හිතට හරි නම් කකු­ලට හරි­ය­ටම හරි | සිළුමිණ

හිතට හරි නම් කකු­ලට හරි­ය­ටම හරි

සුවපහසු පාවහන් යුගලකට පුළුවන් ඔබේ පෙණුම, ඔබේ පෞරුෂය වඩාත් ඉස්මතු කර අනිත් අය අතරේ ඔබේ ආකර්ෂණීය බව වැඩි කරන්න. හැබැයි අන් අය අතරේ ඔබ කැපී පෙනේවිද නැතිනම් ඔබ පැලැඳ සිටින පාවහන් ඔබවත් අපහසුවට පත් කර අන් අයටත් ඔබේ අපහසුව ඉස්මතු කර පෙන්නාවිද යන්න රැඳෙන්නේ ඔබ පාවහන් තෝරා ගන්න විදිහ අනුවයි. ඒ නිසාම පලඳින පාවහන් නිවරුදිව තෝර ගන්න මඟපෙන්විමක් ලෙස අද අපි කතා කරන්නෙ කාන්තා පාවහන් ගැන.

 

පාවහන් මිලදි ගන්න සාප්පු සවාරියක යන්න හොඳම වෙලාව තමයි හවස් කාලය. දවස තිස්සේ වෙහෙසව ක්‍රියාකාරී වූ ඔබේ පාදවල හැකිළුණු ස්වභාවය නැති වී තරමක් විශාල වෙලා තියෙනකොට තමයි ඔබේ දෙපා වලට හරියටම ගැළපෙන ප්‍රමාණයෙන් පාවහන් තෝරාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාප්පුවකට ගිය ගමන් දකින දකින පාවහන් තෝරා ගන්නේ නැතිව ඔබේ අවශ්‍යතාව, ඔබේ පාදයේ හැඩය සහ අතේ ඇති මුදල යන මූලික කාරණා පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුමයි.

පාවහන් ගන්න පෙර පාදයේ හැඩය පිළිබඳ නිවරැදි අවබෝධය වැදගත් ඔබේ පාද වතුරෙන් තෙමාගෙන කඩදාසියක් මත කෙළින් සිටගත් විට කඩදාසිය මත ඇඳෙන ඔබේ පා සටහන හැඩය අනුව ඔබට තිබෙන්නේ මධ්‍යස්ථ පාදයක් නම් ශරීරයේ බර එක සමානව බෙදී යන නිසා තෝරා ගන්නා පාවහන් පිළිබඳ විශාල ගැටලුවක් නැහැ. ඉතා ඝන මෙන්ම මෘදු නොවන පාවහන් තමා වඩා ගැළපෙන්නෙ. පැතලි පාදයකට පාවහන් තෝරා ගැනීමේදී පාදයේ චලනය පාලනයට සමත්, ඉතා ඝනව නිමවුණු පාවහන් තෝරාගැනීම සුදුසුයි. ඔබට තිබෙන්නේ ඉහළ ආරුක්කු හැඩය නම් මේ පාද අනතුරුවලට ලක්වෙන්න තිබෙන ඉඩ කඩ ඉතාම වැඩි නිසා ඉතාම සුවපහසු මැදට කුෂන් යොදා නිපදවූ පාවහන් තෝරා ගැනීම මීට හොඳ විසඳුමක්. අද කාලේ කාන්තාවන් අතර Sandals,Wedge Heels,Flat Shoes,Flip Flops,Court Shoes,Gladiator යන පාවහන් විලාසිතා හරිම ජනප්‍රියයි. Sandals කියන්නේ පාදයෙන් වැඩි කොටසක් නිරාවරණය වෙන සුවපහසු විලාසිතාවක්. Wedge Heelsඑකකින් අඩි උස සපත්තුවකින් අපේක්ෂා කරන කාරණයම ඊට වඩා පහසුවෙන් කරගන්න ලැබෙනවා. Flat Shoes කියන්නේ ලස්සන වගේම සාමාන්‍ය ගමනට, කාර්යබහුල ජීවිතයේ සුවපහසුවටත් ගැළැපෙන විලාසිතාවක්. Flip Flops නම් ඉතින් කවුරුත් ආසාවෙන් පලඳින විවිධ පාටින් ,විවිධ මෝස්තර එක්ක එන රබර් නිෂ්පාදනයක්. බොහොම කාලෙක සිටම

නොවෙනස්ව පවතින විලාසිතාවක් තමයි Court Shoesකියන්නේ. උත්සව, රැකියාවට, විශේෂ අවස්ථාවලට අපි කලින් කිව්වා වගේ පෙනුමට වැඩි ආකර්ෂණයක් එක්කරන විලාසිතාවක් තමා මේ. Gladiator Sandals දැන් ලොව ජනප්‍රියයි. පාදයෙන් ඉහළට යන තෙක් වෙළුමක් සහිත තිබෙන්නේ මේ පාවහන් විලාසිතාව තමයි. සැහැල්ලු ගමනකට කියාපු විලාසිතාවක්. මේ කියපු පාවහන් වර්ග හැරුණම Canvas Shoes,Boots, Loafers, Mules Shoes,Trainers, Brogues වැනි අවස්ථානුකූලව තෝරා ගත හැකි විලාසිතත් තිබෙනවා.

කෙටි පාද සහිත කාන්තාවකට නම් පාදය වැඩිපුර නිරාවරණය වන අයුරින් පාවහන් විලාසිතාව තමා වඩාත් සුදුසු. තරමක් දිගු හෝ පළලින් වැඩි දෙපා සහිත නම් රවුම් හැඩැති හෝ හතරැස් කොටුවලින් හැඩැති පාවහන් උචිතයි. දීප්තිමත්, තද පැහැති රටාවක් සහිත ඇඳුමකට කළු වර්ණය සුදුසු අතර තනි පාට සරල ඇඳුමක් නම් තද පාටින් යුතු පාවහන් යුගලක් පැලඳීමෙන් වඩා කැපී පෙනෙන සුන්දරත්වයක් ලබාගන්න පුළුවන්. වර්ණ කිහිපයකින් යුතු ඇඳුමක නම් එහි ප්‍රධාන වර්ණයෙන් පාවහන් තෝරා බලන්න. වෘත්තීය ජීවිතයෙදි එදිනෙදා පලඳින පාවහන් කළු හා දුඹුරු, අළු හා අඳුරු රතු පැහැයෙන්මිල දී ගන්න.

මේ කරුණු සියල්ලෙන් දැනුම්වත් ව ඔබ තෝර ගන්නා පාවහන් යුගල සුවපහසුද, නැද්ද යැයි බැලීමට එය පලඳා මඳ වේලාවක් සාප්පුව තුළ ඇවිද බලන්න. තෝරාගත් පාවහන් යුගල පැලඳු විට ඇඟිලි සඳහා ප්‍රමාණවත් ඉඩක් තියෙනවාද බැලීමත් අවශ්‍යයි. උස් පාවහන් තෝරා ගැනීමේදී වඩාත් සුදුසු යැයි සැලකෙන්නේ උස ප්‍රමාණය තමා අඟලත් අඟල් තුනත් අතර උසින් යුතු පාවහන්. ඔබ තෝරා ගන්නා පාවහන් වලින් ඔබේ දෙපාවලට පුංචි හෝ අපහසුවක් දැනෙනවා නම් එය මිලදි නොගැනීමයි වඩාත් නුවණට හුරු.

Comments