උස මහත තිබුණාම නළුවෙක් වෙන්න පුළුවන් කියලයි හිතුවේ | සිළුමිණ

උස මහත තිබුණාම නළුවෙක් වෙන්න පුළුවන් කියලයි හිතුවේ

 

 


මේ ගමනට වාසනාවකුත් තියෙන්න ඇති

වැඩිපුර කැමැති වැඩවලින් විතරක් කැපී පෙනෙන්න

 

ශාන්ත සොයිසාගේ 'මිතූ' ටෙලිනාට්‍යයේ 'මියුරු'ලෙස රංගනයට පා තැබීමට පෙර ඔහු හඳුනා ගන්නේ ලාංකේය විලාසිතා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිරූපණ ශිල්පියකු ලෙසයි. 'සකූගෙ කතාව' හී 'මාලක'ගේ චරිතයෙන් නිරූපණ ශිල්පයකුගෙන් ඔබ්බට ගොස් රංගන ශිල්පියකු ලෙස ඉස්මතු වෙන ඔහු එතැන් සිට වැඩිපුරම ඇස ගැටෙන්නේ රංගන ශිල්පියකු ලෙසයි. 'අපි අපේ' ටෙලිනාට්‍යයේ 'ශාක්‍ය' ලෙසද, interනැසනල් ටෙලි නාට්‍යයේ 'ගෙවීන්' ලෙසද මේ දිනවල පුංචි තිරයේ නිතර දකින ඔහු චානුක ප්‍රබුද්ධ යි.

 

චානුක දැන් නිතර දකින රුවක් ?

ඔව්. හැබැයි මං වැඩිපුර කැමැති වැඩවලින් විතරක් කැපී පෙනෙන්න. එහෙම නැතිනම් මම අවශ්‍ය තැනදි විතරක් කතා කරලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න චරිතයක්. ගොඩක් ප්‍රසිද්ධ වෙන්න මගේ කැමැත්තක් නැහැ. මිනිස්සුන්ගේ හිතේ රැඳෙන්න පුළුවන් විදිහේ චරිතය කරලා මිනිස්සුන්ගෙ ආදරේ තිබුණා නම් මට හොඳටම ඇති.

 

නිරූපණයෙන් පටන් ගත්තට අද නැවතිලා තියෙන්නේ වෙනම තැනක?

ඔව්. නිරූපණ ශිල්පියෙක් විදිහටයි මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. මුල් කාලෙදී වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙක් විදිහට කාර්ය බහුල වුණා. ඒ අතරේ ඉන්දියාවේ නිරූපණ තරගයකින් ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණා. ලංකාවේ තියෙන ලොකුම විලාසිතා දැක්ම වන 'colombo fashion' හී නිරූපණ ශිල්පියෙක් විදිහට වසර හතක් කටයුතු කරමින් ඉදිද්දී තමයි ශාන්ත සොයිසා මහතා මාව පත්තරේකින් දැකලා ස්ක්‍රීන් ටෙස්ට් එකකට කතා කරන්නේ. 'මිතූ' ඩ්‍රාමා එකට තේරෙන්නේ එහෙමයි. එතැනින් තමයි රංගන ශිල්පියෙක් විදිහට මගේ ගමන පටන් ගන්නේ. මුලින්ම රඟපාන්න තිබුණේ ප්‍රවීණ රංගන ශිල්පිනි නයනා කුමාරි එක්ක. ඒ ඇරැඹුම සාර්ථකයි කියලා මම හිතනවා.

 

ඒ ඇරැඹුම පහසු වුණාද?

ඔව්. අපහසුවට පත්වෙන කිසිම දෙයක් මේ කාලේ පුරාවටම මට මුහුණ දෙන්න සිදු වෙලා නැහැ. මාව වැඩිපුරම තෝරා ගත්තේ ප්‍රධාන චරිතවලට. නමුත් ලැබෙන චරිතයෙන් මට යමක් කරන්න පුළුවන් නම් ඒ ලැබෙන්නේ සුළු චරිතයක් වුණත් මං බොහොම කැමැත්තෙන් කරනවා. මේ ගමනට වාසනාවකුත් තියෙන්න ඇති.

 

රංගන ශිල්පියෙක් විදිහට රැඳීමත් ඒ වගේ පහසු වෙයි කියලා හිතනවාද ?

මම ඇත්තටම හිතාගෙන හිටියේ උස මහත තිබුණාම නළුවෙක් වෙන්න පුළුවන් කියලයි. ඒක කොච්චර වැරදිද තේරුණේ මේක ඇතුළට ආවට පස්සේ. මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පහසු නැහැ. රංගන ශිල්පියෙක් ලෙස රැඳෙන්න දක්ෂතාව, කැපකිරීම, වාසනාව කියන හැමදේම බලපානවා. ඒ අතරින් දක්ෂතාව වැඩි දියුණු කර ගන්න මම අනෝජා වීරසිංහ, ප්‍රසන්නජිත් අබේසුන්දර යන ගුරුවරුන් ළඟ රංගනය පිළිබඳ අධ්‍යනය කරනවා.

 

දැන් රංගනයට විතරමද චානුක ගේ හිත තියෙන්නෙ?

රංගනයට කියලා විශේෂයක් නැහැ. හැම දේම සමබරව කරන්න තමයි බලාපොරොත්තුව.

 

ව්‍යාපාරිකයෙක් වෙන්නත් බලාපොරොත්තුවක් තියනවාලූ නේද?

තවම ඒ ගැන සැලසුම් නැහැ. අධ්‍යාපන කටයුතු ඉවර වුණාම මගේම කියලා ව්‍යාපාරයක් අරඹන්නයි දැනට බලාපොරොත්තුව.

 

ඔය යන ගමනට සහාය වෙන සමීප කෙනකුත් ඇති ?

මගේ ජීවිතේට වඩා සමීප ඉතින් මගේ පවුල තමයි. මගේ ආච්චි. ඊට පස්සෙ අක්කලා දෙන්නා. අම්මයි තාත්තයි නැතිවෙලා දැන් ගොඩක් කල්. ජීවිතේ තීරණයක් ගන්න බැරිවෙන තැනදි ඔවුන් තමයි මගෙ ලොකුම හයිය.

 

මොකද ඔච්චර සුපර්මෑන්ට කැමති?

ඒක පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාවක්. හැමෝටම පොඩි කාලේ එහෙම වීරයෝ ඉන්නවානේ. ඉතින් පොඩි කාලේ ඉඳන් මගේ වීරයා වුණේ සුපර් මෑන්. ලොකු වෙලත් තවම මට ඒ ආසාව අත්හැර ගන්න බැරි වුණා.

 

 

Comments