මේ කෘතිය සංවා­ද­යට සහෘ­ද­මය එක­තු­වක් ද? | සිළුමිණ

මේ කෘතිය සංවා­ද­යට සහෘ­ද­මය එක­තු­වක් ද?

ග්‍රන්ථය - අාදරයට පාසලක් ඕනෑ ද?

කර්තෘ - කැත්ලීන් ජයවර්ධන

සේරි ප්‍රකාශනයකි

මිල රු. 500 (පිටු 288)

විමසීම් 011 2889381

“තව කෙනෙකුට ලෙඩ කරවන ගැහැනියක්. දුෂ්ට ෙච්තනා පෙන්වන ගැහැනියක්. නෙතඟින් බලන ගැහැනියක්. දෑස් දෙස නිර්ලජ්ජිව කෙළින් බලන ගැහැනියක්. දවාලට හිස වනන ගැහැනියක්. දුක්බර ගැහැනියක් ආකූල ගැහැනියක්. පමණට වැඩියෙන් හිනාවෙන ගැහැනියක්. පමණට වඩා සැදැහැති ගැහැනියක්. ලේසියෙන් බයවෙන ගැහැනියක්. බුරුලක් නැති එඩිතර ගැහැනියක්. නිතර පල්ලියේ පාපොච්චාරණයට යන ගැහැනියක්. කිසි විටෙක පාපොච්චාරණයට නොයන ගැහැනියක්. එකටෙක කියන ගැහැනියක්. දබරැඟිල්ල දිගුකොට චෝදනා කරන ගැහැනියක්. ඈතක සිදුවන දේවල් ගැන දැනුම ඇති ගැහැනියක්. කලාවේ හා විද්‍යාවේ රහස් දන්නා බොහෝ භාෂා කතා කරන ගැහැනියක්.”

ඉහත උද්ධෘතය ෆෙදරිකෝ අන්දහාසිගේ “ව්‍යවච්ඡේදකයා” නම් කෘතියෙන් එසේ උපුටා දක්වන්නේ කැත්ලීන් ජයවර්ධන ය. ඒ ඇගේ අලුත්ම කෘතිය වන “ආදරයට පාසැලක් ඕනෑ ද?” නම් කෘතිය වෙනුවෙනි. කතුවරිය කෘතියක් වශයෙන් එය ගොනු කරන්නේ “ජීවිතය වෙනස් කරන සාහිත්‍යය” යනුවෙනි. ඇය ඒ සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි කිරීමක් කරයි.

“ජීවිතයට පෝෂණ පදාර්ථ සැපයු, ජීවිතයේ තෝන් ලණුව අල්ලාගෙන පොත් කියවා ඉවත තැබු පසුව ද ඒවා යළි යළි මා සමඟ සංවාදයේ යෙදුණු අවස්ථා බොහෝ ය. මේ සංවාදයට සහෘදය පිරිසක් ද එක්කර ගැනීමේ වුවමනාවෙන් මම ඒවා ලේඛනගත කළෙමි.”

කතුවරියගේ ඒ ලේඛන තුළ පොදුවේ දැකිය හැකි ලක්ෂණය වන්නේ එය ඇයටම අනන්‍ය කරගත් විවරණයක් හැටියට ඒ අදහස් ඉදිරිපත් කිරීම ය. වෙනත් කිසිදු විග්‍රහයකින් එසේ නැත්නම් විශ්ලේෂණයකින් ඒවා තොර වීම ය. එතැන දී ඇතැම් සම්මත අදහස් ප්‍රතික්ෂේප වන තරමටම දේශපාලනික වේවා සමාජයීය වේවා දෘෂ්ටිමය විග්‍රහයකින් මතු නොවන ඇගේ ඒ අදහස් හුදෙක් තම ස්වයං පිළිගැනීම් වශයෙන් ඉදිරිපත් කරන තත්වයක් කැත්ලීන්ගේ වීමංසාවන් තුළ දැකිය හැකි වේ. උදාහරණයක් හැටියට ඉහත උද්ධෘතය සම්බන්ධයෙන් ඇය දක්වන්නේ මෙවැනි අදහසකි.

“ඒ වන විට වෛශයා වෘත්තිය දඬුවම් ලැබිය යුතු වරදක් ම නොවුණ ද මායාකර්මය සැලකුණේ දරුණු අපරාධයක් ලෙස ය.....මායාකාරියන් කවුරුන් ද යන්න බලධාරීන් නිර්වචනය කර තිබුණේ තරමක් දුරට අපට ද අසා පුරුදු ස්ත්‍රී මායම් 64 ට අනුකූලව ය. “නමුආගමිකත් යුරෝපා ශිෂ්ටාචාරය තුළ ගොඩ නැඟුණු ප්‍රතිගාමී සදාචාරයත්, ආගමික සුචරිතවාදය හා බැඳුන දේශපාලනික වශයෙන් කෙරෙන අර්ථ ව්‍යාඛ්‍යායනයක් එම කෘතියේ එන ප්‍රකාශනය මග හැර යා හැකිද යන්න ගැටලුවක් වේ.

