙන සිටී. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට අවැසි යටිතල පහසුකම් ගොඩ නැඟීම වෙනුවෙන් වූ භාරකාර අරමුදලක් ස්ථාපිත කිරිම උදෙසා ආදි ආනන්දියන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ක්‍රිකට් කවයක් නිර්මාණය වී ඇත. එම කවයේ පළමු මාධ්‍ය හමුව පසුගියදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදැක්වීය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සපැමිණියේ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍ය, ක්‍රිකට් ක්‍රිඩාවේ නිජබිම ලෙස සැලැකෙන එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පළමු ශතකය වාර්තා කළ ජාතික කණ්ඩායමේ නාකත්වයටද පත් කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩයකු වන සිදත් වෙත්තමුණි යි. ඔහු සමඟ ආනන්දයේ ක්‍රිකට් අනාගතය හා ගමන් මඟ, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අනාගතය හා ගමන් මඟ ගැන සාකච්ඡා කළ කෙටි සංවාදයයි මේ.

අද ඔබ තුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ගොඩනඟන ලද මේ භාරකාර අරමුදලීන් නැවත ආනන්දයේ ක්‍රිකට් ජය මාවතක් කරා රැගෙන යා හැකිවේද?

ආනන්ද විද්‍යාලය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටත් ජාතික ක්‍රිකට් ක්‍රීඩාවටත් අනූපමේය සේවයක් කළ පාසලක්. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියට විශාල මෙහෙවරක් කළ පාසලක්. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේම උප සංස්කෘතියක්. එම උප සංස්කෘතිය තුළ ආනන්දයට විශාල කීර්තියක් අත් වුණා. ඒ උප සංස්කෘතිය තුළ රැදෙන්නට නම් විශාල වියදමක් දැරිය යුතු වනවා. ඒ වගේම ඉහළින්ම රැදෙන්නට තවත් විශාල පිරිවැයක් දැරිය යුතු වනවා. අද දින ආදී ආනන්දීයන් එක් රැස් වි මේ ගොඩනඟන්නේ ඒ විශාල වු පිරිවැයෙන් කොටසක් හෝ දැරිමේ වගකීම බාර ගැනිම උදෙසා වූ භාරකාර අරමුදලක් ස්ථාපිත කරන්නයි.

දවසින් දවස මෙරට මුදල අවප්‍රමාණය වනවා. ඒ නිසා ක්‍රීඩා උපකරණ වල මිල ඉහළ යමින් තිබේනවා. එය ක්‍රිකට් ක්‍රීඩාකරන දරුවන්ගේ දෙමාපියන්ට දැරිය හැකි පිරිවැයක් නෙමෙයි. එම නිසා පසුගිය වකවානුවේදී ආනන්ද විද්‍යාලයේ ක්‍රීකට් මඳක් පසු බෑවා. එය නිවැරදියි. නැතිනම් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන්ගේ අඩුපාඩුවක් නිසා නෙමෙයි. නැවත ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය කරා යැමේ මාවතට එළෙඹිලයි තියෙන්නේ. ඒ ගමන යැමට අද ගොඩනඟන ලද භාරකාර අරමුදල පිටුවාහලක් වෙයි කියා මා විශ්වාස කරනවා. ඒ තුළින් නැවත ජයග්‍රාහි මාවතට රැගෙන යාමට හැකි වේ කියා මා විශ්වාස කරනවා.

අද ආරම්භ කරන ලද ආනන්ද ක්‍රිකට් භාරකාර අරමුදල හරහා මුල්‍ය ප්‍රතිපාදන අරමුදලට සමගාමීව ක්‍රිකට් තාක්ෂණික ක්‍රම වේදයන් ආනන්ද විද්‍යාලයේ දරුවන් වෙත මුදාහැරීමේ වැඩපිළිවෙළක්ද ස්ථාපිත කිරිමට නියමිතයි. ප්‍රවිණ ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙන් සැදුම් ලත් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම තාක්ෂණික ක්‍රම වේදයන් නවකයන් වෙත මුදා හැරීමටද මෙම භාරකාර අරමුදල හරහා සිදුකිරිමට බාලාපොරොත්තු වෙනවා. මෙම සියලු කරුණු ගොනු කළ පසු මට විශ්වාසයි නැවතත් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකරන ප්‍රමුඛ පාසල් අතර ප්‍රමුඛයා විමේ අවස්ථාව ආනන්දයට හිමි වෙවි කියා.

ජාතික කණ්ඩායමට විශාල වශයෙන් ක්‍රීඩකයන් බිහිකළ ආනන්දය අද වන විට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමටවත් ක්‍රීඩකයෙක් ඇතුළත් කිරිමට සමත්ව නෑ. මේ පසුබෑම තුළ වගකීම බාරගත යුත්තේ කවුද?

