සමහර පරිකල්පන ලෝකවල මම අවුරුදු ගාණක් ජීවත් වුණා | සිළුමිණ

සමහර පරිකල්පන ලෝකවල මම අවුරුදු ගාණක් ජීවත් වුණා

 

නිර්මාණකරුවාට ස්වකීය නිර්මාණ වස්තුබීජය උත්පාදනය වීමෙහි ලා කාලය, දීපය, දේශය බලපාන්නේ නැත. සිරියලතාලා, ධනපාලලා, සුගත්ලා, දම්මිලා මෙන්ම පිටරටක ජීවත් වෙන චරිතයකට වුව ද; විදේශිකයකුට වුව ද නිර්මාණකරුවාගේ නිර්මාණාවේශය අවුළුවාලන්නට හැකිය. ලෝකය පුරා සියලු මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න හෝ ගැටලු එක ම ආකාරයේ වුණත් ඒවා පැමිණෙන වේශය වෙනස් ය. ගැටලුව එක ම ය; මුහුණ දෙන ආකාරය හෝ ප්‍රතික්‍රියාව විවිධාකාර ය. නිර්මාණකරුවාට මේ සියල්ල සිය නිර්මාණ සඳහා විවිධ ප්‍රවේශ සපයන්නේ ය. ඒ සියල්ල දෙස පොදු දෟෂ්ටිකෝණයෙන් බලන්නට ඔහුට හැකි ය. ටෙනිසන් පෙරේරා නිර්මාණකරුවා ද විවිධ අත්දැකීම් හඹා යන්නෙකි. ඔහු ජීවන තක්සලාවෙන් ම උගත් හා විඳි දෑ පාඨක සමාජය වෙත තිළිණ කරන්නේ විවිධ නිර්මාණ ප්‍රවේශ ඔස්සේ ය. ඒවා කෙටිකතා, නවකතා ආදී නිර්මාණ ප්‍රවර්ග මඟින් ඔහු විදාරණය කරන්නේ ය.

ටෙනිසන් පෙරේරාගේ ‘දණ්ඩ භූමි‘ නවකතාවට වස්තුවිෂය වෙන්නේ ද විදේශික කතකි. මුම්බි නම් ඇමරිකන් නිර්මාණ ශිල්පිනියක වටා ගෙතෙන මේ නවකතාව ලොව කොතැන වුව ද නිර්මාණ ලෝකය එකක් බව සනාථ කරන්නේ ය.

‘මම අවුරුදු 3ක් වගේ කාලයක් ඇමෙරිකාවෙ ජීවත් වුණා. ඒ කාලය ඇතුළත මම උදේ සිට සවස් වනතුරු පුස්තකාලයට ගොස් විවිධ පොත් කියවන්නත්, අධ්‍යයනය කරන්නත් පුරුදු වී සිටියා. මේ පුස්තකාලය පරිහරණය කරන්න මුම්බි කියන කාන්තාවත් ආවා. මම ලංකාවේ කෙනෙක් කියල දැනගත්තම ඇය මා සමඟ කතා කළා. නර්තනය ඉගෙන ගත් ඇය ආධ්‍යාත්මික දේ ගැන සැලකිල්ලක් දැක්වූ කාන්තාවක්. ඇය මට ඇගේ කතාව කිව්වා. ඇය විවාහ වී සිට ඇත්තේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක් සමඟ. ඔහු දියුණු වීමේ නොතිත් ආශාවෙන් යුත් තරුණයෙක්. ඔහුගේ ව්‍යාපාර දියුණුව දකින තරගකාරී අනෙක් ව්‍යාපාරිකයන් ඔහුව මරණයට පත් කරනවා.මා සාරාංශ කළ මේ කතාව ඇය මුළුමණින් ම මට කිව්වා. ‘දණ්ඩ භූමි‘ නමින් මා ලියූයේ ඇගේ කතාවයි’.

ලේඛකයන්, නිර්මාණකරුවන් සිය අත්දැකීම් නිසි පරිදි නිසි තැනට යෙදිය යුතු ම ය. නැත්නම් ඒ අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත්වී පොදු පාඨකයාට සෙවණ සලසා දෙන්නේ නැත. තේක්ක ගසෙන් ලබාගත යුත්තේ ගසේ කඳ ය. කෙසෙල් ගසෙහි ක‍ඳෙන් ප්‍රයෝජනයක් නැත. කිතුල් ගසෙහි කිතුල් ගෙඩිවලින් ඇති ඵලක් නැත. එලෙසම නිර්මාණයට උචිත අත්දැකීම ඒ ඒ අවස්ථානුකූලව යෙදිය යුතු ය. නොගැළපෙන තන්හි යෙදුවාට නිර්මාණයෙන් පලක් වන්නේ නැත. අත්දැකීම් නමැති ගබඩාවෙන් අත්දැකීම් තෝරා බේරා ගත යුත්තේ උචිත අනුචිත බව ගැන නිවැරැදි අවබෝධයෙන් ම ය. මේ තෝරා ගන්නා ක්‍රමවේදය හරියට ම දැනෙන්නේ නිර්මාණයක් කරන විටදී ය. ටෙනිසන් පෙරේරා ජ්‍යෙෂ්ඨ කලාකරුවා ඉලක්කමෙන් පමණක් වයසට යන්නෙකි. නූතන පරම්පරාවේ නිර්මාණකරුවන් බොහොමයක් නිර්මාණකරණයෙන් වියපත් බවක් පෙන්නුම් කරද්දී හේ තවමත් නිර්මාණකරණයෙන් තරුණයෙකි; නැවුම් අදහස් ඇත්තෙකි. එනයින් ඔහු නව යෞවනයෙකි. නව වස්තුබීජ සොයා යන්නෙකි.

