හතේ පන්තියේ දිව්‍යාංජලීගෙන් යොවුන් නවකතාවක් | සිළුමිණ

හතේ පන්තියේ දිව්‍යාංජලීගෙන් යොවුන් නවකතාවක්

 

අද වන විට යොවුන් නවකතා ඕනෑ තරම් බිහි වේ. එහෙත් මේ බොහෝ පොතපත ලියන්නේ ළමයින් වෙනුවෙන් වැටිහිටියන්ය. නමුදු ළමයින් වෙනුවෙන් ළමයකු ලියූ යොවුන් නවකතාවක් රසවිදින්නට පසුගිය දා අවස්ථාව ලැබිණි. කිරිඅත්තාගේ සිහිනය නම් වූ මෙම යොවුන් නවකතාව ලියන්නනේ යූ. බී. වන්නිනායක ජාතික පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිව්‍යාංජලි ඇල්වළදෙණිය ශිෂ්‍යාවයි. ඇහැටුවැව ගල්ගමුව ගජමුතු ගෙම් පදිංචිව සිටින දිව්‍යාංජලි ශිෂ්‍යාව තම ප්‍රථම යොවුන් නවකතාව පිළිබද පවසන්නේ මෙවැන්නකි.

 

“මම මුලින්ම ඉස්කොලේ ගියේ මහඇඹෝගම කණිෂ්ඨ විද්‍යලායේ. මම තුනේ පන්තියේ විතර ඉන්න කොට තමයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අපේ පාසලට තැගී අරන් ආවේ. එදා මට කතාවක් කිරීමට අවස්ථාවක් ලැබුණා. හැමෝම වගේ මගේ කතාව ගැන මට ප්‍රසංශා කළා. දැන් මම ඉගෙනුම ලබන්නේ යු. බී. වන්නිනායක ජාතික පාසලේ. මම ආසයි පොත් කියවන්න. රුසියානු පරිවර්තන පොත් කෙටි කතා පොත් බොහෝම ආසාවෙන් කියවනවා. ඒ වගේම මට ගොඩාක් අත්දැකිම් තියෙනවා. අපි ඉන්නේ අලි උවදුරු තියෙන ගමක. අපේ මාමා අලි ගහලා මැරුවා. අපේ ගේ අලි කැඩුවා. ඉන් පස්සේ අම්මයි මමයි අප්පච්චියි හිටියේ කුලි ගෙවල් වල. මෑතකදි තමයි අපිට ගජමුතුගමින් ගෙයක් ලැබුණේ. 2020 අවුරුද්දේ කොරෝනා කාලයට පාසල් වැහුවාම මට හරි පාළුවක් කම්මැලිකමක් දැනුණා. ඒ කාලේ තමයි මම මේ පොත ලියන්න ගත්තේ. මම මුලින්ම පොත පෙන්නුවේ ඇඹෝගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස සිටි දැන් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ 9-11 අංශයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වන එස්. එම්. ජී. දිසානායක සර්. එතුමා තමයි මේ පොත මුද්‍රණය කිරිම දක්වා මට උදව් කළේ. දඹානේ ගුණවර්ධන සර් පොතට පසු වදන ලියා දුන්නා. පොත මුද්‍රණය සඳහා තිස්ස ජිනසේන පදනම සම්බන්ධකර දුන්නෙත් ගුණවර්ධන සර්. මම ජීවත් වන පරිසරයෙන් ලැබුණු අත්දැකීමෙන් තමයි මේ පොත ලියන්නේ. අම්මයි තාත්තයි මට ජිවිතය කියලා දෙනවා. දවසක රටම දන්න කෙනෙක් වෙන එක තමයි මගෙ එකම සිහිනය.” කිරි අත්තාගේ සිහිනය ලියු දිව්‍යාංජලී දියණිය පවසන්නීය. “කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පොත ඇය ලිව්වේ නැ කියලා. හේතුව තමයි ඇගේ පුංචි වයසට එ් තරම් හොඳට භාෂාව ගොනුකර තිබෙනවා. මේ දරුවා සැබැවින්ම දක්ෂයි. අපි ඇයට උදව් කළ යුතුයි. මම ඇගේ දක්ෂකම් හඳුනන්නේ ඈ කුඩාවියේදීමයි. “කුරුණැගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ 9-11 අංශයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වන එස්. එම්. ජී දිසානායක පවසන්නේය.

දිව්‍යාංජනා දියණිය දැනට ඉගෙනුම ලබන යු. බී වන්නිනායක පාසලේ විදුහල්පතිවරයා වන එම්. කේ. බී. තෙන්නකෝන් පවසන්නේ “කිරි අත්තාගේ සිහිනය “ යොවුන් නවකතාව දැරිය විසින් කළ එකක් බව තමන් මුලදී විශ්වාස නොකළ බවයි.

“මේ ශිෂ්‍යාව පොත ගෙනැත් දුන්නාට පස මම එහි පෙරවදන කියවා පුදුම වුණා. මේක ඒ දියණියම ලියු එකක් ද කියා. මම පොත කියවා දිව්‍යාංජලී දියණිය ගැන තොරතුරු සොයා බැලුවා. ඈ සමඟ කතා කළා. එවිට තමයි තේරු‍ණේ මේ ඇයම ලියූ පොතක් කියලා. අපි මේ දරුවා රැක ගන්න ඕන. ඒ වගේම ඇය අපේ පාසලට ආඩම්බරයක්. “

ඇය පාසලට පමණක් නොව ගමට ද ආඩම්බරයකි.

“අම්මයි අප්පච්චියි හැම වෙලේම කියන්නේ අයියයටයි මටයි හොඳින් ඉගෙන ගන්න; හොඳින් හැදෙන්න කියලා. අපිට පරිසරය සමාජය ගැන කියලා දෙන්නේ අම්මයි අප්පච්චියි. මගේ ගුරුවරු හැමෝම, යාළුවෝ වගේම අපිට විවිධ අයුරින් උදව් කරන සියලු දෙනාටම මම ආදරෙයි. “

දිව්‍යාංජලී සුරතල් හඬින් පවසන්නීය. ඒ පුංචි හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇත. ඒ දිනෙක රටම දන්න කෙනකු වීමය. ඇය ලිවීමට මෙන්ම ඉගෙනුමට ද දක්ෂය. මේ දිනවල දිව්‍යාංජලී සිය දෙවන නවකතාව ලියමින් සිටී. ඒ උඩගු මිරිඟුවය. තම දරුවන් රියැලිටි තරුවක් කරන්නට උනන්දු කරන අද වැනි සමාජයක දිව්‍යාංජලිගේ මව ඉනෝකා ස්වර්ණලතා හා සහ පියා සරත් කුමාර විසින් සිය දියණියගේ ගමනට දිරී දීම අගය කළ යුත්තකි.

ඇගේ ලිපිනය

ඊ. ඩී ආර්. එම්. සමාසී දිව්‍යාංජලී

අංක 24 ගජමුතුගම, ඇහැටුවැව, ගල්ගමුව.

දුරකථන අංකය 071 8177385

 

Comments