හැම දේම වෙනස් වන සුලුයි. අපි ඒ ගැන පසුතැවීමෙන් වැඩක් වෙන්නේ නෑ. මම පෙරකී ලෙසම මේ වගකීම සමස්ත පිරිසම දැරිය යුතු වනවා. මට පුද්ගලිකවම පසුගිය වසර දෙක තුළ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න බැරි වුණා. සැම දේම වෙනස් වන සුලුයි. උඩ යනාවා පහළයනවා. ඒ වගේ ම තමයි ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාවත් කළක් ඉහළින් පැවතුණා මඳක් පසුබැවා. නැවතත් ඉහළටම පැමිණේමින් තියෙනවා.

මට හිතෙන විදියට පසුගිය කාලයේ පසුබාමැමට දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් හා පාලකයින් වයකියන්න ඕනෑ. අපි ඒ නිසා තමයි ඉදිරිය ගැන සලකා ආනන්දයේ ක්‍රිකට් මෙන්ම ජාතික තලයේ ක්‍රිකට් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව මෙවැනි වැඩපිළිවෙළක් වෙත යෙමුව වෙලා සිටින්නේ.

සංජිව රණතුංග, තිළිණ කන්දම්බි වැනි ප්‍රවිණයන් මැදිහත්ව අද වන විට ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාව ජය මාවත කරා රැගෙන යමින් සිටිනවා. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ ශතක ලබාගත් ක්‍රීඩකයන් පස්දෙනෙකුම ආනන්ද කණ්ඩයාම නියෝජනය කරනවා. මේක ඉතාමත් හොද ප්‍රවණතාවයක් අපේ කාලයේ ශතකලාභින් සිටියේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකු පමණයි. ඒකත් කලාතුරකින් ඒ වගේම වයස අවුරුදු 15න් පහළ ද්විත්ව ශතක තුනක් ලබාගත් ක්‍රිඩකයෙකුද අද ආනන්දය සතු වෙනවා. ඒ වගේම පන්දු යැවීමෙන්ද කඩුළු 40 ක් ලබාගත් ක්‍රීඩකයන් අද ආනන්ද කණ්ඩායම නියෝජනය කරනවා. මෙය ආනන්දයේ ක්‍රිකට් ගමනේ හොඳ ප්‍රවනතාවයක්.

ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ජාතික ක්‍රීකට් කණ්ඩායමත් පසුගිය වකවානුවේදී මඳක් පසුබෑමට ලක් වුණානේද? 

ක්‍රිකට් තාක්ෂණය පැත්තෙන් අපේ ක්‍රීඩකයන්ගේ පසුබැමක් තිබුණා. ඒක මුළු ලෝකයේම ක්‍රිකට් මේ විදිහ තමයි. කාලයක් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා කාලයක් පසුගිමි වනවා. එක ක්‍රිකට් ක්‍රීඩාවේ හැටි. දැන් බලන්න 1996 සිට 2010 දක්වාම අපි ලෝකයේ අංක 1,2 හෝ 3 අතර සිටියා. බටහිර ඉන්දිය කොදෙව්, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල්ද මෙවැනිම වු වාතාවරණ පසුකළා. ඔවුන් නැවතත් තාක්ෂණයෙන් සහ දක්ෂතාවයෙන් අනෙකුත් කණ්ඩායම් පරාජය කරමින් ඉදිරිය ආවා. ශ්‍රී ලංකා කණ්ඩායමත් පසුකළේ එවැනිම වු වාතාවරණයක්. අපි නැවතත් පෙරට එමින් සිටිනවා. නවක ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබා ඉදිරිය ගොඩනඟන්න ඕනේ. අපි ඉතාමත් වේගයෙන් නැවත ඉදිරියට එමින් සිටිනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මෙයට හොඳ නිදසුනක්.

ලාබාල ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ලැබුණු දිරිගැන්වීම ගැන ඔබ සතුටු ද?

මම පුද්ගලිකව විශ්වාස කරනවා දක්ෂ ලාබාල ක්‍රීඩකයන් බොහෝමයක් අපිට සිටිනවා කියා. ඔවුන්ව හොඳින් හඳුනාගෙන ඔවුන්ව නිසි ලෙස කළමනාකරණය කළ යුතු වෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් වගේ නෙමෙයි අපේ රටේ ජනගාහනයට සාපේක්ෂව තරුණ ළාබාල ක්‍රිකට් ක්‍රිඩකයන් විශාල පිරිසක් අපට සිටිනවා. ඒ වගේම පාසල් ක්‍රීඩකයන්ද බෝහෝමයක් අපිට සිටිනවා. ජාතික පාසල් සියල්ලම ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ජාත්‍යන්තර පාසල් වලද ක්‍රිකට් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට මේ වන විට පත්ව තිබෙනවා. ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ට නිසි අවස්ථාව ලාබා දිය යුතු වනවා.

