රඟ­පාන්න මම හරි ආසයි | සිළුමිණ

රඟ­පාන්න මම හරි ආසයි

ඡායාරූප - සමීර විජේසිංහ
මුලින්ම රඟ­පාද්දි මට අවු­රුදු  දෙක­හ­මා­රයි
 
පාන්දර දෙකට ෂූටින් ගියත් මට නිදි­මත නෑ

 

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශනය වන ‘ධරණි’ ටෙලිනාට්‍යයෙන් ඔබේ ආලින්දයට එන පුංචි දියණිය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක්. ඒ පුංචි දූ තමයි ජාන්වී අප්සාරී. හුරතල්, දඟකාර, කටකාර පුංචි ජාන්වී ‘ රසඳුන’ සමඟ පිළිසඳරකට එකතු වුණේ මේ විදිහටයි.

 

දැන් පුංචි පැංචිගේ වයස කීයද?

මට දැන් අවුරුදු නමයයි.

 

ජාන්වී රඟපාන්න එනකොට වයස කීයද?

මම අවුරුදු දෙක හමාරේ වගේ ඉඳන් තමයි රඟපාන්න පටන් ගන්නෙ. ඉස්සෙල්ලම මම රඟපෑවේ මියුසික් වීඩියෝ එකක. මට අවුරුදු හතර හමාරේ වගේ වෙළෙඳ දැන්වීම්වල රඟපාන්න අවස්ථාව ලැබුණා. එහෙමම ටෙලි නාට්‍යවලත් රඟපාන්න පටන් ගත්තා.

 

චූටි දූ රඟපාන්න ගොඩක් කැමතියිද?

දැන් මම ආසම දේ තමයි රඟපාන එක. මට පාන්දර වෙනකම් වුණත් ඇහැරගෙන රඟපාන්න පුළුවන්. චුට්ටක්වත් නිදිමත එන්නෙ නෑ. කම්මැළි හිතෙන්නෙත් නෑ. ඒ තරමටම මම ආසයි රඟපාන්න.

 

ඒ කියන්නෙ පුංචි දූ අනාගතයේ රංගන ශිල්පිනියක් වෙයි නේද?

අම්මගෙයි අප්පච්චිගෙයි කැමැත්ත එක්ක රංගනය පැත්තෙන් ඉස්සරහට යන්නයි මම හිතාගෙන ඉන්නෙ. මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්නත් ආසයි. මම ගෙදර ඉන්න වෙලාවට යූ ටියුබ් එකෙන් බලලා රෙදි කපලා මහන්න දන්නෙ නැති නිසා ස්ටේප්ලර් කරලා ගෙදර ඉන්න පූසාට ඇඳුම් අන්දනවා.

 

පුංචි දෝණි මෙතෙක් රඟපෑ නිර්මාණ ගැන මතකද ?

‘හාර කෝටිය‘, ‘නීල පබලු‘, ‘කෝටිපතියෝ‘, ‘ප්‍රාණ‘, ‘කුමී‘, ‘රෑනගල වලව්ව‘, ‘ධරණි‘ කියන ටෙලිනාට්‍ය සහ ‘AL ‘චිත්‍රපටය. වෙළෙඳ දැන්වීම් තිහක විතරත් රඟපාලා තියෙනවා. කොරෝනා නිසා විකාශනය වෙන්න පරක්කු වුණු තවත් ටෙලි නාට්‍ය දෙකක් ලබන මාසේ විකාශනය වෙන්නත් තියෙනවා.

 

 

ඔය අතරේ චූටි දූට අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

එහෙම ඒවා නම් ගොඩයි. ‘නීල පබළු’ ඩ්‍රාමා එකේ දවසක් ෂූටින් කරන්න තිබුණේ පාන්දර දෙකට විතර ස්ටේෂන් එකක. ගොඩක් සීතලයි. ඒත් මට චුට්ටක්වත් කම්මැළිත් නෑ, මහන්සිත් නැහැ. ලොකු මාමලා නැන්දලා ගොඩක් ඇහුවා ඇයි පොඩි ළමයෙක්ව මෙච්චර මහන්සි කරන්නෙ කියලා. ඒත් මට එහෙම නෑ. මම චුට්ටක්වත් නිදිමතක්වත් නැතුව ආසාවෙන් ඒ සීන් එක කළා.

 

දූගේ පවුලේ විස්තර ටිකකුත් කියමුද?

අපේ පවුලේ හතර දෙනයි. අප්පච්චියි, අම්මයි, අක්කයි මමයි. මම ඉගෙන ගන්නෙ මිනුවන්ගොඩ ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ.

 

ජාන්වී දූගේ අම්මයි තාත්තයි දූ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා ඇති නේද?

ඒ ගැන මට කියන්න වචන නෑ. මුලදි ෂූටින් යද්දි අම්මයි අප්පච්චියි දෙන්නම ආවා. දැන් අම්මා විතරයි එන්නෙ. අම්මා ගොඩක් උනන්දුවෙන්, ආදරයෙන් හැමදේටම මගෙ පස්සෙන්ම ඉන්නවා. ෂූටින් නිසා මගහැරෙන ඉස්කෝලේ වැඩ කරගන්න මගෙ අක්කා තමයි ගොඩක් උදවු කරන්නේ.

මම මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න සුදානමින් ඉන්නවා.

 

අධ්‍යක්ෂ මාමලාගෙන් චූටි දූට ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු බලන්න ?

මේ දවස්වල ගොඩක්ම ‘ධරණි‘ ටෙලි ඩ්‍රාමා එකේ එකේ ෂූටින් තමයි කෙරෙන්නෙ. ඒ මාමලා මට ගොඩක් උදවු කරනවා. ඉස්කෝලේ කිසිම වැඩක් අතපසු කර ගන්න දෙන්නෙ නෑ. online ක්ලාස් එකක් තිබ්බොත් ඒක ඉවර වුණාම තමයි මාව ෂූටින්වලට ගන්නෙ.

මගේ නර්තන හැකියාව දියුණු කරගන්නත් එයාලා මට අවස්ථාව දෙනවා. අධ්‍යක්ෂතුමාගේ ඉදන් කණ්ඩායමේ හැමෝම හිතන්නෙ අපේ අධ්‍යාපන කටයුතු අතපසු කරන්නෙ නැතුව අපිව ෂූටින්වලට ගන්න විදිය තමයි.

 

ඉගෙනීමයි රඟපෑමයි සමබරව කරගෙන යන එක ජාන්වී දූට පහසු කටයුත්තක්ද?

අමාරු වුණත් මම කිසිම දෙයක් අතපසු කර ගන්නෙ නැහැ. ෂූටින්වලට ගියත් මම පොත් ටික අරගෙන ගිහින් online ක්ලාස්වලට සම්බන්ධ වෙනවා. ඉස්කෝලෙ වැඩවලට මගෙ යාළුවෝ, මගෙ යාළුවන්ගේ අම්මලා මට ගොඩක් උදවු කරනවා. එයාලා හැමෝටම ස්තුතියි කියනවා මේ වෙලාවේ.

 

 

Comments