නිර්මාණයක ජීව ගුණය රඳා පවතින්නේ භාෂාව මත ය. ලේඛකයා හෝ නිර්මාණකරුවා භාෂාව ගැන දරන අදහස සහ භාෂාව භාවිතයේ වන නෛපුණ්‍ය බව ඊට එක්කරන ආලෝකයේ ප්‍රභාව සුළුපටු ‍නොවේ. කෙතරම් හොඳ වස්තු බීජයක් වුව ද; කෙතරම් අපූරු පරිකල්පනයක් වුව ද; කෙතරම් අර්ථපූර්ණ රූප රචනයක් වුව ද භාෂාව නමැති දවටනයේ සුමිහිරි ව දවටා නැත්නම් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප වන්නේ ය. ටෙනිසන් පෙරේරා අප ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවා ද භාෂාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙකි. මැටි බෝලයක් විවිධ නිර්මාණ සුරුකම් සඳහා යොදන්නේ යම් සේ ද එපරිද්දෙන් නිර්මාණයට උචිත අයුරින් ඔහු අත භාෂාව පෙළ ගැසෙන්නේය.

‘මහා රාවණා‘ මා ලියූ 114ක් නිර්මාණ කෘති අතර, මා වඩාත් ම සිත්ගත් නිර්මාණයයි. මේ අත්දැකීමේ ස්වරූපය මට දැනෙන්නේ ද්විතීය ලෙස. මා කොහොමත් රාවණා චරිතයට කැමතියි. ඒ ගැන මූලාශ්‍රය අධ්‍යයනය කළ කෙනෙක්. සප්තකන්‍යා කඳු ආශ්‍රිත සංචාරයකදී මට මේ ගැන විශේෂිත ආශාවක් හා ඇල්මක් ඇති වුණා. මගේ මනසේ පරිකල්පනීය සිතුවම් මැවුණා.’

ටෙනිසන් පෙරේරා ‘මහා රාවණා‘ කෘතිය ලියන්නේ වෙනස් ආකෘතික ස්වරූපයකට ය. අත්දැකීම් දින සටහන් ආශ්‍රිතව ලියන ලේඛකයකුගේ ක්‍රියාකාරීත්වය අපට කෘතිය පුරා අසු වේ.

‘මම මේ කෘතිය ඇතුළෙ මහා රාවණා කියන ප්‍රතිරූපය ගොඩනඟනවා. කන්දේ සිට බලය පතුරුවන මහා රාවණා කියන චරිතය හරිම වින්දනීය ලෙස මට නිර්මාණකරණයේදී දැනෙනවා. ඉතිහාසය හැදෑරීම, ජනශ්‍රැති එකතු කිරීම, ඇදහිලි විශ්වාස ආදිය ඇතුළෙ මම වෙනම ලෝකයක් දුටුවා. ඒ සාරය තමයි මාව මේ කෘතිය ලියන්න සක්‍රිය තත්ත්වයට පත් කළේ. ගොඩක් කල් ඉඳන් මේ මූලාශ්‍රය මගේ මනසේ වස්තුබීජයක් සේ වැඩුණා. සිහින ලෝකයක් වැනි දෙයක්. මේ පරිකල්පනයේ මා අතරමං වුණා’.

ලේඛකයා කියන්නේ යථාව හා පරිකල්පනීය ඉසව්ව අතර පාර සොයන්නා ය. ඔහුගේ මනසේ මැවෙන විචිත්‍රත්වය කෙතරම් ආනන්දනීය ද යන්න සාමාන්‍ය අපට තේරුම් ගත නොහැකි තරම් ය. ඒ පරිකල්පනීය ඉසව්වේ නැති දෙයක් නැත. රාවණා නම් පුරාවෘතය ටෙනිසන් නම් නිර්මාණකරුවා සොඳුරු ඉසව්වකට කැඳවා ගෙන යන්නේ ය. ඒ පරිකල්පනීය ඉසව්ව කෙතරම් විචිත්‍රවත් ද යත් නිර්මාණකරුවා පවා ඉඩ ලද විගස කියවන ස්වකීය නිර්මාණ අතර කැමැති ම නිර්මාණය මහා රාවණා වන්නේය.