2000 වසරේදී මම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරුම් කමිටුව නියෝජනය කරන මොහොතේ තමයි මම රංගන හේරත්ගේ දක්ෂතාවයන් මුල් වරට දැක්කේ. රංගන නෙට් එක තුළ පුහුණු විම් වල නිරතව පන්දු යවන අවස්ථාව දැක්ක මුල්ම දිනයේදිම ඔවුගේ දක්ෂතාවයන් හඳුනාගත්තා. එම වසරේ පැවැති ඔස්ට්‍රේලියානු සංචාරයට මම ඒ මොහොතේම රංගනව තේරුවා. එම සංචාරය ජයග්‍රහණය කිරිමට අපට හැකි වුණා. එම ජයග්‍රණය කරා රැගෙන ගිය එක් නියමුවෙක් වුණේ රංගන හේරත්. එම තරගාවලියේදී ඉතා හොඳ දායකත්වයක් කණ්ඩායම වෙනුවෙන් ඔහු ලබා දුන්නා. එම තරගාවලියෙන් පසු රංගන නිත්‍ය පන්දු යවන්නෙකු ලෙස ජාතික කණ්ඩායමේ තැනක් ඔහුට හිමිවුණා. ඒ වගේම තමයි තිලකරත්න ඩිල්ෂාන් ඔහුත් අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔවු ක්‍රිකට් ක්‍රීඩා දිවියට සමුදුන්නේ ජාතික කණ්ඩායමේ නායකයා වෙලා. ඔහුගේ දක්ෂතාවයන් දුටු මුල්ම දිනයේ මම ඔවු ජාතික කණ්ඩායමට නිර්දේශ කළා. ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිමත් ක්‍රීඩකයෙකු ලෙසයි ක්‍රිකට ක්‍රීඩාවට සමුදුන්නේ. ඒ වගේ අද ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින තරුණ ක්‍රීඩකයන් හඳුනා ගත යුතු වනවා. නිසිතැන නිසි වෙලාවට ඔහුන්ට ලාබා දිය යුතු වනවා. දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩකයාත් දක්ෂ යොවුන් ක්‍රිඩකයෙක්. ඔහුව නිසි තාක්ෂණික ක්‍රම වේදයන්ට යොමු කරමින් දක්ෂතාවයන් වර්ධනය කළ යුතුවනවා නිසි ලෙස කළමනාරණය කළ යුතු වනවා.

ආනන්දයේ ක්‍රිකට් මෙන්ම ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන සුබදායකයි කියා, ඔබ සිතනවාද?

මගේ අවංක බලාපොරොත්තුවත් එය තමයි. සුබදායි ක්‍රිකට් ක්‍රීඩාවක්. ජාතික ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට හොඳ මාවතකට ප්‍රවිෂ්ට වී සිටිනවා කියා මා විශ්වාස කරනවා. අද අපිට දැක ගන්න පුළුවන් සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති විස්සයි 20 තරගාවලිය හා එක්දින තරගාවලිය දිහා බැලුවම අපගේ නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා වල වර්ධනයක් වී තිබෙන බව. ඒ වගේම තාක්ෂණික අංශයෙන්ද අපි දියුණු ක්‍රමවේදයකට පැමිණ තිබෙනවා. හැම විටම නවකයන්ගේ දක්ෂතා හදුනාගෙන ඔවුන්ව නිසි අකාරයෙන් කළමණාකරනය කළොත් මෙම ගමන අමාරු ගමනක් නොවෙයි. ඉතාමත් පහසු ගමනක්. ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාවද හොඳ මාවතට ප්‍රවිෂ්ට වී තිබෙනවා. සංජීව රණතුංග ප්‍රමුඛ ආදි ආනන්දීය තරුණ ප්‍රවීණයන් එක්ව ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ස්වර්ණමය යුගයක් කරා රැගෙන යාමේ වගකීමට අත ගසා තිබෙනවා. ඒ නිසා ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයකට නැවත ප්‍රවිශ්ටවී තිබෙනවා කිව්වොත් ඒක හරි. මගේ අවංක විශ්වාසය තමයි අනාගතයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය වගේම ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා සංචිතයද නුදුරේදි ඉතාමත් හොඳ ජයග්‍රහී ගමනක නිරත වෙයි කියා.

ආනන්දය හැම විටම ජාතික ක්‍රිකට් සංචිතය පෝෂණය කළ පාසලක්. මඳක් වසර දෙකක් හෝ තුනක් පසුබෑමට ලක් වුනත් නැවතත් හොඳ ගමනක ආරම්භයක් සනිටුහන් කර තිබෙනවා. එම නිසා ආනන්ද මාතාවගේ ආශිර්වාදයෙන් නුදුරු අනාගතයේදී ලොව දිනීය හැකි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් ජාතික නායකයන්ද ආනන්දයෙන් බිහිවේවායි මා ප්‍රර්ථනා කරනවා!

Comments