-ඛලීල් ජිබ්රාන්ගේ “යේසුස් නම් වු මනුෂ්‍ය පුත්‍රයා” නම් කෘතියේ පහත උද්ධෘතය ද ඇගේ තෝරා ගැනීමකි.

“මා මිථ්‍යාදෘෂ්ටිකයෙකැයි සිරියා දේශයෙහි වැසියෝ කියති..... ඔවුහු සත්‍යයක්ම පවසති. කුමක් නිසාද යත් මිනිසා විසින් නිර්මාණය කැරුණු නීතියට මා ආදරය නොකරන බැවිනි. මා අපගේ මුතුන්මිත්තන් උරුම කරදුන් සම්ප්‍රදායය පිළිකුල් කරන බැවිනි......මිහිමත නිවෙස් විනාශ කර දමා, ඒවායෙහි නටබුන් මත කන්‍යාරාම හා පූජකාරාම බිහි කරනු පිණිස ආලෝක චක්‍ර මධ්‍යයෙහි සිට යේසුස් වහන්සේ මෙහි නොපැමිණිය හ. පැවිද්දෙකු බවට පත්වන්නැයි එතුමෝ බලවන්තා නොපෙලඹවුහ.

එහෙත් මිනිස් ඇට හා කපාලයන් මත ගොඩ නංවා ඇති කවර රාජාණ්ඩුවක වුව ද පදනම බිඳ දැමිය හැකි නව ශක්තියක්, නව ආත්මයක් මේ මිහිතලය මත පෙරට යවනු පිණිස උන් වහන්සේ මෙහි පැමිණියහ.”

ඉහත ප්‍රකාශනය තුළ ඇත්තේ හුදෙක් යේසුස් මුල් කොටගත් සාහිත්‍යයේ අසිරිමත් කියවීමක් හෝ බොහෝ රටවවල (අපේ රට ද ඇතුළුව) ඇතැයි අප උඩින් පල්ලෙන් හඳුනාගන්නා දේශපාලන සිදුවීම්වල සමානත්වයක් හෝ නොවේ. එය වනාහි සමාජ ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලි දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නැගූ රාජාණ්ඩු මුල් කොටගත් අධිපතිවාදී සංස්කෘතික සදාචාරයට එරෙහි වුණා වූ (ව්ලැද්මීර් ලෙනින්ගේ ද අවධානය දිනු) ඒ ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් ලියැවුණක් නොවේ නම් අන් කුමක් ද? එහි ප්‍රබලත්වය සාකච්ඡා කළ හැක්කේ එවැනි පසුබිමක ය.

ඒ කොයිහැටි වුණත් සිය අත්දැකීම් පරිපාකය තුළ කතුවරියගේ කාලයට සාපේක්ෂව ඉදිරිපත් කෙරෙන්නා වු හඳුනාගැනීම් ද ඇය සතු ය. ජයතිලක කම්මැල්වීරගේ “කැඩපත් දහසක්” නම් කෙටිකා සංග්‍රහය ගැන ඉදිරිපත් කෙරෙන විමසුම ඊට නිදසුනක් වේ. ඉන් එක් කොටසක් මෙසේ ය.

“මධු පානයේ දී බෙදාහදා ගැනීමේ සහජීවනය පුරුදු පුහුණු කළ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් මේ රටේ බහුලව දැකගත හැකි වුණේ 80 - 70 දශකවලදී ය. මධුලෝලීන් බොහෝ විට එසේ එක් වු අවන්හල් හා යම් යම් ස්ථාන කලාව, සාහිත්‍යය දේශපාලනය, දර්ශනය ආදි විවිධ විෂයයන් පිළිබඳව සාකච්ඡා මණ්ඩපම වුයේ ය. මෙකල ද මධුබඳුන් හා බීම හල් ද නො අඩුව තිබේ. නැත්තේ (දුර්ලභව ඇත්තේ) සංවාදයයි.”

එවැනි පසුබිමක කැත්ලීන් ජයවර්ධනගේ යථොක්ත උත්සාහය අතරමංවු සමාජයක් වෙනුවෙන් ගත් අතරමැදි උත්සාහයක් වැනි යැයි සිතේ. උකටලී නොවු සිතින් ද කයින් ද යුතුව එවැනි ප්‍රයත්නයක යෙදීමම ඇගයීමට සුදුසුම ය. තොල්ස්තෝයිගේ දින පොතක උපුටා දැක්වීමක් ද ඇගේ කෘතියේ එයි.

“මට ලැජ්ජාව දරාගන්නට බැරි ය. මම වැරදිකාරයෙක්මි. මම ගර්භාවට ලක් විය යුතු මිනිහෙක්මි.” ඉදින් තමන් ද මෙකී කටයුත්ත වැන්නක හෝ නොයෙදුණි නම් තමන්ට ද එසේ කියන්නට සිදුවනු ඇතැයි සිතුවාක් වැනි මානසිකත්වයකින් ඇය මෙවැනි කෘතියක් පළ කොට ඇතැයි සිතේ. එය සුදුසු කර්තව්‍යයක්ම ය.

Comments