නිර්මාණකරුවා කාලාත්‍රය අතරෙන් ගමන් කරන්නෙකි. ඔහුට අතීතය, වර්තමානය හෝ අනාගතය යන කාලාත්‍රයම සිය නිර්මාණකරණයට මූලාශ්‍රය වෙයි. පුංචි වයිරසයක් ලොවක් හොල්ලද්දී සසල වෙන නිර්මාණකරුවා එය සිය අත්දැකීම් පරාසයට එක් කර ගන්නේ නවමු ප්‍රවේශයකිනි. විද්‍යාවට නතු නොවන බොහෝ දෑ ගැන මිනිසා නැවතත් සිතන කලකදී ටෙනිසන් නිර්මාණකරුවා මේ දෙක අතර පාලමක් තනයි. ඒ නව දැක්ම සහිත නිර්මාණය ඔහු විසින් රචිත ‘ කොරෝනා කාලේ අබිරහස් කතාව‘ යි.

‘ගොඩක් අයට ප්‍රශ්නයක් මතු වුණා මම කොරෝනා ගැන අත්දැකීම එච්චර ඉක්මනට ලිව්වෙ කොහොමද කියලා. කතාවේ වස්තුවිෂයය කොරෝනා තමයි. නමුත් මුළු කතාව ම එය නොවෙයි; චරිත ඉන් පරිබාහිරයි. කොරෝනා කාලෙ වුණත් ගැහැනියට, පුරුෂයාට තියෙන පොදු ගැටලු ම තමයි මේ කතාවේ චරිත වලටත් තියෙන්නෙ. කොරෝනා දොස්තර මම නිර්මාණය කරන්නෙ යම්කිසි අබිරහස් ආකාරයකට. එයයි මෙහි විශේෂත්වය. අතීස් මෙහි කේන්ද්‍රීය චරිතය. ඔහු තමයි මේ දොස්තර කවුද කියන එක පාඨකයාට පෙන්නුම් කරන චරිතය. මට ඕන වුණේ මේ අපි හැමෝම අත්විඳින දේ විශ්වීය වින්දනයක්, විශ්වසනීය ප්‍රවේශයක් සේ නිර්මාණකරණයට ගන්න. ඒක සාහිත්‍යමය රූපකයක් ලෙස භාවිතයයි මට අවශ්‍ය වුණේ. දළ සිතිවිලිවලට වඩා පරිකල්පනයට ප්‍රධාන තැනක් ආවෙ එහෙමයි. අපේ ජීවිත ඇත්තෙන් ම ඔක්කොම අබිරහස්. ඒ කොරෝනා නිසා නෙවෙයි; මිනිස් ජීවිත කියන්නෙ කොහොමත් අබිරහස් දෙයක්’.

නිර්මාණකරණය, නිර්මාණකරුවා තරම් ලෝකය හා ලෝකයේ සංසිද්ධි සුන්දරව දකින වෙනත් පාර්ශ්වයක් නැති තරම් ය. පරිකල්පනයෙහි මුල් හට ගන්නේ ස්මෘතියෙහි ය; ස්මෘතිය මතු වෙන්නේ මානුෂීය සත්තාවන්ගෙනි. නිර්මාණකරුවාගේ සිතේ නිමක් තෙරක් නැතිව මතුවෙන කල්පනා; ජීවිතය විවර කරන කල්පනා ය. ඒ කල්පනා ජීවත් වීමේ ආශාව අවුළුවාලයි. හිත ප්‍රේමයෙන් පුරවයි. එවිට ජීවිතය තනිකමෙන් පිරෙන්නේ, ඔද්දල් වෙන්නේ නැත. ඒ සිතිවිලි නිර්මාණකරුවා මතු නොව පාඨකයා ද රැගෙන මුළු මහත් විශ්වය පුරා සරන්නේ ය. ටෙනිසන් පෙරේරා ද එකී විශ්වීය පරිකල්පන ලෝකයේ නිරන්තර සැරිසරන්නෙකි. දශක අටක දිවි සැරිය ඇතුළත ශතක කිහිපයක වැඩ කරන්නට ටෙනිසන් පෙරේරා අප ජ්‍යෙෂ්ඨ ලේඛකයාට හැකි වන්නේ මෙකී පරිකල්පනාත්මක ඉසව් ස්පර්ශයේ ලා දක්වන අපූර්ව කුසලතාව නිසා ය.

පිපෙන්නට හැක්කේ මල් වලට පමණක් නොවේ; පියාඹන්නට හැක්කේ කුරුල්ලන්ට පමණක් නොවේ. හදවත මෘදු කළ හැක්කේ සඳවතියට පමණක් නොවේ. නිමක් නැති සිතිවිලි පිරි චමත්කාරජනක අපූර්ව හදවතක් හිමි ඕනෑ ම කෙනකුට ඒ පරිකල්පනීය ලෝකයේ සැරිසරන්නට තහනමක් නැත.

Comments