ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා 3 වැනි මුද්‍රණය නිකුත් වේ | සිළුමිණ

ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා 3 වැනි මුද්‍රණය නිකුත් වේ

ආදි ආනන්දයකු වන ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන විසින් රචිත ‘ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා’ කෘතිය ජනප්‍රිය ව ඇත්තේ ආනන්දියන් අතර පමණක් නොවේ. පාසල් නේවාසිකාගාරයේ ජීවිතය ගැන සුන්දර මතක අවදි කිරීමක් වන එම කෘතිය පාසල් නේවාසිකාගාරයක ජීවත් වූ හැම පාසල් සිසු සිසුවකුගේ ම ඒ මතක අවදි කරන කෘතියකි.

එහි කතුවරයා වන දැනට ලන්ඩනයේ ජීවත් වන ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන තම සමකාලීනයන් වූ ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ, බාකීර් මාකර්, රන්ජිත් මද්දුම බණ්ඩාර, සරත් වීරසේකර, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ වැනි මිතුරන් සමඟ ආනන්දයේ ගත කළ අතිශය විනෝදමත් පාසල් හා නේවාසික ජීවිතය ගැන සුන්දරව අකුරු කර ඇත. වර්තමානයේ මෙරට පාලනය කරන ඔවුහු එදා පාසල් සිසුන් ලෙස කළ දඟ වැඩ කියවන විට පාඨකයා ඉල ඇදෙන සිනාවෙන් කුල්මත් වීම නොවැළැක්විය හැකිය. දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කියවා රස විඳිය හැකි මෙම කෘතිය තුළ මවුපියන් විසින් දැනගත යුතු අගනා කරුණු රාශියක්ද ඇතුළත්ය.

එපමණක් නොව කොළඹ නාලන්ද, රාජකීය, විශාකා, මියුසියස්, මහනුවර ධර්මරාජ, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය ආදී පාසල් 11ක වංශ කතාද මෙම කෘතියට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

කතෘ ප්‍රකාශනයක් වන ‘ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා- 3 වැනි මුද්‍රණය’ කෘතියේ මිල රුපියල් 750කි. 0776640810 අංකය ඇමතීමෙන් ඔබට මෙම කෘතිය තැපැල් ගාස්තුවකින් තොරව නිවසටම ගෙන්වා ගත හැකිය.

 

Comments